2020 මාර්තු 14 වන සෙනසුරාදා

කුවේණි යුගයේ සිට එන බීරලු රේන්දු කලාව

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 45

දකුණේ බීරලු රේන්ද කලාව පිළිබඳ නොදන්නා කෙනෙක් නැත. ඉතිහාස මාවතේ ඇවිද තතු සොයන අතර නිතර අපට හමුවන මෙම කර්මාන්තය පිළිබඳ තතු අප ඔබ සමඟ බෙදා නොගත්තේ එබැවිනි. එහෙත් මෙම අපූරු කලාවේ ඉතිහාසය පිළිබඳ තතු ඔබ සමඟ බෙදාගන්නට තරම් විශේෂිත කතාවක් අපට හමුවිය. ඒ නිසාම මේ කතාව රේන්ද කලාවේ ශිල්පීය ක්‍රම පිළිබඳ හෝ වර්තමාන තත්ත්වය පිළිබඳ නොවන බව සංචාරක සිහි කටයුතුය.

ගාලු ලේස්, බීරලු ලේස් ආදී නම්වලින් ප්‍රචලිත මෙම කර්මාන්තය පෘතුගීසින්ගෙන් ලද උරුමයක් බව පොදුවේ පිළිගැනෙන මතයයි. එහෙත් දකුණු ලක ජනශ්‍රැති අනුව එය එසේ නොවෙතැයි කියවෙන අපූරු පුවතක් හමුවේ. එතරම්ම ප්‍රකට නොවුණ ද මෙය විමසා බැලීමට වටිනා කතාවකි. විජය රජු ලක්දිවට පැමිණෙන විට කුවේණිය කපු කටිමින් සිටි බව අප කවුරුත් දන්නා ඉතිහාස කතාවකි. එහෙත් මෙම ජන කතාවට අනුව කුවේණිය එදා ගොතන ලද්දේ රේන්ද රටා වියමනකි. එපමණක් නොව මේ කතාවට අනුව විජයාවතරණය වනවිට කුවේණිය සිටියේ දකුණු පළාතේය.

තරමක් විස්මයක් ඇතිකළ ද මෙය දකුණේ බීරලු රේන්ද කලාවේ ඉතිහාසය සොයා යන අතරතුර අහම්බයෙන් හමුවූ කතාවකි. මෙම ජනශ්‍රැතිය හුදු ප්‍රලාපයක් ලෙසින් බැහැර කළ නොහැකි වන පරිදි මෙය වටා ගොඩනැගී ඇති තවත් මත ද දකුණේ පවතී. ඒ අනුව පුරාතනයේ යක්ෂ ගෝත්‍රිකයන් බහුලව වාසය කළේ  දක්ෂිණ දේශයේ බව මෙම මතය ගෙනහැර පාන්නෝ කියති. එම නිසා කුවේණියගේ ජනාවාසය දකුණු වෙරළබඩ පවතින්නට ඇති බවට තර්කයක් ගොඩනැගෙයි. මේ කතාව විශේෂිත වන්නේ එය වටා ගොඩනැගී ඇති  හෞතික සාධක මතයි. කුවේණිය රේන්දය විවීම සඳහා භාවිත කළ රේන්ද කොට්ටය අදට ද හබරාදූව, අහංගම ගොවියාපාන වෙරළබඩ සමීපයේ ඇති බව පැවසුවහොත් ඔබ පුදුම වනු ඇත. රේන්ද කොට්ටය යනු රේන්ද විවීම සඳහා භාවිත කරනු ලබන උපකරණයකි. මෙහිදී කියවෙන කුවේණියගේ රේන්ද කොට්ට යනු ගල් නිමැවුමකි. මෙම ප්‍රදේශවල ජනයා මෙය හඳුන්වන්නේ යක්‌ෂණියගේ කොට්‌ටය ලෙසය. එහෙත් මෙහිදී හමුවන ජනප්‍රවාද වෙන වෙනම ගවේෂණය කිරීමට තරම් වටී. යකිනිගේ දූව, ගල් සිදුර, කෙම්මුර දිනවල සිදුවූ ගුප්ත දෑ ආදී විවිධ කතා මෙම මතය හා ඇළලී තිබේ.

කෙසේ වෙතත් දකුණු ලක රේන්ද කතාවේ ඉතිහාසය සොයා යන ගමනේ දී මෙම ජනප්‍රවාදය වටා බැඳුණු  කතාව සම්පූර්ණ විමසීම අපහසුය. එසේ වුවද දකුණේ බීරලු රේන්ද ඉතිහාසයේ  කතාව මේ හරහා පුළුල් වේ. මෙය සැබෑවක් වුවද නොවූවද මෙම කර්මාන්තය දකුණේ ජනයාට ආත්මීය ලෙස බැඳී ඇති බව කියාපෑමට හොඳම උදාහරණයකි. මීළඟට පෘතුගීසින් විසින් මෙම කර්මාන්ත හඳුන්වා දීම පිළිබඳ  කතාව අපි විමසා බලමු.

පෘතුගීසීන් සියවස් හයකට පෙර ගාලු වරාය මූලික කරගෙන ලොව පුරා බීරලු රේන්ද අපනයනය කළ බවට ඉතිහාසගත සාක්ෂි තිබේ. එසේම රේන්ද සම්බන්ධව සැලකීමේ දී පෘතුගාලයේ රේන්ද සඳහා ලොව ඉහළ ඉල්ලුමක් ඇති බව පිළිගැනීමකි. අද ද රේන්ද විවීම පෘතුගාලය තුළ කැපීපෙනෙන කර්මාන්තයකි. රේන්ද කලාව ඔවුන්ගේ පාසල් විෂය ධාරාව යටතේ ඉගැන්වීම සිදු කරයි. මේ අනුව වර්තමාන රේන්ද කලාව පෘතුගීසීන්ගෙන් ලැබුණු බවට කියවෙන මතය වඩාත් ප්‍රත්‍යක්ෂ බව පෙනී යයි.

මුල් කාලීනව කුලීන පවුල්වල කතුන් අතර මෙම කර්මාන්ත ඇරඹි බව පැවසේ. පසුව එය සීමා මායිම් උදුරා දමමින් දකුණු ලක ගාලු පුරයේ කතුන් අතර ජනප්‍රිය වී තිබේ. බීරලු රේන්ද එම වකවානුවේ ලොව පුරා කාන්තා ආකර්ෂණය දිනූ විලාසිතාවක් වූ අතර ඉංග්‍රීසින්ගේ ආගමනයෙන් පසු මෙම කර්මාන්තය තවත් දියුණු වී ඇත. 1815න් පසු උඩරැටියන් අතර ද මෙම මෝස්තර ප්‍රචලිත වුණු බව මෙරට ඇඳුම් මෝස්තර ඉතිහාසය පිළිබඳ සොයා බැලීමේ දී අවබෝධ වෙයි.‍

මේ අනුව යටත්විජිත යුගයේ රේන්ද කර්මාන්තය ප්‍රමුඛ වෙළෙඳාමක්‌ බවට පත්විය. මෙරට විදේශීය කාන්තාවන් විශාල ප්‍රමාණයක් සිටීම, දේශීය ප්‍රභූ කාන්තාවන් ඔවුන් අනුගමනය කිරීම රේන්ද කර්මාන්තයේ දියුණුවට හේතු විය. එදා කාන්තාවන්ගේ යුරෝපීය මෝස්තරයේ ඇඳුම් පැළඳුම්වල රේන්ද අනිවාර්ය අංගයක් විය. එසේම පහතරට කතුන් ඇඳි කබා කුරැත්තුව ආදි හැට්ට හැඩ වූයේ ද අලංකාර රේන්ද රටාවලිනි. කර වටා සහ අත් වටා ගෙතෙන වාටියට අමුණා ඇති මෙම රේන්ද මෝස්‌තර විසිවැනි සියවසේ මැද භාගය වන තුරුම ඉතා ජනප්‍රිය වූ බව බොහෝ දෙනාගේ මතකයේ තිබේ‍.

රේන්ද කර්මාන්තයේ ඉතිහාසය සොයා බැලීමේ දී මේ වටා ඇති සාහිත්‍යය ද අමතක කළ නොහැකිය. හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිර්මාණ තුළ ද රේන්ද කර්මාන්තයේ අක්මුල් ගැවසී ඇත. එසේම මෙම කර්මාන්තයේ විසිවැනි සියවසේ භාවිතය පිළිබඳව ද ‘ගම්පෙරළිය’ සහ ‘කඩුල්ල’ ආදී ප්‍රකට සිනමා නිර්මාණ තුළින් මනාව පැහැදිලි වේ. ජනප්‍රවාද තුළ මෙන්ම සාහිත්‍යය විෂයෙහි ද රේන්ද කර්මාන්තයේ වටිනාකම් පිළිබඳ කළ යුත්තේ වෙනම ගවේෂණයකි.

විවිධ හැඩතල, මෝස්‌තර සහ කැටයම්වලින් අනූන වූ මෙකී රේන්ද කලාව ගාල්ලට පමණක් සීමා වූවක් නොවේ. එදා කඵතර සිට මාතර දික්‌වැල්ල දක්‌වා ද මෙම කර්මාන්තය යහමින් පැවත තිබේ. වෙරළබඩ ව්‍යාප්ත වූ මෙම කර්මාන්තය පාරම්පරික කර්මාන්තයක් ලෙස කෙරෙන්නේ සුළු වශයෙනි. මෙම කර්මාන්තයේ අද කතාව ඉතා ශෝචනීය බව ද කිව යුතුය. එහෙත්  එය ලියා තැබීමට මෙය අවකාශය නොවේ. මෙය රේන්ද කලාවේ ඉතිහාසය පිළිබඳ කතාවයි. මෙහි අප නොදත් තතු රැසක් තිබිය හැකිය. එය විමසා බෙදාගැනීම ඔබට බාරය.
► චමිඳු නිසල් ද සිල්වා 
සේයාරූ - අන්තර්ජාලයෙන්

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00