2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

රුපියල් දෙසිය පනහට කෝච්චි ගේට්ටු රකින අසරණයෝ

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 44

මේ වනවිට ලංකාවේ කිලෝමීටර් 1508කින් යුතු දුම්රිය මාර්ග ජාලයක් වෙයි. ඒවායෙහි දුම්රිය නැවතුම්පොළ ස්ථාන 320කි. දුම්රිය මාර්ග හරහා වැටී ඇති හරස් මාර්ග සංඛ්‍යාව 1337කි. ඉන් 687ක් අනාරක්ෂික හරස් මාර්ග බව ප්‍රවාහන අමාත්‍යංශය කියයි.

මේ අනාරක්ෂිත හරස් මාර්ගවල වූ ගේට්ටු ක්‍රියාකරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සේම පොලිස් දෙපාර්තමේන්තුව මගින්ද මුරකරුවන් පත්කොට තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව මගින් පත්කොට සිටින මුරකරැවන් එහි ස්ථීර සේවකයන්ය. දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මුරකරුවන් යොදවා නැති හරස් මාර්ගවලට ආරක්ෂාව සැපයීමට පොලිස් දෙපාර්තමේන්තුව මගින් දෛනික දීමනාවක් ලබාදෙමින් තාවකාලික මුරකරුවන් යොදවා තිබේ. ඒ සංඛ්‍යාව 2061කි. දෛනික දීමනාව රුපියල් 250කි.

පවතින බඩු මිල අනුව හාල් කිලෝවක්, පොල් ගෙඩියක් හා එළවළු ග්‍රෑම් 500ක් මිලදී ගත නොහැකි දෛනික දීමනාවකට සේවය කරන මුරකරුවන්ගේ පෞද්ගලික හා සේවා ජීවිතවල ඇතුළාන්තය මැන ගැනීමට මේ සටහනෙන් ඔබට ආරාධනා කරමු.

“උණ බම්බු ගේට්ටු ක්‍රමය පටන් ගත්තේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ. මට මතක හැටියට 1989දී විතර. අහුන්ගල්ල දුම්රිය අනතුරත් සමඟ තමයි කඩිනමින් මේක පටන්ගත්තේ ජනසවිලාභීන්ගෙන් තමයි මුරකරුවන් තෝරාගත්තේ. රුපියල් 1000ක දීමනාවක් දුන්නා. මුද්දරයට රුපියලක් කපාගෙන අතට ලැබුණේ රුපියල් 999යි. ඒ කාලේ හැටියට ඒ මුදල යම් තරමකට හෝ සෑහෙනවා.”

එහෙම කියමින් අප සමඟ කතාබහට එක්වූයේ ගල්ගමුව, අරසන්වැව ඉහළ පදිංචි එස්.එම්.ආර්. බණ්ඩාර මහතාය. ඔහු වැඩිදුරටත් කීවේ මෙවැන්නකි.

“ගේට්ටු මුරකරුවෙකු ලෙස මං අවුරුදු 21ක් සේවය කළා. ඊටපස්සේ ගේට්ටු මුරකරුවන් ස්ථීර කරනකොට මගේ වයස වැඩිවුණා. ඒ නිසා ස්ථීර කළේ නෑ. අපව අයින් කළා. ඊළඟට මුරකරුවන් නැති ගේට්ටුවලට පොලිස් දෙපාර්තමේන්තුව මගින් දවසකට රුපියල් 250ක දීමනාවකට මුරකරුවන් යෙදෙව්වා. මං දැන් ඒ දීමනාව ලබමින් වැඩකරනවා.”

“එක මුරකුටියක මුරකරුවන් තුන් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් පැය 8ක් වැඩ කරන්න ඕන. මාසයක් වැඩකළාට පස්සේ ඊළඟ මාසේ තමයි දීමනාව දෙන්නේ. මේ දීමනාවෙන් එක වේලවක්වත් කන්ඩ බෑ. අඩුම ගානේ තුන්වේලට කන්ඩවත් සරිලන දීමනාව දෙන්න කියලා අපි ඉල්ලීම් කළා. වර්ජනය කළා. ඒත් වැඩක් වුණේ නෑ.”

ගල්ගමුව, දුම්රියපොළ ස්ථානය  අසල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ වූ ගේට්ටුවේ මුරකරුවෙකු ලෙස කටයුතු කරන ධර්මසිරි ජයසිංහ මහතාද අප සමඟ එක්විය. මේ ඔහු කී කතාවයි.

“උණ බම්බු ගේට්ටුකරුවන්ගෙන් පිරිසක් ස්ථීර කළේ චන්ද්‍රිකා මැතිනියගේ කාලේ. ඒ කරලා ඒ අය දෙපාර්තමේන්තුවට බඳවා ගත්තා. වයස වැඩි අය ස්ථීර කළේ නෑ. ගල්ගමුව ප්‍රදේශයේ ස්ථීර නොකළ උණබම්බු ගේට්ටුකරුවන් 40ක් විතර ඉන්නවා. ඊට පස්සේ මහින්ද මහත්තයාගේ ආණ්ඩු කාලේ එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි දෛනික දීමනාවකට අපව බඳවා ගත්තේ. 2013 මැයි මාසේ සිට තමයි අපි වැඩ කරන්නේ.”

දෛනික දීමනාවට අමතරව මුරකුටි හදලා දෙනවා කීවා. විදුලි පන්දම්, ඉටිපන්දම්, රේන්කෝට්, භූමිතෙල් ඔය වගේ දේවල් දෙනවා කීවා. ඒත් මේ වනතුරු ඒ කිසිම දෙයක් දීලා නෑ. පහුවෙනකොට පඩි වැඩි කරනවා කියලත් කීවා. මේ රුපියල් 250 දීමනාව විතරයි. අපි ගැන කිසිම කෙනෙකු බලන්නේ නෑ. අද කුලීවැඩ කරන මිනිහටත් දවසට රුපියල් 2500ක් ගෙවනවා. මේ රුපියල් 250න් ජීවත්වෙන්නේ කොහොමද කියලා හිතලා බලන්නකෝ.”

අඹන්පොළ, දැතව පදිංචි ඩබ්ලිව්.ඒ.එම්. කිරිබංඩා මහතාද අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක ගේට්ටු මුරකරුවෙකු සේ කටයුතු කරන්නෙකි. මේ ඔහුගේ අදහස්ය.

“මං වැඩකරන්නේ උතුරු දුම්රිය මාර්ගයේ දැතව හරස් පාරේ ගේට්ටුවේ. මේ දෙන දීමනාව කිසිසේත් ප්‍රමාණවත් නෑ. ඒ නිසාම ගේට්ටුකරැවන් බොහෝමයක් දැන් ඉවත්වෙලා. මේ ගේට්ටුවටත් මුරකරුවන් මාස ගණනක් නැතිව හිටියා. මේ දීමනාවට එන්ඩ කවුරුත් කැමති නෑ.”

“මේ හරස් මාර්ගයේ වාහන යනවා එනවා වැඩියි. ඉස්සරහ හෝටලයක් තියෙන නිසා රූ 11-12ටත් කට්ටිය යනවා. එනවා. එක රෑකට කෝච්චි 4-5ක් ගමන් කරනවා. මොනවා හරි අනතුරක් වුණොත් මුරපොතේ අත්සන් කරන අය වගකියන්න ඕන. ඒ අවදානම අපිම බාරගත්තා මිසක් වෙන අය බාරගන්ඩ කැමති නෑ.”

“මේ ගේට්ටුවත් දෙකට කැඩිලා. ලී බැඳගෙන ඉන්නේ. ගේට්ටුවේ කැඩුණු කෑල්ලක් වෑල්ඩින් කරා. ඒකට රුපියල් 600ක් වියදම් වුණා. මගේ අතේ සල්ලි තමයි වියදම් වුණේ. මාසයටම ලැබෙන්නේ රුපියල් 7500යි. ඒ මුදලින් තව නඩත්තු කටයුතුත් කරන්න ඕන.”

ගල්ගමුව, කුරුන්දන්කුලම පදිංචි එස්.පී. සුමිත් ජයවීර මහතා:
“උණ බම්බු ගේට්ටු ක්‍රියාකරුවෙකු ලෙස මං කටයුතු කරන්ඩ පටන් ගත්තේ 1992දී සුළු මාසික දීමනාවක් ලබමින් මං අවුරුදු 16ක් සේවය කළා. 2005 ජූලි පළමුවැනිදා උණ බම්බු ගේට්ටුකරුවන් සියලුදෙනාට ආදේශ පත්වීම් දුන්නා. ඒ වනවිට ඒ හැමෝගේම වයස අවුරැදු 45 පැනලා. ආදේශ කම්කරැවන් ලෙස අපට ගේට්ටු හා මාර්ග නඩත්තු රාජකාරි බාරදුන්නා.         

ආදේශ සේවා කාලය අවුරැදු 9යි මාස 3ක් ගතවීමෙන් පසු අවුරුදු තුනක පරිවාස කාලයකට යටත්ව 2014 ඔක්තෝබර් 24 වැනිදා අපට ස්ථීර පත්වීම් ලබාදුන්නා. මේ පත්වීම් වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් සහිතවයි දුන්නේ. අපේ වැටුපෙන් ඒවා අඩුකර ගත්තා. කොහොම හරි වයස අවුරුදු 60 වෙද්දී අපි පිරිසකට ස්ථීර සේවයේ අවුරුදු 10ක සේවා කාලයක් සම්පූර්ණ වී තිබුණේ නෑ. ඒත් අපේ ඉල්ලීම අනුව උණබම්බු ගේට්ටු ක්‍රියාකරුවකු සේ බඳවාගත් දින සිට සේවා කාලයත්, ආදේශක සේවා කාලයත් සැලකිල්ලට ගෙන ස්ථීර සේවයේ අවුරුදු 10 සම්පූර්ණ කර සිටින අයට විශ්‍රාම වැටුප දීමට අංක 18/0877/709/029 දරන සංදේශය දුම්රිය සාමාන්‍යාධිකාරී විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ලෙස ඉදිරිපත් කළා. ඒ අනුව 248ක නම් විශ්‍රාම වැටුප් ලබාදීමට නම්කර තිබුණත් කැබිනට් අනුමැතිය ලැබුණේ 167 දෙනෙකුට. පරිවාස කාලය සම්පූර්ණ නොවූ 81 දෙනෙක් ප්‍රතික්ෂේප වුණා. මාත් ඒ එක්කෙනෙක්.”

“අපගේ ආදේශක කාලයත්, ස්ථීර සේවා කාලයත් එකතු කළ විට මුළු කාලය අවුරුදු 10ක් සම්පූර්ණ වෙනවා. ඊට අමතරව දෙපාර්තමේන්තුවේ පත්වීමක් නැතිව උණබම්බු ගේට්ටුකරුවෙකු ලෙස අවුරුදු 16ක් මං වැඩකරලා තියෙනවා. ඒත් අද අපට විශ්‍රාම වැටුප අහිමිවෙලා. ජීවිතේ අන්තිම කාලය සතුටින් ගත කරන්න හැකියාවක් නෑ. තෙල් බෙහෙත් ටිකක්වත් ගන්ඩ සල්ලි නෑ. අතපයත් වාරු නෑ. අපි රජුන්ගේ රෙදි ඇපිල්ලුවා මිස දාසයන්ගේ රෙදි ඇපිල්ලුවේ නෑ. ඒ නිසාද මෙහෙම කරන්නේ.”

අඹන්පොළ, පලුගස්වැව පදිංචි ඩබ්ලිව්.එම්. මුදියන්සේ මහතාද එවැන්නෙකි. ඒ ගැන ඔහු කීවේ මෙවැන්නකි.

“පවුල් බර තියෙන අයට මේ රුපියල් 250න් පවුලක් නඩත්තු කරන්න බෑනේ. තනි මිනිහෙකුටවත් දවසට මේ මුදලින් ජීවත් වෙන්න පුළුවන්ද? දවසින් දවස බඩුමිල ඉහළ යනවා. වියදම සැරයි. ඒ නිසා තමයි අපි වාගේ වයසක අය වැඩිපුරම මුරකරැවන් වශයෙන් ඇවිත් ඉන්නේ. මට දැන් වයස අවුරුදු 73යි. ඇස් පේනවා කන් ඇහෙනවා. ඒ නිසා කෝච්චි එනකොට ගේට්ටුව වහන්න පුළුවන්. වෙන අය මේ 250 රස්සාවට එන්නේ නෑ.”

ගල්ගමුව, ඉහළගම පදිංචි ආර්.ඒ. කුලසිරි මහතා:
“මං වැඩකරන්නේ ගල්ගමුව දුම්රිය පොළ ළඟ වූ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ මුර කුටියේ. මට දරුවන් දෙන්නෙක් ඉන්නවා. බිරිඳ ග්‍රාමාරක්ෂකවරියක්. ඒ අය ඉන්නේ වව්නියාවේ. මට දරුවන්ට රෙදි කෑල්ලක්වත් අරන් දෙන්න විදිහක් නෑ. ඒ ඔක්කොම කරන්නේ බිරිඳ. මටත් මේ දීමනාවෙන් වේල් දෙකක්වත් කන්ඩ බෑ. ඒ නිසා මං නගරයේ හෝටල්වලට දර ටික ඇදලා දෙනවා. වතුර ඇදලා දෙනවා. කොන්ක්‍රීට් අනන වැඩවලට යනවා. ඔය වාගේ සුළු සුළු දේවල් කරලා කීයක් හරි හොයාගන්නවා.”

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසූ විට දුන්නේ මෙවැනි පිළිතුරකි.
“කැබිනට් තීරණයක් දීලා තියෙනවා මේ අනාරක්ෂිත දුම්රිය මාර්ගවල බෙල්ලට් ලයිට් සිස්ටම් එක දානකම් ඒවාට පොලීසියෙන් ආරක්ෂාව සැපයිය යුතුයි කියලා. ඒ අනුව තමයි එවැනි දුම්රිය හරස් මාර්ගවල ආරක්ෂාවට පොලීසියෙන් ඔය මුරකරුවන් යොදවලා තියෙන්නේ. අපේ දෙපාර්තමේන්තුවෙන් දාපු අය නෙවෙයි. ඒ නිසා ඔය ගේට්ටු මුරකරුවන් හා අපේ සම්බන්ධයක් නෑ.”

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගෙන් විමසූ විට කීවේ මෙවැන්නකි.

“අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවලට මුරකරුවන් යෙදවීමට පොලීසිය බාරගත්තේ නෑ. අපට බාරදුන්නා. ඇත්තටම මේ කටයුත්ත කරන්න ඕන දුම්රිය දෙපාර්තමේන්තුවයි. හැමදෙයක්ම පොලීසියට බාරදෙනවා. ඒ මුරකරැවන්ගේ දීමනා වැඩිකරන්න හෝ වෙනත් ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න කියන්න ඕන දුම්රිය දෙපාර්තමේන්තුව.”

► සටහන හා පින්තූර - ගල්ගමුව නිහාල් ජයවීර

 

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30