2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

අරුවක්කාලුවේ තල්මස්සු?

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 97

පෘථිවිය නිර්මාණයේ මුල්ම කාලයේ ලංකාව පැවතුණේ ඉන්දියාව, අප්‍රිකාව හා සමඟ ගොන්ඩ්වානාලන්තය නම් මහාද්වීපයක් වශයෙනි. ඉන්දියාව වසර මිලියන 195කට පෙර ඉහළ ඉයෝසීන යුගයේදී එම මහද්වීපයෙන් වෙන් වී ආසියාවේ කොටසක් බවට පත්විය. ලංකාව ඉන්දියාවෙන් වෙන්ව දූපතක් බවට පත්වූයේ මයෝසීන යුගයේදීය.

මෙම පැරැණි භූවිද්‍යාත්මක සාධක හෙළිදරව් කරන සාධක සහිත පාෂාණ තැන්පතුවක් පුත්තලමේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අරුවාක්කාලු ප්‍රදේශයේ පිහිටා තිබේ. වර්ෂ මිලියන 23කට ඉහත මයෝසීන යුගයට අයත් පොසිල සාධක සහිත මේ භූමිය අක්කර හාරදහසක වනගත භූමියක පැතිර පවතී. උතුරින් කලා ඔයෙන් ද නැගෙනහිරෙන් එළුවන්කුලම ගමෙන් ද දකුණින් සේරක්කුලිය හා බටහිරෙන් පුත්තලම කලපුවෙන් ද එය සීමා වේ. වනයේ දැවැන්තයා වන අලියා නිතර සැරිසරන මේ වන පියස කලක පටන්ම පුත්තලම සිමෙන්ති කම්හලේ හුණුගල් ලබාගන්නා ප්‍රදේශයයි.

වටිනා පුරා ජෛව විවිධත්ව සාධක සහිත මේ භූමිය ඉක්මනින් පුරාවිද්‍යා කලාපයක් බවට පත් නොකළහොත් දැනට දැකගත හැකි සාධක විනාශ වී යාමේ අවදානමක් පැන නැගී ඇත. සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය හුණුගල් අඛණ්ඩව කැණීම නිසා පුරාවිද්‍යා සාධකවලට සේම සත්ව හා ශාක ප්‍රජාවට ද විශාල බලපෑමක් එල්ල වන බව පරිසරවේදීහු පවසති. මේ නිසා මෙම කලාපයේ ස්ථාන හතරක් පුරා ජෛව විවිධත්ව ආරක්ෂණ කලාප ලෙස නම් කිරීමට අවශ්‍ය නිරීක්ෂණ කිරීමට පරිසර රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීරගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර් යේෂණ නිලධාරී රාජ් බණ්ඩාර, රේගු ජෛව විවිධත්ව ඒකකයේ හිටපු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර, ජෛව විවිධත්ව ලේකම් කර්යාලයේ අධ්‍යක්ෂිකා ආර්. එච්. එම්. පී. අබේකෝන්, පරිසරවේදී මෙන්ඩිස් වික්‍රමසිංහ ඇතුළු විද්වතුන් හා නිලධාරීන් රාශියක් පසුගියදා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූහ.

ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙන්වූයේ මයෝසීන යුගයේදීය. සුමාත්‍රා, බෝර්නියෝ ආදී දූපත් ද ගොන්ඩ්වාලන්ත මහාද්වීපයෙන් වෙන්ව ගියේය. මයෝසින යුගය අදින් වසර මිලියන 23ක සිට වසර මිලියන 5.3 දක්වා අතීතයකට අයත්ය. මන්නාරම වැලිගල් හා වනාතවිල්ලුව හුණුගල් මේ යුගයට අයත් සාධක සහිතය. මයෝසීන හුණුගල් කලාපය මන්නාරම හරහා යාපනය දක්වා ව්‍යාප්ත වුණද පොසිල සාධක හොඳින් හමුවන්නේ පුත්තලම අරැවක්කාලු නිධිය තුළිනි.

එලෙස ශ්‍රී ලංකාවේ පුරාණ පොසිල දැකගත හැකි ප්‍රධානම භූමියක් වශයෙන් අරැවක්කාලු හුණුගල් තැන්පතුව වැදගත්ය. නමුත් අරැවක්කාලුව අද ප්‍රකටව ඇත්තේ කොළඹ කුණු ගොඩගසන කසල රඳවනය සහ සිමෙන්ති කම්හලේ හුණු ගල් නිධිය නිසාය. මයෝසීන යුගයේ ජීවත් වූ දෙපියන් බෙල්ලන්, තල්මසුන්, ඩොල්පින්, මඩුවන් ආදී සතුන් මෙම හුණුගල්වල පොසිල ලෙස හමුවේ. එයට හේතුව ඒ යුගයේ මෙම ප්‍රදේශය මුහුදට අයත්ව තිබූ නිසාය. ඊට අමතරව ජල පහරින් ගෙවී ගිය ගල්, බොරළු හා වැලි තිබීමෙන්ද මිරිදිය සත්ව පොසිල හුවීමෙන්ද පෙනෙන්නේ මයෝසීන යුගයේදී මේ ප්‍රදේශය හරහා මිරිදිය ගංඟාවක් ද ගලාගොස් ඇති බවයි. අද එහි ගංඟාවක් නැත.

මේ ප්‍රදේශය සංරක්ෂණය කිරීමේ වැදගත්කම පැහැදිලි කළ පරිසර රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර, “අරුවක්කාලු ප්‍රදේශය පුරා ජෛව විවිධත්ව ආරක්ෂක කලාපයක් ලෙස නම් කරන ලෙස පරිසරවේදීන්, පුරාවිද්‍යාඥයන්, මාධ්‍යවේදීන් ඉල්ලීම් කරන්නේ දශකයක පමණ කාලයක සිටයි. එය ලංකාවේ සංචාරක කර්මාන්තයට ද බරපතළ ආකර්ෂණයක් වෙනවා. මෙම පාරිසරික කලාපය ජෛව විවිධත්ව කලාපයක් ලෙස නම්කර නිත්‍යානුකූල ආරක්ෂාව ලබාදීම කඩිනම් කිරීම අපගේ අරමුණයි. දැනටමත් සමහර ප්‍රදේශ මානව ක්‍රියාකාරකම් නිසා විනාශයට පත්වෙමින් තිබෙන්නේ. අපි ඉතා කඩිනමින් මේ සංරක්ෂණ කලාපය ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එවිට මේ වැදගත් ස්ථානයට අවශ්‍ය ආරක්ෂාව තහවුරු වේවි.”

අරැවක්කාලු භූමියේ හුණුගල් කැණීම ඔබ මේ ලිපිය කියවනවිටත් සිදුවේ. එලෙස කැණීම් කරන හුණුගල් දුම්රිය මගින් පුත්තලම සිමෙන්ති කම්හලට ප්‍රවාහනය කෙරේ. මෙහි කැණීම් මුලින්ම ආරම්භ කළේ 1950 දශකයේ ලංකා සිමෙන්ති සංස්ථාව විසිනි. වර්ෂයකට හුණුගල් මෙට්‍රික් ටොන් ලක්ෂ 14ක් ඉන් නිෂ්පාදනය කෙරේ. එලෙස හුණුගල් ලබාගන්නා අතරම වැදගත් ස්ථාන හතරක් පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක ලෙස නම් කිරීමට නියමිතය.

මයෝසීන් පොසිල සහ ප්ලයිස්ටොසීන රතු පස් නිධි හරස්කඩක් සහිත හුණුගල් කැණීම් කර අත්හැරි ප්‍රදේශයක්, පූර්ව ශිලා යුග මානව මෙවලම් හමුවන අලි වළ නම් ප්‍රදේශය, බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයට අයත් මැනුම් කුලුන සහිත ප්‍රදේශය, සේරක්කුලියේ ශිලා මෙවලම් වළං කටු හමුවන පොල්වත්ත නම් ස්ථානය එලෙස ආරක්ෂිත භූමි ප්‍රදේශ බවට පත්කිරීමට නියමිතය.

පසුගිය කාල සීමාව තුළම ඇතැම් රාජ්‍ය නිලධාරීන් ද සිමෙන්ති සමාගමේ මතයට යටත් වීම නිසා මෙම ප්‍රදේශ ආරක්ෂිත ප්‍රදේශ බවට පත්කිරීමට කටයුතු යටගොස් තිබුණි. සිමෙන්ති සමාගමේ පාලනාධිකාරියත් සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණ අදාළ ගැටලු සමතයකට පත්කර ගැනීමට වත්මන් බලධාරීන් තීරණය කර තිබේ. මේ පිළිබඳව අදහස් දක්වන පුරාවිද්‍යා පර් යේෂණ නිලධාරී රාජ් බණ්ඩාර මෙසේ පැවසුවේය.

“අලි වළ නම් ස්ථානයට ඒ නම ලැබී තිබෙන්නේ අලි නිතරම ජලය බීමට පැමිණෙන තැනක් නිසා. එහි පූර්ව ශිලා යුගයේ මෙවලම් හමුවන ගොඩැලි කිහිපයක් තිබෙනවා. අවස්ථා ගණනාවකදී මේ ස්ථානයෙන් බොරළු කපා තිබෙනවා. මෙහි විධිමත් පුරාවිද්‍යා කැණීමක් කළොත් ප්‍රාග් ඓතිහාසික සාධක ගැන වැදගත් තොරතුරු හමුවේවි.

බ්‍රිතාන්‍ය යුගයේදී භූමියේ මිනින්දෝරු කටයුතු සඳහා භාවිත කළ මැනුම් කුලුනක් මෙහි වනය මැද්දේ පවතිනවා. දැනටත් එම කුලුන විනාශ වෙමින් පවතින්නේ. එම කුලුන සංරක්ෂණය කිරීම අවශ්‍යයි. මෙවැනි මැනුම් කුලුනු කිහිපයයි අද ඉතිරිව පවතින්නේ.

පරණ කොරිය නමින් හඳුන්වන හුණුගල් කඩා අත්හැර දැමූ භූමියත් වැදගත් ස්ථානයක්. එහි භූමියේ විශාල හරස්කඩක් දැකගත හැකියි. මයෝසීන යුගයේ සිට යුග ගණනාවක් නිරීක්ෂණය කිරීමට එම ස්ථානය සුදුසුයි.

මෙවැනි ස්ථාන සංරක්ෂණ ප්‍රදේශ ලෙස නම් කිරීමට පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය සමඟ සහයෝගයෙන් තමයි අපි වැඩ කරන්නේ.”

දැන් කළ යුත්තේ අරුවක්කාලු පුරා ජෛව විවිධත්ව සංරක්ෂණ ප්‍රදේශය ඉක්මනින් ගැසට් කිරීමය. එයට අවශ්‍ය නීතිමය ආරක්ෂාව සැලසීමය. එමෙන්ම භූ විද්‍යාව, භූගෝල විද්‍යාව මෙන්ම පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථීන්ට සහ ඒ සඳහා උනන්දු වන කාටත් එම ස්ථාන ගවේෂණය කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමය.

►  කුසුම්සිරි විජයවර්ධන

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:48