2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

වෙනස් වන ගමත් එක්ක වෙනස් නොවන ජේමිස් අයියා

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:31 148

අහල පහළ කෙනෙකු හයියෙන් කතා කරනවා ඇහුණොත් ගෙයින් එළියට බැස දෑස් දල්වා බලන ගමේ උදවිය ජේමිස් අයියා මහ හඬින් කුණුහරුප කියන විට තමන්ගේ පාඩුවේ වැඩක් කර ගනිති. ජේමිස් අයියා එසේ කුණුහරුප කියන්නේ බීමතින් වුවද එසේ කරන්නේ ඉඳහිටය. ඔහු බීමතින් ඉන්නේ ඉඳහිට යැයි එයින් අදහස් නොවේ. ඔහු උදේ හවා බීමත් වෙයි. ඔහු බීමත් වුවත් කුණුහරුප කිව්වත් ගමේ අයට ඔහුගෙන් කරදරයක් නැත. ඔහු කුණුහරුප කියන්නේ කේන්තියෙන් නොවේ. කුණුහරුප කියා කෑ ගැසීම ජේමිස් අයියා රසවිඳගන්නේ සීපද කියන්නකු තමාගේ ගායනය රසවිඳින්නා සේය. ඔහු කියන කුණුහරුප අතර සිංහල භාෂාව කතා කරන අය ඉඳහිට පොදුවේ කියන කුණුහරුපත්, ඔහුටම ආවේණික හරැපත් තිබේ. ඔහු කුණුහරුප කියා කෑ ගසන්නේ කේන්තියෙන් නොවන බව මා දැනගත්තේ මේ ගැන මා ඔහු සමඟ කතා කළ නිසාය.

“මම කුණුහරුප කියලා කෑ ගහන්න බැරි නම් මේ ගමේ වෙන කාටද පුළුවන්?” ඔහු මගෙන් ඇසුවේය.

වෙනස් වූ සමාජ පරිසරය තුළ කලින් පරම්පරාවේ ශේෂ වූ ගති පැවතුම් ඇති පුද්ගලයා පෙනෙන්නේ අමුතු අයකු ලෙසයි. එම පුද්ගලයා තුළ ඇති ගතිපැවතුම්වල බාහිර ලක්ෂණ පමණක් දකින අලුත් පරම්පරාවේ උදවිය පැරැණ්නාව ගැඹුරෙන් වටහා නොගනිති. පැරැණ්නා තුළ මතුව පෙනෙන බාහිර ලක්ෂණවලින් ඔහුගේ ඇතුළාන්තය වටහා ගත නොහැකිය යන්නට ජේමිස් අයියා උදාහරණයකි.

අප වාසය කරන ප්‍රදේශය අර්ධ නාගරික පෙදෙසක් යැයි කිවහොත් එය නිවැරදිය. මෑතක් වනතුර ගමක් ලෙස මේ ප්‍රදේශය පැවති බව සිහිගන් වන ලක්ෂණ තවමත් මෙහි ශේෂ වී පවතී. තැන තැන ඉඳහිට වැඩ කරන කුඹුරුත්, පුරන් වී ඇති කුඹුරැත් ශේෂ වී ඇති ඕවිටත් එහි ඇත. එම ඕවිට බොහෝ විට එළවළු වගාවට යොදාගත් ඒවාය.

මෙම ප්‍රදේශයේ කෘෂිකර්මය මත පදනම් වූ සමාජ රටාව කෙමෙන් වෙනස් විය. රැකී රක්ෂා සඳහා කොළඹ සමීපයේ පදිංචියට පැමිණීම වැඩි වෙද්දී මෙම ප්‍රදේශයට පිටතින් පැමිණි ජනයාද වැඩි විය. එහිම ජීවත් වූ පවුල්වල ජීවන රටාවද පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් වූයේය. අසූ ගණන්වල කෘෂිකර්මයෙන් දිවි ගෙවූ ජනයාගේ දරුවන් කුඹුරු ඕවිටි ආදියේ ගොවිතැන් කළේ ගොවිතැන “පාර්ට් ටයිම්” රැකියාවක් ලෙස ගෙනය. ඊළඟ පරම්පරාවේ අය ගොවිතැන මුළුමනින් බැහැර කොට වෙනත් රැකියාවල නිරත වූහ. පාසල් අධ්‍යාපනය සාර්ථක වූවෝ සේවා අංශවල රැකියාවේ නිරත වූහ. පාසල් අධ්‍යාපනය සාර්ථක නොවූවෝ ත්‍රීරෝද රථ පැදවීම ආදී රැකියාවල නිරත වූවෝය. මේ අතර ගැමියන් ලෙස හැඳින්විය හැකි අය ඉතිරි වූයේ අල්පයකි. ජේමිස් අයියා ඉන් එක් අයෙකි. මෙහිදී ජේමිස් අයියාගේ සැබෑ නම නොලියන්නේත් ගමේ නම නොලියන්නේත් ඔහුට ගරු කිරීමක් ලෙසයි. ජේමිස් අයියා ගමේ අතීතය සිහිගන්වන චරිතයකි. එම චරිතය වර්තමානයේ ජීවත් වන අතීත නිදහසේ සංකේතයක් ලෙස මට හැඟේ. නිදහස් දිනයේ මා ඔහු ගැන නිදහසේ ලියන්නේ ඔහුගේ දිවි පෙවෙත ගැන නිදහසේ සිතන ලෙස ආයාචනා කරමිනි.

ඉස්සර වෙල් අයිනේ දේශීය මද්‍යසාර පානය රස බැලූ ජේමිස් අයියා දැන් දිනපතා යන්නේ හන්දියේ බාර් එකටයි. දිනපතා එක් වරක් නොව දෙවරක් උදේ හවා දෙකේ බාර් එකෙන් ඔහු දෙකක් දා ගනී. ඉන්පසු කට ගැස්මට හන්දියේ කඩෙන් වඩේ මිලදී ගන්නා ඔහු ඉන් එකක් කා අනෙක් ඒවා ඔඩොක්කුවේ ලා ගනී. ඉන්පසු බේකරියෙන් පාන් ගෙඩියක් හා බනිස් මිලට ගනී. අතේ රුපියල් 50ක් ඉතිරි වුවහොත් මාළු කඩයෙන් රුපියල් 50කට මාළු ඔලුවක් මිලට ගනී.

හන්දියේ සිට ගෙදර දක්වා ඇති සැතපුමක පමණ දුර ඇතුළත හමුවන සියලු බළලුන්, බල්ලන් ජේමිස් අයියාගේ යාළුවෝ වෙති. ගණනින් බළලුන් දුසිමකට වැඩියි. බල්ලන් ඊටත් වැඩිය. ජේමිස් අයියා හන්දියට ගොස් ආපසු එන වෙලාව දන්නා බළලුන් සියල්ලෝම බාගෙට ඇස් පියාගෙන බළල් සෙයියාවෙන් හිඳගෙන ඉන්නේ ජේමිස් අයියා එන දිසාව දෙසට හැරීය. ගෙවල් ඇතුළේ ඉන්නා  බළල්ලු ජේමිස් අයියාගේ අඩි ශබ්දයට සංවේදී නිසාදෝ ගෙදර අය දැන ගන්නට කලින් ජේමිස් අයියා එන බව දැනගෙන එළිපත්තට එති. සුපුරුදු ගෙයක එළිපත්ත හෝ බළලුන් ඉන්නා තැනක හිඳගන්නා ජේමිස් අයියා. තමා ගෙනා බනිස් හෝ වඩේ කඩා උන්ට කන්නට දෙයි. පොඩි බළල් පැටවුන් අතට ගෙන සුරතල් කරන ජේමිස් අයියා බළලුන් හා දොඩයි. බළල් බාසාවෙන් ඔහු හා කතා කරන බළල්ලු කිහිපදෙනෙක් ද සිටිති. ජේමිස් අයියාගෙන් කෑම කන බළලුන් වර්ග කිහිපයකි. ඇතැම් බළලුන් කෑ විගස එතනින් ඉවත්ව ගොස් තමන්ගේ වැඩක් බලාගනිති. ඇතැම් බළල්ලු තවත් ඉල්ලමින් ඔහුගේ ඇඟේ දැවටෙති. සමහර බළල්ලු ඉහත කීවා සේ ඤාව් බසින් බොහෝ දේ කියති.

ජේමිස් අයියා එන මග පාන් කන්නට බලාපොරොත්තුවෙන් (බළලුන්ට අමතරව) බල්ලන් රැඳී ඉන්නා තැන් තුන හතරක් ඇත. තත්පර බාගයට දෙකට පාන් කෑලි ගිලින බල්ලෝ ඉන්පසු මඳ දුරක් ජේමිස් අයියා සමඟ පැමිණෙති.

බළලුන් ඉන්නා තැනට ඔහු පසුපස බල්ලන් ආවොත් එතැන වෙනම ජවනිකා රැසකි. බල්ලන්ට අකමැති බළලුන් මනු ස්වරයෙන් හඬ නගති. බල්ලෝ බළලුන්ගේ මනු ස්වරය තුට්ටුවකට මායිම් නොකර උන් සෙල්ලමට කැඳවමින් වලිග වනති. පැටවුන් සිටිනා බැළලියක එතැන සිටියහොත් තත්ත්වය වෙනස් වෙයි. තමා මෙන් හත්ගුණයක් විශාල බල්ලකු පවා පන්නාගෙන ගොස් පහර දීමට බැළලිය සමත් වේ. බැළලියගෙන් පහරකන බල්ලා දිවයන්නේ දණ්ඩෙන් පහර කෑ එකකු මෙන් බලු හඬ දීගෙනය.

හොරුන්ගෙන් බේරෙන්නට කියා පැටි කාලයේදී ගෙවල්වලට ගෙනවුත් බෙරිහන් දෙන නිසා බැඳ තබන්නට බැරිව ලෙහාදා අතහැර දැමූ බල්ලන්ද පන්සල ළඟට ගෙනැවිත් පැටි කාලයේ අතහැර දැමූ බල්ලන්ද, අයාලේ යන බල්ලන්ද ගෙවල්වල “පාර්ට් ටයිම්” බල්ලන්ද, පාරේ නිත්‍යවාසී බල්ලන්ද ජේමිස් අයියාගේ ගජ මිතුරෝය. එයින් එක් බැල්ලියක හෝ පැටවුන් දැමූ විට දිනපතා උදේ සවස එම බැල්ලියට ජේමිස් අයියාගේ බත් පතෙන් බාගයක් ලැබෙන්නේය.

හන්දියේ මාළු කඩයෙන් රුපියල් 50කට මාළු ඔලුවක් මිලදී ගත්දාට සියලු මිතුරු බලු බළල් ගණයාට බත් සමඟ මාළු සංග්‍රහය ජේමිස් අයියාගෙන් ලැබේ. දැන් ජේමිස් අයියාට රුපියල් 50කට මාළු ඔලුවක් දීම මාළු කඩේ මුදලාලි නවතා දමා ඇත්තේ ඊට වැඩි ගාණකට ඒවා විකිණෙන නිසාය.

ගෙදර ඉන්නා හූනන්ද ජේමිස් අයියාගේ අඹ යහළුවන් බව දැනගන්නට ලැබුණේ ඔහුගේ වියපත් නැගණිය ගෙනි.

“හූනන්ට බත් දෙන පොල් කටුව තියෙන්නේ ජේමිස් අයියාගේ ඇඳ උඩ. පොල්කටුවෙ බත් නැති දාට හූනෝ සේරම ජේමිස් අයියාගේ ඇඳ දිගේ නගිනවා. අනේ කන්න දෙන බත් එකෙන් බාගයක් සත්තුන්ට ගෙනියනවා.” 

ගමේ හරක් බඳින අයෙකුට ඉතිරි වී ඇත්තේ ජේමිස් අයියා පමණකි. ඔහුගේ එළදෙනට අන්තිමට පැටියකු ලැබුණේ දැනට අවුරුදු පහකට පමණ පෙරයි. ඔහුගේ දවස ඇරඹෙන්නනේ එළදෙන දක්කාගෙන ඇවිත් තණකොළ ඇති ඉඩමක බැඳීමෙනි. එවැනි ඉඩම් දැන් ඉතිරිව ඇත්තේද අල්පයකි. පර්චස් දහයට කුට්ටිකර විකුණු ඉඩම්වල අතරින් පතර ඉතිරි වී ඇති නොවිකුණු හෝ අයිතිකරු පළාතේ නොඑන ඉඩම් කට්ටිවල එළදෙන කන වර්ගයේ තණකොළ තවම වැවේ. ශ්‍රී ලංකාවට සත්වාභාරයක් ලෙස පිට දේසෙකින් ගෙන ආ මාන පඳුරු ඒවායේ එමටය. එළදෙන කන්නේ ඒවායේ ළපටි දලු පමණකි. ඒ හැරුණු විට අවට පදිංචි වූ ඉඩම් කට්ටිවල වාසය කරන අය ඉවත ලන කෙසෙල් ලෙලි, කොස් කටු, ඉතිරි වන පාන් බාග ජේමිස් අයියාගේ එළදෙන ආසාවෙන් බුදී. එළදෙන අවට ඉඩම්වල පදිංචි අයවත් අවට ඉඩම්වල පදිංචි අය එළදෙනවත් හොඳින් හඳුනති. අව්ව සැරට වදින්නට ගත් විට එළදෙන වඳුලක සැඟව ගනී.

ජේමිස් අයියා එළදෙනව තවත් තැනක බඳින්නට එන්නට කලින් ජේමිස් අයියාගේ බල්ලකු එළදෙන ළඟට පැමිණ ඒ බව බලු බාසාවෙන් කියන්නේ පණ්ඬිතයකු මෙනි. එවිට ඌ බුරන්නේ “ඔන්න ජේමිස් අයියා මඟ එනවා. යන්න ලෑස්ති වෙනවා තව තැනකට” කියන්නාක් මෙනි.

මිලට ගත් ඉඩම් කට්ටිවල උරහිස මට්ටමට මාන පඳුරු වැවෙනු දැක එය ඉවසා ගත නොහැකි ඇතැම් ඉඩම් හිමියෙක් ජේම්ස් අයියාට වරෙක මෙසේ කියයි.

“ඔන්න ඔය කෑල්ලේ මොනව හරි හිටෝල දානවකෝ ජේමිස් අයියේ.”

ජේමිස් අයියලා ඕවිටවල එළවළු වගා කරන්නට දස්සයෝය. මේ ගමේ ඕනෑම තැනක වවන එළවළුවක් මුදල් කරගන්නට යන්නේ පැය බාගයකි. ජේම්ස් අයියලාට එළවළු වගාව අලුත් දෙයක් නොවේ. කොටස්වලට කැඩු ඉඩම් කැබැල්ලක් උදලු ගා බීජ තවාන් දමා පැළ සිටුවා ඒවා වැඩෙන හැටි ඔහු බලන්නේ දරුවකු හදන්නාක් මෙනි. වැඩෙන පැළවලට එළදෙනගේ ගොම නොවරදවා පොහොර ලෙස ලැබේ. දළුළන බෝග ජේමිස් අයියා සමඟ දළුලමින් සිනාසෙයි. සිනාසුණු පැළ මල් දරයි. මල්ඵල දැරූ පසු ඒ ඵල අවට ගෙවල්වල උදවියට ලැබේ. බණ්ඩක්කා, වම්බොටු, ඉන්නල ආදිය වෙළෙඳ පොළේ කොතරම් මිල වුවත් අසල්වාසීන්ට ජේමිස් අයියාගෙන් ඒවා ලැබෙන්නේ තෑගි ලෙසයි. ඉඳහිට අසල්වැසියෙක් ඔහුට රැපියල් 100ක් 200ක් දුන්නත් ඔහු එය ප්‍රතික්ෂේප කරයි. “මෙන්න මේකෙන් අඩියක්වත් ගහන්නකෝ.* කියා මුදල් දුනහොත් ඔහු එය ප්‍රතික්ෂේප නොකර අතට ගනී.

දිනක් පන්සලේ හාමුදුරුවෝ ජේමිස් අයියා පාරේ යනු දැක පන්සලේ තාප්පය ළඟට වැඩියහ. හාමුදුරුවෝ ජේමිස් අයියාට කතා කළහ.

“ජේමිස් අයියේ ඔය පව් වැඩ නවත්තලා මේ පෝයට පන්සලට ඇවිත් සිල් ගන්නවකෝ.” හාමුදුරුවෝ කීවේය.

“හාමුදුරුවෝ ගල් බාගෙකුත් ලෑස්ති කරලා තියන්නකෝ මම පෝයදාට සිල් ගන්න එන්නම්.”

මීට අවුරුදු දහයකට පමණ පෙර ජේමිස් අයියගේ වයස කීයදැයි ඇසූ විට ඔහු කීවේ හැත්තෑ හතයි කියාය. පසු ගිය මාසයේ දවසක ඒ ප්‍රශ්නය ඔහුගෙන් ඇසූවිටත් ඔහු කීවේ හැත්තෑ හතයි කියාය.

ජේමිස් අයියාට නොකියන සාදයක් ගමේ නැත. එදාට ඔහු එම සරමත් පාට කමිසයකුත් ජැන්ඩියට ඇඳගෙන සාදයකට ගෙදරට යයි. සාදයේදී අනුපාත කවලම් නොකර ප්‍රධාන පානය අමුවෙන් ජේමිස් අයියා මුවේ හලාගන්නා අයුරු දකින තරුණයන්ගේ ඇස් උඩයයි. බීමත්කම නිසා ජේමිස් අයියා තනිකඩ වුණාද තනිකඩ නිසා ඔහු බීමත්කමට වැටුණාදැයි සොයාගැනීමට නොහැකිය. සති දෙකකට පමණට ඉහතදී කට්ටි කළ ඉඩමක් මැදින් වැටුණු පාරක ජේමිස් අයියා වැටී සිටි බවත් අනතුරුව ඔහුව රෝහල් ගත කළ බවත් ආරංචි විය. 

හන්දියට යන එන ජේමිස් අයියා සතියක් ගතවුණත් දකින්නට නොසිටියේය. ඔහුගේ එළදෙන ආ ගිය අතක් නැතිවිය. බළලුන් බල්ලන් සුපුරුදු වෙලාවට ඔහු එනතෙක් බලා උන්නද ජේමිස් අයියා ආවේ නැත.

“සනීප වෙලා ගෙදර ආවත් ආයේ නම් බොන එකක් නෑ.” බොහෝ අය ජේමිස් අයියා ගැන එසේ කීහ.

සියල්ල බොරු කරමින් උදෑසනම හැරමිටක් අනිමින් ජේමිස් අයියා එක් දිනක යනු පෙනුණේය. “සනීපද?” යි මම ඇසුවෙමි. ඔහු “ඔව්” කියාගෙන ලහිලහියේ ගියේ අසනීපකාරයකු මෙන් නොවේ. පසුදා ඔහු අතේ හැරමිට තිබුණේ නැත. එළදෙනද නැවත හමුවී තිබිණි. නැවත සියල්ල පෙර පරිදිම සිදුවේ. ජේමිස් අයියා පුරුදු පරිදි දිනපතා එළදෙන බැඳ තබා හන්දියට යයි. ගම දවසින් දවස වෙනස් වෙයි. අතීතයේ විසූ ගැමියකුගේ නිදහස් ජීවන රටාවෙන් හෙබි ජේමිස් ගැමියකුගේ නිදහස් ජීවන රටාවෙන් හෙබි ජේමිස් අයියා වෙනස් නොවේ. කෙටිකාලීන හෝ දිගුකාලීන ජීවිත අරමුණු හඹායෑම උදෙසා ඔහු ඉදිරියෙන් නොයයි. ජීවිතය ඔහුව ලුහුබඳින්නේත් නැත. ඔහු ජීවිතය ලුහුබඳින්නේත් නැත. ජේමිස් අයියා නිදහස් මිනිසෙකි.

සමන් පුෂ්ප ලියනගේ

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:48