2020 ජනවාරි 18 වන සෙනසුරාදා

සුමානෙකට සැරයක් අපට ක්‍රෙඩිට් කාඩ් එකක් ගිල්ලවන මාරයා

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 2861

ලෝක සෞඛ්‍ය සංවිධානය සොයා ගෙන තිබෙන්නේ එක් පුද්ගලයකු සතියකට ප්ලාස්ටික් ග්‍රෑම් පහක් ආහාරයට ගන්නා බවයි. එය ක්‍රෙඩිට් කාඩ් පතක බරට සමානය. සතියකට ප්ලාස්ටික් කාඩ්එකක් ගිලින මිනිසුන් සිටින ලෝකයක අනාගතය කෙතරම් භයංකාර ද? පිළිකා, චර්ම රෝග, ශ්වසන රෝග, අක්ෂි රෝග, පෙණහලු ආබාධ, උගුරේ ආබාධ, ජානමය වෙනස් වීම් ආදී රෝගාබාධ රාශියකට සිරුරුගත ප්ලාස්ටික් හේතුවේ. මෙලෙස ප්ලාස්ටික් ක්ෂුද්‍ර අංශු වශයෙන් ශරීරගත වන්නේ අප නොදැනුවත්වමය. එලෙස ශරීරගතවන ප්ලාස්ටික් හඳුන්වන්නේ මයික්‍රොප්ලාස්ටික් හෙවත් ක්ෂුද්‍ර ප්ලාස්ටික් කැටිති යනුවෙනි.

ලන්ඩනයේ තේම්ස් නදියේ ජලය ලීටරයකට මයික්‍රෝප්ලාස්ටික් කැටිති 80ක් හමුවේ. උතුරු වේල්සයේ සෙගින් ගංගාවේද ඒ ප්‍රමාණය හමුවේ. අපේ රටේ කැලණි ගංගාවේ මෝය ආශ්‍රිතව ජලයේ මයික්‍රෝප්ලාස්ටික් පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වී.ජී.එන්. තක්ෂිලා සහ ආර්.ආර්.එම්.කේ.පී රණතුංග කළ අධ්‍යයනයකට අනුව එහි ජලය ඝන මීටරයක හමුවූ අපද්‍රව්‍යවලින් 36%ක් ප්ලාස්ටික් කෙඳිති බව හෙළිවිය. පොලිඑතිලීන්, පොලිප්‍රොපලීන්, පොලිස්ටිරින් සහ පොලිමයිඩ් යන ප්ලාස්ටික් වර්ග එහි අඩංගු බව අන්වීක්ෂීය පරීක්ෂණවලින් හෙළි වී තිබේ. 

වඩාත් භයානක කරැණ වන්නේ මෙලෙස ජලයේ අඩංගු මයික්‍රොප්ලාස්ටික් ඉතා කුඩා මී.මී. 5ක පමණ ප්‍රමාණයේ කැටිති වශයෙන් පවතින නිසා ඒවා ජල පිරිපහදු කිරීමේදී පෙරණ යන්ත්‍රවලට පවා හසු නොවීමයි.

ලංකාවේ සතියකට වෙරළ කලාපයේ ප්ලාස්ටික් කිලෝ ලක්ෂ 32කට වැඩි ප්‍රමාණයක් එකතු වෙනවා. අබලි ප්ලාස්ටික් කැබලි, සිගරට් බඩ්, ග්‍රොසරි බෑග්, පෙට් බොතල්, ෂැසේ පැකට් ඇතුළු වර්ග රාශියක ප්ලාස්ටික් මෙහි අඩංගුයි. මේ ප්ලාස්ටික් දිරා කැබලි වී ජලයට එකතු වෙනවා. ඊට පසු සාගර ජලයේ පවතින එම ප්ලාස්ටික් අංශු මසුන් ආහාරයට ගන්නවා. මාළු අප ආහාරයට ගත්විට අපේ ශරීරයටත් ප්ලාස්ටික් එනවා. මේ නිසා හැකිතරම් ප්ලාස්ටික් භාවිතය සීමා කිරීමටත්, ක්ෂුද්‍ර ප්ලාස්ටික් අඩංගු නිෂ්පාදන භාවිතයෙන් වැළකීමමත් අප උනන්දු විය යුතුයි. ඒ වගේම තමන් භාවිත කරන ප්ලාස්ටික් මුහුදු වෙරළට දැමීමත් ඉතා නරක වැඩක්. ඊට පස්සේ ඒවා මුහුදට එකතු වී සාගර ජලය දූෂණය වෙනවා. එලෙස පැවසුවේ සමුද්‍ර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාරය. ඒ පරිසර අමාත්‍යාංශය මෙහෙය වූ මයික්‍රොප්ලාස්ටික් පිළිබඳ වැඩමුළුවකට එක්වෙමිනි.

අප රටේ කැලණි, කළු, මහ ඔයආදී ජණාශ්‍රිත ප්‍රදේශවලින් ගලා බස්නා ගංගා විශාල දූෂණයකට ලක්ව ඇත. ප්ලාස්ටික් දූෂණය ඒ අතරින් ප්‍රධානය. විගණකාධිපති දෙපාර්තමේන්තුව පසුගියදා කළ අධ්‍යයනකට අනුව කැලණි නදිය අවට කර්මාන්තශාලා 10500ක් පවතී. මේවායින් නිකුත් කරන අපජලය ගංගාව කිළිටි වීමට ප්‍රධාන හේතුවකි. භයානකම කරැණ නම් බස්නාහිර පළාතේ පානීය ජලයෙන් 80%ක් සපයන්නේ කැලණි ගංගාව වීමය. අප නොදැනුවත්ව කොපමණ මයික්‍රොප්ලාස්ටික් අංශු මේ පානීය ජලය සමඟ ශරීර ගතවනවා දැයි දන්නේ දෙවියන් පමණි. ඒ පිළිබඳ පර්ෙය්ෂණ අප රටේ සිදුකර නැති හෙයිනි.

වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සෙව්වන්දි ජයකොඩි වැඩමුළුවට එක්වෙමින් අදහස් දැක්වූයේ මේ අයුරිනි.

ලොකු ප්ලාස්ටික් බෝතලයක්, ප්ලාස්ටික් නිෂ්පාදනයක් කැඩිලා බිඳිලා ගියාම ඒ කුඩා ප්ලාස්ටික් අංශු පරිසරයට එක්වෙනවා. ඒක බූමරංගයක් වගේ ආපසු අපේ ශරීරයට එකතු වෙනවා. ඊට අමතරව සමහර දන්තාලේප වර්ග, රූපාලංකාර මුහුණ ආලේපන, Scrab ක්‍රීම් ආදියට මයික්‍රොප්ලාස්ටික් එකතු කරනවා. ඒ මිශ්‍රණයේ රළු බව ඇතිවීමට. අපි දත් මැදලා කෙළ ගැසූවිට ඒ සමඟ ප්ලාස්ටික් කැටිති පරිසරයට, ජල මාර්ගවලට එක්වෙනවා. වොෂිංමැෂින්වල වොෂිං පව්ඩර් වර්ගවලිනුත් මේකම වෙනවා. දැනට අපි භාවිත කරන ජල පිරිපහදු සාන්ද්‍රවලට මේ ප්ලාස්ටික් අංශු රඳවා ගැනීමට බෑ. මේවා ඉතාමත් ක්ෂුද්‍ර අංශු නිසා. බොහෝ රූපලාවන්‍ය ක්‍රීම්වල අඩංගු දේවල් අපි දන්නෙ නෑ. ඒවායේ අඩංගු ද්‍රව්‍ය වශයෙන් PE, PMMA, PET, PP වගේ නම්වලින් තිබෙන්නේ ප්ලාස්ටික්. දරුවාට අන්දන පැම්පස් එකේ සිට දත්බේත් ටියුබය දක්වා ප්ලාස්ටික් තිබෙනවා. මයික්‍රොප්ලාස්ටික්වල තවත් නරකක් තමයි ඒවා අවට පරිසරයේ තිබෙන දේ උරාගැනීම. විශේෂයෙන් බැක්ටීරියා වගේ විස වර්ග ඒවාට බැඳෙනවා. එවිට භයානකකම දෙගුණ වෙනවා.

ලෝකයේ දියුණු රටවල් ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත් වෙමින් පවතී. ඒ අතර ලංකාව වාර්ෂිකව වැඩිම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් සාගරයට මුදාහරින රටවල් අතර පස්වැනි ස්ථානයේ වැජඹේ. මම ප්ලාස්ටික් මුහුදු ජීවීන්ද විනාශයට පත්කරන අතර පසුව අපගේ ශරීරය ද ආක්‍රමණය කරන බූමරංගයක් බවට පත්වේ. මයික්‍රොප්ලාස්ටික් පිළිබඳව අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ආචාර්ය චාමර ජයසුන්දර මෙසේ පැවසුවේය.

1952 දී පොලිතින් නිෂ්පාදනය වෙනුවෙන් රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය හිමි වුණා. ඒ ලෝකය වෙනස් කළ සංයෝගයක් නිසා. අද ප්ලාස්ටික් හා පොලිතීන් නැතුවම බැරිවෙලා. ප්ලාස්ටික්වලම අතුරු නිපැයුමක් වන මයික්‍රොප්ලාස්ටික් වර්ග දෙකකට බෙදිය හැකියි. ප්‍රාථමික (ප්ලාස්ටික් අංශු වශයෙන් නිපදවයි) හා ද්විතියික (සාමාන්‍ය ප්ලාස්ටික්වලින් දිරා අංශු බවට පත්වන) වශයෙන්. ලෝකයේ ප්ලාස්ටික් වතුර බෝතල්වලින් 91%ක මයික්‍රොප්ලාස්ටික් අංශු තිබෙන බව පර්ෙය්ෂණවලින් ඔප්පු වී තිබෙනවා. ලංකාවේ ඒ ගැන නිශ්චිතව පැවසීමට තරම් පර්යේෂණ දත්ත නෑ. අපිට උනන්දුවක් තිබෙනවා නම් මයික්‍රොප්ලාස්ටික් හා ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත්වීම මහ දෙයක් නොවේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම ආපනශාලාවල ලන්ච් ෂීට් භාවිතය නැවැත්තුවා. ඒකට මැදිහත් වුණේ සරසවි සිසුන්මයි. මේ නිසා විශ්වවිද්‍යාලයේ පොලිතින් අපද්‍රව්‍ය ප්‍රමාණය විශාල වශයෙන් අඩු වුණා. මයික්‍රොප්ලාස්ටික් භාවිතයත් නැවැත්වීමට ඔබට පුළුවන්. ඒක මහදෙයක් නොවේ.

පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන සඳහන් කළේ ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන අනුව මයික්‍රොප්ලාස්ටික් (ක්ෂුද්‍ර ප්ලාස්ටික් කැටති) නිෂ්පාදන තහනම් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන තිබෙන බවයි. කළ යුත්තේ ඇමැතිවරයගේ නියෝගය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගෙන එය ගැසට් පත්‍රයේ පළ කිරීමයි. ඊට පසු එය නීත්‍යානුකූල වෙනවා. පාරිභෝගික ආරක්ෂක පනතේ විධිවිධානත් එයට අනුකූලයි. මේක වසංගතයක් බවට පත්වෙලා. කාලානුරෑපව තහනම් කිරීම, ඒ කියන්නේ නිෂ්පාදකයන්ට යම් සහන කාලයක් ලබාදීලා ඊට පසු තහනම් කිරීම සුදුසුයි. මේක ඉන්දියාවෙන් ක්‍රියාත්මකයි.

දැන් අපේ රටේ පරිසර බලධාරීන්ට ද කාලය එළඹ ඇත. මිනිසා නොදැනුවත්වම මරණයට පත්කරවන මයික්‍රොප්ලාස්ටික් මාරයාගෙන් මිදීමට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

 කුසුම්සිරි විජයවර්ධන

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30