2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

අතුරුදන් වූ කොළඹ - ඕපනායන පුංචි කෝච්චි පාර

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 23

අතුරුදන් වූ දුම්රිය මගක කතාව හෙළි කිරීමට අතීතකාමී සිත් අැති අපට අදහස් පහළ වූයේ පසුගියදා රුවන්පුර බලා ගිය ගමනකදීය. අතුරුදන් වූ කැලණිවැලි සබරගමු සැහැල්ලු දුම්රිය මාර්ගයේ නටඹුන් රුවන්පුරයේ බොහෝ තැන්හීදී අපි දුටුවෙමු. පෞද්ගලික කටයුත්තක් වෙනුවෙන් මේ ගමන ගිය හෙයින් එම ස්ථානවල සේයාරූ ගැනීමට තබා තරමක් පුළුල්ව සොයා බැලීමටත් අපට නොහැකි විය. එහෙත් රත්නපුර වටාපත ස්ටේෂන් එක දුටු වහාම අප කතාමල්ලට අලුත් කතාවක් එකතුවිය යුතු බව අපට හැඟිණි. වටාපත මිතුරා පැවසූ පරිද්දෙදෙන් ඔහුගේ පියාගේ පරපුරේ පිරිස් ඉතා ලාබාල වියේදී මෙම ස්ටේෂමට කෝච්චි ඇවිත් තිබේ. මේ සියලු කතා අසා කඩිමුඩියේ කොළඹ පැමිණි පසුව අපි මෙතෙක් කල් කණින් කොණින් අසා තිබූ රත්නපුර දුම්රිය මාර්ගයේ තතු විත්ති සොයායන්නට වීමු. අද අප කතාවට පාදක වනුයේ ඒ අපූරු තොරතුරුයි.

රුවන්පුරවාසීන්ට අනුව එදා එහි පැමිණි ඇත්තේ පුංචි කෝච්චියයි. අපි මේ පිළිබඳ පළමුව සොයා බැලුවෙමු. අද අවිස්සාවේල්ලෙන් නතර වන කැලණිවැලි දුම්රිය මග එදා රුවන්පුර ගම්බිම් කරා ගමන් කර තිබේ. මේ දුම්රිය මාර්ගයේ එදා ගමන්කර ඇත්තේ කූඩා දුම්රිය විශේෂයකි. එසේම මෙහි මාර්ගය සාමාන්‍ය දුම්රිය මාර්ගයට වඩා පටු ලෙස සකසා තිබී ඇත. රත්නපුරයේදී දුටු නටඹුන් වූ මාර්ග සලකුණු අපට මේ බව තහවුරු කළේය. කෙසේ නමුත් මෙම කුඩා දුම්රිය මාර්ගයේ අතීත කතාව ඉතා අපූරු එකකි.

ප්‍රථමයෙන්ම දකුණු අප‍්‍රිකාවේ මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමට  බ්‍රිතාන්‍ය ආණ්ඩුව සූදානම් වී තිබේ. ඒ සඳහා සියලු කටයුතු නිමවා අවසන් අදියරට පැමිණි පසුව එකල දකුණු අප්‍රිකාවේ ආණ්ඩුකාරවරයා මෙම කුඩා දුම්රියට කැමති වී නැත. ඔහු දැඩිව බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමඟ පැටලී මේ අමුතු දුම්රිය වෙනුවට ලොකු දුම්රියක් ඉල්ලා තිබේ.

එහෙත් එම දුම්රිය මෙන්ම උපාංග බොහොමයක් ඒ වනවිටත් බ්‍රිතාන්‍යයන් විසින් නිපදවා අවසන් කර තිබිණි. ඒ අනුව මෙම පටු දුම්රිය මාර්ගය පීලි දෙක අතර පරතරය අඟල් 30 වී ඇත. ලෝකයේ ඉතා විරල මෙම මාදිලිය එදා දකුණු අප්‍රිකාවේ අත්හදා බැලීම බ්‍රිතාන්‍යයන්ගේ අරමුණ විය. එහෙත් එම උත්සාහය වැරදී යාමෙන් යටත් විජිත ආණ්ඩුව විශාල අමාරුවේ වැටුණේය.

අපට දැනගන්නට ලැබුණු පරිදි යටත් විජිත ලේකම්වරයා එවකට ලංකාවේ ආණ්ඩුකාර සර් වෙස්ට් රිජ්වේ අමතා මේ දුම්රිය මාර්ගය ලංකාවට ලබාදීමට කටයුතු කර තිබේ. එහෙත් අප්‍රිකානු මාර්ගය ලංකාවට ගෙනා කතාව පිළිගැනීමට මැලිවන දුම්රිය ලෝලීන්ද සිටින බව මෙහිදී කිවයුතුය. එසේ නමුත් මේ අමුතු දුම්රිය මග ලංකාවේ ඉදිකිරීම ඇරඹුණේ 1900 මාර්තුවේ බව කියැවේ. මුල් අදියර අවිස්සාවේල්ල දක්වාත් දෙවැනි අදියර යටියන්තොට දක්වාත් දික්වී තිබේ. කෙසේ නමුත් ආණ්ඩුකාර සර් හෙන්රි මැක්ලම් 1912 දී මෙම මාර්ගය රැවන්පුරය දක්වා සදා නිමකර තිබේ. පසුව 1919 දී ඕපනායක දක්වා මෙම දුම්රිය මාර්ග දිර්ඝ කර ඇත. කෙසේ නමුත් මෙම මාර්ගය රුවන්පුරයෙන් රුහුණු රට දක්වාම දීර්ඝ කිරීමට එකල සැලසුම් තිබී ඇත. ඒ සඳහා “කැලණිවැලි රේල්වේ කොමිටි” නම්වූ කමිටුවක් ආණ්ඩුකාරවරයා පත්කර ඇත.

මෙම මාර්ගයේ උත්පපති කතාව එසේ වනවිට මෙය ධාවන වූ කාලයේ අතීත කතාවන්ද සොයායාමට අපි උත්සුක වීමු. ඒ අනුව ඒ කාලයේ පැවති තේ සහ රබර් වගාවන්ගේ අස්වැන්න ප්‍රවාහනය කිරීම මෙහි මූලික අරමුණ වූ බව කියැවේ. එහෙත් මගී ප්‍රවාහනයට මෙම දුම්රිය එතරම් යෝග්‍ය වී නැත. නමුත් අතීතයේ සිරිපා කරැණාකරන්නන්ගේ ඉතා ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් බවට පුංචි කෝච්චිය පත් වූ බව අපට අසන්නට ලැබුණි. දිගින් සැතපුම් 87 පමණ වූ ඕපනායකට දිවෙන මේ මාර්ගය ඉතා සුන්දර පරිසරයක් හරහා වැටී තිබිණි. දුටුවන් මනබඳින මේ පරිසරය හරහා ගිය ගමනට එදා දෙස් විදෙස් මගී ආකර්ෂණය ලැබී ඇත. එසේම වංගු පාලම් ගහන මේ මාර්ගයේ ගමනට බොහෝ කාලය මිඩංගු වී ඇති බව ද ඇතැම් අය පවසති. අප වටාපත ගිය ගමනේදී නිරීක්ෂණය වූ පරිදි විශ්මිත ඉදිකිරීම් රුසක් මේ මාර්ගය අවට ක්ෂව වී පැවතුණි. සිරිපා අඩවියට යනවිට කුරුගඟ හරහා ඉදිකළ අඩි 150ක් දිග දුම්රිය පාලමේ සුන්දරත්වය සහ විශ්මිත බව කියවෙන කතාවක් බව අපට අසන්නට ලැබුණි.

අවිස්සාවේල්ල සිට ඕපනායක දක්වා වූ නැවතුම් පිළිබඳවද අපි සොයා බැලුවෙමු. මෙම මාර්ගයේ අතීතය පිළිබඳ විමර්ශන කළ අයගේ වාර්තා අනුව ප්‍රධාන නැවතුම්පළ වලට අමතරව තවත් නැවතුම්ද තිබී ඇත. එහෙත් ප්‍රධාන වශයෙන් අවිස්සාවේල්ල, ගැටහැත්ත, ඇහැලියගොඩ, පරකඩුව, කුරැවිට, රත්නපුර, තිරිවානාකැටිය, දෑල, වටාපත, කහවත්ත, ඕපනායක යන ප්‍රදේශවල දුම්රිය ස්ථාන පිහිටා තිබේ. ඒ බොහොමයක ක්ෂේශයන් තවමත් ඉතිරිව ඇත. මෙම මාර්ගයට රුවන්පුරයේ මිනිසුන් තවත් ආදරය කරන බව මේ සටහනේදී අප ලියා තැබිය යුතුමය. නැවත දිනක රත්නපුරය හරහා දුම්රිය මගක් ඉදිවෙතැයි ඔවුහු හීන දකිමින් සිටිති. වටාපතදී කතාබහ කළ හිතමිතුරන් කිහිපදෙනෙකුගේම කතාවන් තුළින් අපට එය හැඟිණි.

පුංචි කෝච්චියේ ගමන අවසන් වූ කාලය සම්බන්ධව අවසානයේ අපි සොයා බැලුවෙමු. දෙවැනි ලෝක යුද්ධ සමයේ ඇති වුණ ගල් අඟුරු සහ අනිකුත් සම්පත් හිඟය මෙම මාර්ගයේ බිඳවැටීමේ අරම්භය වී තිබේ. එසේම මෙම ප්‍රදේශය හරහා බස් පාරවල් නිර්මාණය වීමත් ඒවා හරහා ගමන් කාලය සහ මුදල් ඉතිරි වීමත් මීට තවත් හේතුවක් වී ඇත. ඒ අනුව 1941 වනවිට අවිස්සාවේල්ල - යටියන්තොට කොටස වැසීගිය බව කියැවේ. අවිස්සාවේල්ල - ඕපනායක අවසන් මගී දුම්රිය 1976 සිදුවී ඇති බවටද අපට දැනගන්නට ලැබුණි. එයින් පසුව මෙම මාර්ගය සදහටම ගලවා ඉවත් කිරීමේ තීරණය ගෙන ඇත. එහෙත් දේශපාලන හේතු මේ පිටුපස වූ බවද විටෙක කියැවේ. කෙසේ නමුත් කාලයාගේ ඇවෑමෙන් මෙම මාර්ගය කාලය ශ්‍රමය මෙන්ම මුදල් නාස්තියක්ද වී තිබේ.

මෙම පුංචි කෝච්චිය ඉවත් කිරීමට පෙර මාර්ගය සාමාන්‍ය මාර්ගයක් ලෙස සැකසීමේ සැලසුමක්ද වූ බව කියැවේ. එහෙත් එය එදා ඉටුවී නැත. මෙම දුම්රිය මාර්ගයට මිනිසුන් කොතරම් අපූරු බැඳීමක් තිබුණේදැයි කියැවෙන කතාවක් අවසානයේ අපට අසන්නට ලැබුණි. ඕපනායක දුම්රිය මාර්ගය ඉවත්කරන විට ඊට විරුද්ධ වූ පිරිස මණ්ඩපයක් සකසා පිරිත් කියූ බව එම කතාවයි. එහි සත්‍යතාව තහවුරු වී නැතත් ඒ කතාවට අනුව බලධාරීන් පිරිස් අවසන් වනතුරු හිඳ පාර ගලවාගෙන ගොස් තිබේ.


අවිස්සාවේල්ල - මරදාන අතර පටු මාර්ග දුම්රිය මෑතක් වනතුරු තිබී ඇත.  1991 -1997 කාලයේ සිදුවූ වෙනස්කම් සමඟ 1998න් පසුව කැලණිවැලි මාර්ගයේ මෙම කොටස පුළුල් බවට පත් කෙරිණි. ඒ සඳහා එවකට ප්‍රවාහන ඇමැතිව සිටි ෆවුසි මහතා පුරෝගාමී වූ බවද අපට දැනගන්නට ලැබිණි. කෙසේ නමුත් ඉතිහාසගත තොරතුරු අනුව මෙවන් තවත් කුඩා මාර්ගයක් නානුඔය සිට නුවරඑළිය හරහා රාගලට තිබී ඇත. කෙසේ වෙතත් අප ඒ පිළිබඳ විමසීමක් සිදුකළේ නැත. රුවන්පුර මාර්ගයේ අතීත කතාවේ ගමන් දුර නම් තවත් බොහෝ වේ. යම් දිනක අවස්ථාවක් ලදහොත් ඒ ගම්බිම් කරා යමින් අතීත මතක ඔබට ලියනු රිසියෙන් අපි අදට සමුගමු.

I  චමිඳු නිසල්
සේයාරූ - අන්තර්ජාලයෙන්
මුලාශ්‍ර - පැරැණි පත පොත පුවත්පත් වාර්තා

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:29
 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 06:07