2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

දවසින් දවස විනාශයට යන කුරුණෑගල රාජධානියේ ඔරුව

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 75

අප කුරුණෑගල ඇතුගල පාමුල පිහිටි වයඹ පළාත් සභා කාර්යාල ගොඩනැගිලි සංකීර්ණ පරිශ්‍රයට ගියේ පුරාණ ඇතුගල්පුර රාජධානියේ නටබුන් දැකගැනීම සඳහාය. ඇතුගල්පුර නටබුන් විශාල ප්‍රමාණයක් දැන් විනාශ වී අවසන්ය. ඉතිරි නෂ්ටාවශේෂ ස්වල්පය පැරණි කච්චේරිය අවට දැකගත හැකිය. එම ශෛලමය නටබුන් අතරට අලුතින් එක්වූ වටිනා පුරාවස්තුවක් ද මෑතකදී එක් කෙරිණි. ඒ 2003 දී කුරුණෑගල වැව හෑරීමේදී මතුවූ පුරාණ ඔරැ කඳයි. එය වයඹ සංවර්ධන අධිකාරියේ සංචාරක හා පුරාවිද්‍යා අංශය විසින් ප්‍රදර්ශනයට තබා ඇති බව නාමපුවරැවෙන් පෙනේ.

වර්ෂ 10කට පෙර යන විට එම ඔරැව සිමෙන්තිවලින් ටැංකියක් බැඳ එය පිටතින් දර්ශනය වන පරිදි වීදුරු ද සවිකර එයට බස්සවා තිබුණි. එම ස්ථානයට තහඩුවලින් කළ පියස්සක් ද ඉදිකර තිබුණි. එහෙත් පසුගියදා අපට දැකගැනීමට ලැබුණේ වසර කිහිපයක සිට එම ස්ථානය ජරාවාස වී ඔරැව ද බොහෝ දුරට විනාශ වී ඇති බවය. පියස්ස කැඩී යකඩ පටි පමණක් ඉතිරිව තිබේ. ටැංකියේ වීදුරු බිඳී වතුර බැස ගොසිනි. ඔරැව සීඝ්‍රයෙන් දිරා යමින් පවතී. ඒ මත විවිධ ශාක, පෙඳ පාසි වැවී ඇත. ටැංකිය අඩියේ වතුර පල් වී මදුරැ ආකරයක් වී තිබේ. අප සිත්හි පැන නැගුණේ දැඩි කනගාටුවකි. වයඹ පුරාවිද්‍යා කාර්යාලය ද පිහිටා ඇත්තේ ඔරැව තැන්පත් කළ ස්ථානය පෙනෙන මානයේ පැරණි කච්චේරි ගොඩනැගිල්ලකය.

මෙම වටිනා පුරාවස්තුව මතුවූයේ වැව ප්‍රතිසංස්කරණය කරන අතර 2003 ජූලි 20දාය. දීර්ඝ කාලයක් මඩ යට පැවති නිසා එය දිරාපත් නොවී බොහෝ දුරට ආරක්ෂා වී පැවතුණි. එය දිගින් අඩි 32ක්ද පළල අඩි 5ක්ද වේ. කුඹුක් ලීයෙන් කළ එම ඔරැව අවුරැදු 800-900 ක් පැරණි බවට විශ්වාස කෙරේ. එහෙත් ඒ සඳහා විද්‍යාත්මක කාල නිර්ණයක් කර නැති බව අපට දැනගැනීමට ලැබුණි. මෙහි විශාලත්වය අනුව භාණ්ඩ ප්‍රවාහනයට මෙන්ම මගී ගමනාගමනයට ද යොදා ගන්නට ඇති බව සැලකිය හැකිය. වැව්වල මෙන්ම අභ්‍යන්තර ජල මාර්ගවල ද පුරාණ රාජධානි සමයන්හිදී ජල යාත්‍රා භාවිත කළ බවට සාධක හමුවේ.

මෙරට ජල යාත්‍රා පිළිබඳ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව යුගය දක්වා ඇදී යයි. පසුකාලීනව නැව් තාක්ෂණය ද අපට හිමිවුණද, ඒ පිළිබඳ සාධක හමු නොවේ. දැනට හමුවූ පැරණිම ඔරැව කැලණිය ප්‍රදේශයෙන් හමුවූ ඔරැව වන අතර එය කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. අත්තනගලු ඔයෙන් ද විශාල පුරාණ ඔරුවක් හමුවිය. පාලින්ද නුවර ප්‍රදේශයෙන් හමුවූ වීදියබණ්ඩාර සමයට (කෝට්ටේ රාජධානි සමය) අයත් යැයි විශ්වාස කෙරෙන ඔරුවක් කුකුලේගඟ චායා හෝටලයේ සුරක්ෂිතව තැන්පත් කර තිබේ. කුරැණෑගල රාජධානි සමය නියෝජනය කරන එකම ජල යාත්‍රා සාධකය මෙම ඔරැව නිසා එය වැදගත් පුරාවස්තුවකි. එහෙත් ඒ ගැන බලධාරීන්ට වගේවගක් නැති බව ඔරැවට අත්ව තිබෙන කනගාටුදායක ස්වරෑපයෙන් අපට පෙනේ. එය වැව් පතුලේම තිබුණා නම් මෙයට වඩා සුරුකී අදටත් පවතිනු ඇත.

අපි වයඹ පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ගුණතිලක බණ්ඩාට කතා කළේ මේ ගැන ඔහුගේ අදහස දැනගැනීමටයි. &ඔරැව වතුර තටාකයක දාලා සංරක්ෂණය කරල තිබුණේ. නමුත් එහි වීදුරැ බිඳිලා ජලය ඉවත්වෙලා. අපි යෝජනා කරලා තිබෙනවා මේ ඔරැව වැවේ එය හමුවූ ස්ථානයේම ප්‍රදර්ශනය කිරීමට හෝ නැත්නම් කෞතුකාගාරයකට බාරදෙන්න කියලා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එහි සංරක්ෂණයට මැදිහත්වීමට කැමැත්තෙන් සිටින්නේ. ඒ ගැන ප්‍රධාන සැලසුමටත් ඇතුළත් කරලා තිබෙන්නේ.
සැලසුම් සකස් කරමින් සිටින අතර මෙම පුරාවස්තුව සීඝ්‍රයෙන් විනාශ වන බව නම් කාටත් පැහැදිලිව පෙනෙන කරැණකි. වයඹ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර ඒ පිළිබඳව දක්වන්නේ මෙවැනි අදහසකි.

විශාල ටැංකියක තමයි ඔරුව තැන්පත් කරලා තිබෙන්නේ. නමුත් ජලයේ බර නිසා ටැංකියේ වීදුරැ පිපිරුණා. පසුව කිහිප වරක් අලුත්වැඩියා කළත් වීදුරු පිපිරී ගියා. මඩ යට තිබුණු ඔරුවක්නේ. අපි වතුර දැම්මත් මේක දිරනවා. මම නම් පෞද්ගලික අදහසක් විදිහට යෝජනා කළා මේ පුරාවස්තුව නැවතත් වැවේ හමුවූ ස්ථානයේම මඩ යට තැන්පත් කළ ඒ ගැන දැනුවත් කරන නාමපුවරුවක් සවි කරමු කියලා.

කච්චේරි භූමිය අසල තිබුණු මාලිගාවේ නටබුන් ටිකත් එක තැනක පිළිවෙලකට ප්‍රදර්ශනය කිරීමට මම මුල්වුණා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගෙන.

කුරුණෑගල නොහොත් ඇතුගල්පුර රාජධානිය පිහිටුවන ලද්දේ ක්‍රි.ව. 1293 දී රාජ්‍යත්වයට පත්වූ 2 වැනි බුවනෙකබාහු රජුය. ඔහුගෙන් පසු රාජ්‍යත්වයට පත් 4 වැනි පරාක්‍රමබාහු රජු සාහිත්‍යකාමී ආගමික කටයුතුවලට ලොකු නැඹුරුවක් දැක්වූ පාලකයෙක් විය. ඔහු විසින් දළදා මැඳුරක් ද මාලිගය අසලම තැනවීය. වයඹ ආණ්ඩුකාර කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ආදී ගොඩනැගිලි පැරණි මාලිගා භූමියේ පිහිටා තිබේ. පරාක්‍රමබාහු රජුගෙන් පසුව රජ වූයේ වන්නි බුවනෙකබාහු රජුය. ඒ අනුව 1293-1341 දක්වා වර්ෂ 48 ක් රටේ අගනුවර ලෙස පැවතුණේ කුරැණෑගලය. කුරැණෑගල වැව වන්නි බුවනෙකබාහු විසින් කරවූ බව ජනප්‍රවාදවල සඳහන්ය. ඒ අවධියේ කුරැණෑගල වැව ද දැන් මෙන් දෙගුණයකටත් වඩා විශාලව පැවති බව ජනප්‍රවාදවල පැවසේ.

ඔය ඔරුව හමුවූ වැව අද කුඩා වුවත් එදා වැවේ වාන තිබිලා තියෙන්නේ ගැට්ටුවාන කියන තැනයි. නගරයේ සිට කිලෝමීටර් 1 ක් දුරින්. වෙලගෙදර ක්‍රීඩාංගණය, මාලිගාපිටිය වගේ ස්ථානත් ඒ කාලෙ වැවට අයිතිවෙලා තිබුණේ.

ඔරැව හමුවන විට මම වයඹ ප්‍රදේශ සංවර්ධන අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළා. ඒකට නිසි පුරාවිද්‍යාත්මක ඇගැයීමක් ලැබුණෙ නෑ. පළාත් සභාව විසින් දළදා මාලිගා පරිශ්‍රය අසලට රුගෙනවිත් ප්‍රදර්ශනයට කටයුතු කළා. දැන් මේ ගැන කාගෙවත් අවධානයක් නෑ. පුරාවිද්‍යා බලධාරීන් මේ ගැන උනන්දු විය යුතුයි. එලෙස තම අදහස් පළ කළේ ප්‍රදේශවාසියකු මෙන්ම ඉතිහාස ගවේෂකයකු ද වන විශ්‍රාමලත් පරිපාලන නිලධාරී උදේනි සරච්චන්ද්‍රය. ඔහු යෝජනා කරන්නේ මෙම පුරාවස්තුව සංරක්ෂණය කර කෞතුකාගාරයක ප්‍රදර්ශනය කළ යුතු බවයි.

අප සිතන්නේ ඔරැව පිළිබඳ විද්‍යාත්මක කාල නිර්ණයක් කර දැනට තිබෙන ස්ථානයෙන් වහාම ඉවත් කර එහි සංරක්ෂණ ක්‍රියාමාර්ග කඩිනම් කළ යුතු බවයි. අව්වට වැස්සට නිරාවරණය වන එය දැනටමත් බොහෝදුරට දිරාගොස් අවසන්ය. නැත්නම් රාජධානි හතරක් පැවති වයඹින් හමුවූ එකම පුරාණ ඔරුව ද වැනසී යනු ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ.

සටහන සේයාරූ: කුසුම්සිරි විජයවර්ධන

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:48