2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

දුප්පත්කම විකුණන පොරොන්දු වේදිකාව

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 8

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා ජනතාවට ලබාදෙන බව කියන සහනාධාර පිළිබඳ තරගයක් මේ වනවිට දේශපාලන වේදිකාවලින් ඇසෙන්නට ලැබේ. මොවුන් එකිනෙකා පරයා ජනතාවට දෙන සහන පිළිබඳ විවිධ ප්‍රකාශ නිකුත් කරනු දැකගත හැකිය. එහෙත් මෙම සහන දෙන්නේ කෙසේද යන්න පිළිබඳ ඒ කිසිවකුට සැලසුමක් ඇති බවක් පෙනෙන්නට නැත. ඒවා කටට ආ පලියට කියනවාදැයි සැකයක් මතුවන තරමට මෙම තරගය ඉස්මතුව ඇත. එකිනෙකා අභිබවා යාමට මේ විදියට පොරොන්දු දෙන බවයි දක්නට ඇත්තේ.

එක් අපේක්ෂකයකු පොහොර සහනාධාරයක් දෙන බව ප්‍රකාශ කරනවිට අනෙක් තැනැත්තා පොහොර නොමිලේ දෙන බව පවසයි. තවත් කෙනකු කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා නොමිලේ දෙන බව කියයි. විටෙක සමෘද්ධි සහනාධාරය සමග ජනසවියද ලබාදෙන බව ප්‍රකාශ කෙරේ. සමෘද්ධිලාභීන් සංඛ්‍යාව දෙගුණ කරන බවද ඒ සමග කියයි. එසේම එක් අපේක්ෂකයකු පාසල් සිසුන්ට නිල ඇඳුම් කට්ටල දෙකක් නොමිලේ දෙන බව පවසන විට අනෙකා අවධාරණය කරන්නේ තමා නිල ඇඳුම් සමග පාවහන් යුවලක්ද සපයන බවය. පාසල් සිසුන්ට දිවා ආහාර නොමිලේ දෙන බව කියන අයද සිටී.

සෞඛ්‍ය පහසුකම් වැඩිකරන අතර විවිධ බෙහෙත් වර්ග රෝහල්වලින් නොමිලේ දෙන බවද කියයි. එසේම විවිධ අංශවලට යළිත් වැටුප් වැඩිකරන අතර බටා, ගමන් ගාස්තු ආදී විවිධ දීමනා වැඩිකරන බවද ප්‍රකාශ කරන අයුරු අසන්නට දකින්නට ලැබේ.

මෙවැනි ප්‍රකාශ කිරීමෙන් දෙපාර්ශ්වයම බලාපොරොත්තු වන්නේ තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීමය. මෙම තත්ත්වය පිළිබඳ ඇතැම් අය අර්ථකථනය කරනුයේ දුප්පත්කම විකුණාගෙන කෑම යනුවෙනි. අපේක්ෂකයන් මෙහිදී ජනතාවගේ දිළිඳු භාවයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට සැරසෙන බවක් දක්නට ඇත. දුප්පතා තමාට මෙම සහන ලැබේ යැයි අපේක්ෂාවෙන් ඒ බව කියන අපේක්ෂකයන්ට ඡන්ද දීමට පෙළඹෙනවා ඇත.

මෙය අද ඊයේ ඇතිවූවක් නොවේ. අපේ රටේ එදා සිට අද දක්වාම දේශපාලනඥයන් ජනතාවගේ දිළිඳුභාවය ප්‍රයෝජනයට ගෙන වාසි ලබාගන්නා බව කිව යුතුය. ඈත අතීතයේ හාල් සේරැ දෙක නොමිලයේ දීම, එක සේරුවක් නොමිලයේ දී අනෙක ශත 25කට දීම, පාන් රාත්තලේ මිල අඩු කිරීම ආදී අපේ ප්‍රධාන ආහාර ද්‍රව්‍යවලට සහන සැලසීමට අතීතයේ දේශපාලනඥයන් අත දිගහැර ක්‍රියාකළ බව අපට මතකය. අද 19 වැනි ශතවර්ෂයේ අගභාගයට පැමිණියද සහන දේශපාලනය තවමත් වැඩිවෙනවා මිස අඩුවීමක් දක්නට නැත. දේශපාලනඥයන් දෙන මෙම සහන පොරොන්දු ඡන්ද දායකයා එදා මෙන්ම අදද එක ලෙස විශ්වාස කරන බව දැකගත හැකිය. ඔවුන් පෙළඹී සිටින්නේ සහන පිළිබඳ විශ්වාස කිරීම විනා මේ කියන දේවල් කෙසේ දෙන්නද, දෙන්නට පුළුවන්ද, ආදී කරුණු සොයාබැලීම නොවේ. කෙසේ හෝ ලැබේ යැයි ඔවුන් විශ්වාස කරන බවක් දක්නට ඇත. ඡන්ද දායකයා තමන් දෙන දිරූ ලණු ගිලින බව දන්නා කපටි දේශපාලනඥයෝ ඡන්ද දායකයා මුලාකොට ඡන්ද ගොඩ වැඩිකර ගනිති.

මෙලෙස සහන පැකේජවලට යාම නිසා රටේ ආර්ථිකයට සිදුවන වින්නැහිය ගැන බොහෝ දෙනකුට දැනුමක් නැත. දස අතේ ණය වී හෝ තමාට සහන දෙනවා නම් අත්පොලසන් දීමට ඡන්ද දායකයෝ යුහුසුළු වෙති. එයින් රටට වන ආර්ථික හානිය පිළිබඳ ඔවුන්ට වගේ වගක් නැතුවා සේය. දේශපාලනඥයන්ටද රටට හෙන වැදුණත් තම පටු අභිමතාර්ථ ඉටුකර ගත හැකිනම් ඒ ගැන තැකීමක් නොමැත.

මෙම අයහපත් තත්ත්වය පිළිබඳ කරුණු දක්වන රුහුණ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඩැනී අතපත්තු මෙසේ පවසයි.

“ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම ජනතාවට සහනාධාර දෙන බව පුන පුනා කියනවා. එක් අයකු දෙන සහනවලට වඩා වැඩි සහන අනෙකා දෙන බව කියනවා. නොමිලේ වියලි සලාක දීම, ණය කපාහැරීම, බදු කපාහැරීම හා අවම කිරීම, අධ්‍යාපනයට සහන දීම, වැටුප් හා දීමනා ඉහළ දැමීම ආදී මෙකී නොකී විවිධ සහන ලබාදෙන බවට පොරොන්දු දෙනවා. ඒ අය කතා කරන්නේ මේවා ඉතාම සරල දේවල් හැටියටයි. මේ සහන දෙන්නේ කොහොමද කියන එක ගැන කිසිදු සැලසුමක් නැහැ. කොච්චර වැඩිවෙනවාද? ඒ මුදල් සොයාගන්නේ කොහොමද කියන එක ගැන වචනයක් කියන්නේ නැහැ. මෙයින් බලාපොරොත්තු වන්නේ ජනතාවගේත් අත්පොළොසන් ලබාගෙන මැතිවරණයේදී තමන්ට කතිරය ගස්සවා ගැනීමයි. කොහොම හරි බලය ලබාගන්නයි ඒ අය උත්සාහ කරන්නේ.

අද රටේ තත්ත්වය ඉතාම කනගාටුදායකයි. ප්‍රායෝගිකව රට දැඩි ආර්ථික අර්බුදයකයි පවතින්නේ. ණයබර අති විශාලයි. තවත් ණයගන්න බැරිතරමට පත්වෙලා. ගත් ණය ගෙවීම රටට විශාල බරක් වෙලා. අයවැය හිඟය මේ වනවිට සියයට 6.5 දක්වා ඉහළ ගිහින්. පසුගිය වසරේ තිබුණේ 5.4යි. ඉස්සරහට තවත් වැඩිවේවි. ඒ සමගම බදු ආදායම විශාල ලෙස අඩු වී තිබෙනවා. බදු අලුතින් පනවනවා තබා තිබෙන බදු එකතු කර ගැනීමද ඉතාම අකාර්යක්ෂමයි. ඒවාට කිසිදු විසඳුමක් නැහැ. එහෙම තිබියදී බදු අඩුකරන බවට දෙන පොරොන්දු පිළිගත හැකිද?
මේ වෙන පොරොන්දු ඉටුකරනවා නම් තවත් රටේ ආර්ථිකය අයහපත් වේවි. රටට මේ ගැටලුවලට මුහුණ දෙන්නට ප්‍රායෝගිකව ශක්තියත් නැහැ. ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඉදිරිපත් විය යුත්තේ රටේ ඇති දැවැන්ත අභියෝග ජයගන්නේ කොහොමද කියන එකයි. එහෙම නැතුව තව තවත් ඉටුකළ නොහැකි පොරොන්දු දීලා ගැටලුව උග්‍ර කිරීම නොවෙයි.

ආර්ථිකය ගැන මෙන්ම රටේ ජාතික ආරක්ෂාව ගැනද බැලිය යුතුයි. ජාතික ආරක්ෂාව යනු ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගැනීම පමණක් නොවේ. එයට වඩා පුළුල් වැඩපිළිවෙළක් තිබිය යුතුයි. රටේ අභ්‍යන්තර ආගමික හා ආර්ථික ගැටුම් පවතිනවා. හමුදාවට තවත් බඳවා ගැනීමෙන් වැඩක් වෙන්නේ නැහැ ආරක්ෂාව වර්ධනය කළ නොහැකි නම්. රටේ අභ්‍යන්තර ගැටුම් ඇතිවීම ආර්ථිකයට විශාල ලෙස අහිතකර බව පසුගියදා සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් මනාව සනාථ වුණා. එයින් සිදුවූ ආර්ථික හානිය යථා තත්ත්වයට පත් කිරීමට තවම අපොහොසත් වී තිබෙනවා. සුළු ප්‍රශ්න නිසා විශාල හානි සිදුවූ අවස්ථා එමටයි. ඉතින් මේ සඳහා මුළු රටටම පිළිගත හැකි ශක්තිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් තිබිය යුතු වෙනවා. ආර්ථිකය නගා සිටුවීමටත් එවැනි ජාතික සැලසුමක් අවශ්‍යයි. ආර්ථික ප්‍රතිපත්ති සකස් කළ යුතුයි. පොරොන්දු නොව ප්‍රතිපත්තියි ඕනෑ.

එසේ නොකර මේ විදියට පොරොන්දු දීම ඉතාම පිළිකුල් සහගතයි. මේවා ප්‍රායෝගික නැහැ. කරන්න බැහැ. එයට වැඩපිළිවෙළක් නැහැ. ලෝක බැංකුව කියන විදියට අපේ රටේ ආර්ථික වර්ධනය සියයට 2.7 දක්වා පහළ අගයකයි තියෙන්නේ. ආසියානු රටවල ආර්ථික වර්ධනය බැලුවහොත් අප ඉදිරියෙන් ඉන්නේ යුද්ධවලින් විනාශ වූ ඇෆ්ගනිස්ථානයට පමණයි. ඉතින් මෙච්චර පහළ ආර්ථිකයක සිට මේ කියන පොරොන්දු ඉටුකිරීම සිහිනයක් පමණයි. මේ පොරොන්දු දෙන අය ඒවා ඉටුකරන්න නොහැකි බව දැනගෙනමයි එවැනි පොරොන්දු දෙන්නේ. මේ සියල්ල මනඃකල්පිත යෝජනා බවයි කිවයුතු වන්නේ.

අපේ රුපියලේ විදේශ අගය ක්‍රමයෙන් ක්ෂය වෙනවා. රටේ ආයෝජන අඩුවෙනවා. අපනයන පහළ බහිනවා. මේවා තමා අප කාලයක් තිස්සේ බැටකන ප්‍රශ්න. අපේක්ෂකයන් ඉදිරිපත් කළ යුතු වන්නේ මේවා විසඳන්නේ කොහොමද කියන එකට විසඳුම් මිස එම ගැටලු තව තවත් උග්‍රකරන යෝජනා නොවෙයි. රටට ආදරයක් තිබේ නම් බැරි දේවල් කතා නොකර සිටිය යුතුයි.

ජාත්‍යන්තර සම්බන්ධතා නැතුව රටට ඉදිරියට යා නොහැකියි. විදේශ රටවල් සමග ගිවිසුම්වලට එළඹිය යුතු වෙනවා. දියුණු රටවල් නොදියුණු රටවල ආර්ථිකයේ කොටස්කරැවන් කරගත යුතුයි. එහෙම නැතුව ඔවුන් අධිරාජ්‍යවාදීන් යැයි කියා දෝෂාරෝපණය කිරීමෙන් සිදුවන යහපතක් නැහැ. අපට හිතකර ලෙස ආර්ථික ගිවිසුම්වලට එළඹිය යුතු වෙනවා. එහෙම නැතුව පටු දේශපාලන දෘෂ්ටියෙන් බලලා ඒවාට එරෙහි විය යුතු නැහැ. සමහර දේශපාලනඥයන් සොයා නොබලා ගිවිසුම්වලට එරෙහි වන්නේ ජනතාවගේ ගැලවුම්කාරයන් ලෙස පෙනී සිට ඡන්ද ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්.

ජාත්‍යන්තර ආධාර නොලැබුණහොත් රටේ මූල්‍ය අර්බුදයක් ඇතිවෙනවා. විදේශ රටවල් සමඟ සහයෝගයෙන් ජීවත් විය යුතුයි. අප වැනි රටවලට ස්වාධීනව කෙළින් නැගී සිටින්න බැහැ. ඒ නිසා සැමවිටම විදේශ රටවල් සමග ගැටුම් ඇතිකර ගතහොත් අපට විශාල ගැටලුවක් අනාගතයේදී ඇති වේවි.

පොරොන්දුවලට රැවටිලා ඡන්දය දෙන ජනතාව ඒ පොරොන්දු ඉටු නොවුණ විට ආණ්ඩුවට වෛර කරනවා. තමන් රැවටූ බව තේරැම් ගන්නවා. ඊළඟට මොකද වෙන්නේ. ඔවුන් තම ඉල්ලීම් ලබාගැනීමට රජයට එරෙහිව විරෝධතාවලට යනවා. අන්තිමට ආණ්ඩුව වට්ටන්නට ක්‍රියා කරනවා. මෙයින් සිද්ධ වෙන්නේ යළිත් ආණ්ඩුව දුර්වල වී දේශපාලන අර්බුදයක් ඇතිවීමයි. ඒ් සමගම ආර්ථික අර්බුදයද උග්‍ර වෙනවා. මේ නිසා සිද්ධ වෙන්නේ රෑ වැටුණු වළේ දවල්ද වැටීමයි.

යසවර්ධන රුද්රිගු

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30