2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

උඩ කැරකෙන කැමරාවේ හොර වැඩ

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 96

රූං පෙත්තක් වගේ ඉහළ අහසේ එහාමෙහා යන ඩ්‍රෝන යානය අද වනවිට ලංකාවට ආගන්තුක නැත. ලංකාවට ඩ්‍රෝන ආ අලුත බොහෝ දෙනා “මේ මොකද්ද” යැයි සෝදිසි කර බලන්නට උත්සාහ ගත්හ. මෙය හතර කොනේ ඇති රොටර් තල හතරක බලයෙන් උඩ යන කුඩා යානාවකි. පුංචි දරුවන් රිමෝට් කන්ට්‍රෝල්වලින් කාලයක් හෙලිකොප්ටර් ඉහළට නැංගුවද අද වනවිට ඩ්‍රෝනය ඡායාරූප ගැනීමටත් වීඩියෝ කරණයටත් යොදා ගැනේ. මේ නිසා බොහෝ ඡායාරුප ශිල්පීහු අද වනවිට ඩ්‍රෝනයට හුරුවෙන්නටත් පුරුදු වෙති.

“මම ඩ්‍රෝනයක් ක්‍රියාකරවීමට පටත් ගත්තේ මීට අවුරුදු හතරකට විතර පෙරයි. මම වෘත්තියෙන් වෙබ් අඩවි නිර්මාණකරුවෙක්. මම ඡායාරූප ශිල්පයට ගොඩාක් කැමතියි. ඩ්‍රෝන කැමරාව ආපු අලුත් ඒක අපි හැමෝටම අලුත් දෙයක්. මම කොහොමත් අලුත් තාක්ෂණය ගැන ටිකක් හොයලා බලන කෙනෙක්. ඒකත් එක්ක ඩ්‍රෝන කැමරාව ගැන මට දැනගන්න ලැබුණා.”

ඩ්‍රෝන කැමරා ශිල්පියෙකු ලෙස කටයුතු කරන හර්ෂ පෙරේරා දේශයට පැවසීය.

මීට අවුරුදු හතරකට පෙර හර්ෂ ඩ්‍රෝන කැමරාවක් මුල්වරට මිලදී ගත්තේය. එවිට එහි මිල රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දාහක් විය. ඔහු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඩ්‍රෝන කැමරාව මිලදී ගන්නා තුරු හර්ෂ ඩ්‍රෝන කැමරාවක් අත්හදා බලානොතිබිණි. මේ නිසාම කුළුදුලේම මිලදී ගත් මුල්ම ඩ්‍රෝන කැමරාවෙන්ම පළමු අත්දැකීම විඳගන්නට හර්ෂට සිදුවිය. ඩ්‍රෝන කැමරා අභ්‍යාසයක් ලබන්නට තරම් ස්ථානයක් නැත. මේ නිසාම මිලදී ගත් මුල්ම කැමරාවක් අතේ තබාගෙන හර්ෂ අන්තර්ජාලය ඔස්සේ එය ක්‍රියාකරනා ආකාරය වීඩියෝ පට ආශ්‍රයෙන් සොයාබැලුවේය. ඒ හරහා ඩ්‍රෝනාව පියාසර කරනා ආකාරය ගතයුතු ඉලක්කයන් ආදී පිළිබඳව දළ අවබෝධයක් ඔහු ලබා ගත්තේය.

දිනක් හර්ෂ තම ඩ්‍රෝන කැමරාව ද ගෙන ශාන්ත අන්තෝනි පාසලේ ක්‍රීඩාංගණයට ගියේය. ඒ ගමනට හර්ෂගේ හොඳම යාළුවා වුණු රජීව් ද එකතු විය. ඡායාරෑප ශිල්පියෙකු මෙන්ම වෙබ් අඩවි නිර්මාණකරැවකු වූ හර්ෂගේ ඔළුවට “අපි ඩ්‍රෝන එකෙන් වැඩක් කරමු” යැයි යෝජනාව ද ගෙන එන ලද්දේ රජිව් විසිනි. ශාන්ත අන්තෝනි ක්‍රීඩාංගණයේදී කළ පළමු ඩ්‍රෝන පියාසර කිරීම සාර්ථක විය. ඩ්‍රෝන කැමරාව අඩි සීයයක් පමණ උඩට නැගීමෙන් පසුව එයට අනතුරක් වීමට ඉඩක් නැත. ඒ නිසාම ක්‍රීඩාංගණයේදී කළ පළමු උත්සාහය කිසිදු බාධාවකින් තොරව සාර්ථක විය.

නමුත් දෙවැනි රූගත කිරීම් සිදුකරන ලද්දේ එකතරා වාර්තාමය වැඩසටහනකටය. ඒ අසල බිල්ඩිමක්ද තිබුණි. ඒ හරහා වයරක් ඇද තිබිණි. හර්ෂගේ ඇස එහි ගැටුණි. කිසි ප්‍රශ්නයක් ඇති වූයේ නැත. හර්ෂ ඉතා සීරුවෙන් ඩ්‍රෝන කැමරැව එයින් අයින් කර ගත්තේය. ඒත් සමඟම පිටුපසින් වන්නට පොල්ගසක් තිබුණි. ඩ්‍රෝනයට පොල් අතු මාරයෙක් වගේය. පොල් අත්තේ වැදුණු ඩ්‍රෝනාව වැටී කැඩී විශාල හානියක් ද සිදුවිය. එය නැවත අලුත්වැඩියා කරගන්නට හර්ෂට විශාල මුදලක් වැය වුණි.

ඔහු දිගින් දිගටම පුහුණුවීම් කළේය. එකල හර්ෂට තිබූ ඩ්‍රෝන කැමරාවට ඉහළ පියාසර කළ හැක්කේ විනාඩි හතරක් හෝ පහක කෙටි කාලයක් පමණි. ඉතා ඉක්මනින් බැටරිය ක්‍රියාවිරහිත වේ. නමුත් අද වනවිට ඒ හැම තාක්ෂණයක්ම දියුණු වී තිබේ.

“මේ වනවිට ඔබ විවාහ උත්සව, මියුසික් වීඩියෝ, ටෙලිනාට්‍ය ආදිය බොහෝමයක ඩ්‍රෝන කැමරාවෙන් පටිගත කරලා තියෙනවා. එක්තරා මියුසික් වීඩියෝවක් කරන්න ගියපු වෙලාවක එහි අධ්‍යක්ෂකවරයා ඒ රඟපාන දෙදෙනාගේ ඔළුව වටේ ඩ්‍රෝනය කරකවන්න කියලා කිව්වා. ඇත්තටම ඒ අය හිතාගෙන ඉන්නේ ඩ්‍රෝනාවෙන් හැම දෙයක්ම කරන්න පුළුවන් කියලා. ඔය වගේ නොදන්නාකම නිසාම සමහරැන්ගෙන් නොයෙකුත් අපහසුතාවලට පත්වුණු අවස්ථා නම් මුල්කාලේදී තිබුණා. දැන්නම් එහෙම නැහැ. දැන් වැඩක් කරන පිරිස අතරේ ඩ්‍රෝනාවෙන් කරන්නට පුළුවන් දේ සහ නොපුළුවන් දේ පිළිබඳව දළ අවබෝධයක් තියෙනවා.” යැයි හර්ෂ වැඩිදුරටත් විස්තර කළේය.

ඩ්‍රෝනා කැමරා ලංකාවේ බොහෝදුරට ඡායාරූප සහ වීඩියෝකරණය සඳහා වැඩි වශයෙන් යොදා ගනී. නමුත් විදෙස් රටවලදී එයට එහා ගිය තාක්ෂණ දියුණුවක් සමඟ යෙදෙන වැඩට ඩ්‍රෝනාව උපයෝගි කරගනී. අද වනවිට ඩ්‍රෝන කැමරාව ටෙලිනාට්‍ය සහ සිනමා නිර්මාණ රෑගත කිරීම්වලට වැඩි වශයෙන් යොදාගැනීමක් සිදුවේ. විදෙස් රටවල නිෂ්පාදනය කරනු ලබන වාර්තා චිත්‍රපට බොහෝමයක් සඳහා අද වනවිට ඩ්‍රෝනා කැමරා උපයෝග කරගනී. පසුගිය කාලේදී ජපානයෙන් පැමිණි රූපවාහිනී නාළිකාවකින් ගුවන් තොටුපළේ සිට ලංකාවට පැමිණි ජපන් කාන්තාවක් එතැන් සිට ඇල්ල දක්වා යන ගමන ඩ්‍රෝනා කැමරාවෙන් රෑගත කළාය. කොටුව දුම්රිය නැවතුමේ සිට ඇල්ලට ගිය ඒ ගමනේ ඇය දකින සුන්දරත්වය, අපූර්වත්වය ඩ්‍රෝනාවෙන් රූගත කෙරුණි. ලංකාවේදී දුම්රියත් සමඟ යන ගමනේදී ඇස ගැටෙන දර්ශනයත් හරි අපූරුයි. ඒ දර්ශනයත් අපූරුවට හසුකරගැනීම් හැකියාවත් ඩ්‍රෝන කැමරාවේ ඇසට තිබුණි. ගස්කොළන් අස්සෙන් යන දුම්රිය හරි අපූරුවට රූගත කිරීම් කරන්නට ඔවුන්ට හැකිවිය.

ඩ්‍රෝන කැමරාවෙන් රූගත කිරීම කිරීමට අවසරයක් ලබාගත යුතුයි. එසේ නොමැති විට නීතිමය ප්‍රශ්නවලට මුහුණ දීමට ඩ්‍රෝන ක්‍රියාකරැවන්ට සිදුවේ. එලෙස අවසරය ලබාගෙන තිබියදීත් හර්ෂට නීතිමය ගැටලුවලට මුහුණ දුන් අවස්ථා නැතිවම නොවේ.

අදාළ අමාත්‍යාංශයෙන් අවසරය ගෙන එයින් ආරක්ෂක අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දීමක් සිදුකරනවා. එතැනින් තවත් කිහිප තැනකින්ම අවසරය ලබාගත යුතුයි. පසුගියදාක ඩ්‍රෝන කැමරාවෙන් සිදුකරන්නට යොදාගෙන තිබුණු වැඩේට මම මේ සියලු අවසරය අරගෙනයි තිබුණේ. නමුත් රූගත කිරීම් කරන්නට ඒ අදාළ තැනට ගියාට පස්සේ එතැන ආරක්ෂක නිලධාරිතුමා දැනුවත් කරලා නැහැ කියලා ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. ඊට පස්සේ අවසරය ලත් ලියුම් බලලා. ඒ අදාළ අංශවලට දුරකතන ඇමතුම් ලබලා දීලා වැඩේ පටන් ගනිද්දී පැය එකහමාරක් පරක්කු වෙලා තිබුණා.”

හර්ෂ කියනා පරිදි සමහරුන්ට මේ සම්බන්ධව ඇත්තේ නොදැනුමකි.

මධුෂාන් පෙරේරා ද හර්ෂ මෙන්ම ඩ්‍රෝනා කැමරාවෙන් වැඩකිඩ දමනා තරුණයෙකි. මධුෂාන් වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකි. මෙලෙස ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කරද්දී නවීන තාක්ෂණික උපකරණත් සමඟ අත්හදා බලන්නට මධුෂාන් තුළ කැමැත්තක් තිබුණි. මීට වසර හතරකට පමණ පෙර මධුෂාන් මුලින්ම ඩ්‍රෝනාවක් මිලදී ගත්තේය. ආයතනයකින් ලැබුණු වට්ටමක් සමඟ මුල්ම ඩ්‍රෝනාව රුපියල් අනුදාහකට ලබාගැනීමට ඔහුට හැකිවිය.

ඩ්‍රෝනාව මිලදී ගත්තද එය ක්‍රියාකරනා අන්දම පිළිබඳව ඊට පෙර කිසිදු දැනුමක් මධුෂාන්ට තිබුණේ නැත. ඔහු කටුගස්තොට ඡායාරූප ශිල්පියෙකි. ඔහු අන්තර්ජාලය ඔස්සේ කැමරාව ක්‍රියාකරනා අන්දම පිළිබඳව හොඳින් සොයා බැලුවේය.

මධුෂාන් විසින් ඩ්‍රෝන කැමරාව අත්හදා බලනා මුල්ම දවස උදාවිය. ඔහු තම මිතුරන් කිහිපදෙනකු සමඟ ඩ්‍රෝනාව ඉහළට යවන්නට උත්සාහ ගත්තේය. මුල්වතාවේ එය සාර්ථක විය. මධුෂාන්ගේ මුහුණේ සිනාවක් ඇදුණි. නමුත් ඒ සිනහව රුඳී තිබුණේ ඉතාම කෙටි කාල සීමාවකටය. අසල තිබූ බිත්තියක ඩ්‍රෝනාව වැදුණි. ඒ සැණින්ම එය අල්ලා ගන්නට උත්සහ දැරූ මධුෂාන්ගේ මිතුරෙකුගේ අත ඩ්‍රෝනාවට කැපී තුවාල විය. එතැනින් ඒ දවසේ උත්සහය අසාර්ථක වුවද මධුෂාන් දිගින් දිගටම පුහුණු විය. ටික කාලයකින් එය මධුෂාන්ට හොඳ හැටි හුරුවිය.

ව්‍යාපාරයක් ලෙසින් මධුෂාන් ඩ්‍රෝනා කැමරාවෙන් මුලින්ම ප්‍රී ෂූට් එකක් රෑගත් කළේය. එහි ඡායාරූප ශිල්පියා වූයේ මධුෂාන්ගේ මිතුරෙකි. ඩ්‍රෝන කැමරාවෙන් රූගත කරන්නට තම මිතුරාගෙන් ද සහයෝගය ලැබුණු හෙයින් පළමු රාජකාරිය ඉතා සාර්ථක විය.

මධුෂාන් වාර්තා චිත්‍රපට, වාර්තාමය වැඩසටහන් මෙන්ම ටෙලිනාට්‍ය කිහිපයකටම සම්බන්ධව වැඩ කළේය. “දෙවැනි ඉනිම” ටෙලිනාට්‍යයේ ඔහු දින දෙක තුනක් වැඩ කළේය. එපමණක්ම නොව “සුදු ඇඳගෙන කළු ඇවිදින්” ටෙලිනාට්‍යයකට ද මධුෂාන් ඩ්‍රෝන කැමරාවෙන් රූගත කළේය. එයින් ලැබුණු අත්දැකීම් තම ජීවිතයට ඉතා වටිනා බව මධුෂාන්ගේ අරමුණයි.

වරෙක මධුෂාන්ට ප්‍රී ෂූට් එකකට බෝට්ටුවක රූගත කිරීම් කරන්නට තිබුණි. රූගත කිරීම් අතරවාරයේදී මධුෂාන්ගේ ඩ්‍රෝන කැමරාව මහවැලි ගඟට කඩා වැටුණේය. මධුෂාන්ට කරකියාගන්නට දෙයක් තිබුණේ නැත. අත්තක වැදුණු ඩ්‍රෝනාව මහවැලි ගඟේ පතුලේ සැඟවුණේය. ඒ අසල පිහිනීමට හැකි කිමිදුම්කරැවන් කිහිපදෙනකු මධුෂාන්ගේ උදව්වට පැමිණි ගෝලයාත් මහවැලි ගඟේ කිමිදී ඩ්‍රෝනාව සෙව්වේය. ටික වේලාවකින් මහවැලි ගඟේ සැඟවී ගිය ඩ්‍රෝනාව සොයාගන්නට ඔවුන්ට හැකිවුණි.

ඒ ලැබූ අත්දැකීමෙන් මධුෂාන් ඩ්‍රෝනා කැමරාවක් ගලවා නැවත අලුත්වැඩියා කිරීමට පවා ඉගෙනගත්තේය.

මධුෂාන් අද වනවිට අලුත්ම ඩ්‍රෝන කැමරාවෙන් රූගත කිරීම් කටයුතුවල නිරත වේ. ඡායාරූප ශිල්පියාට අමතරව ඩ්‍රෝන කැමරාවෙන් රූගත කිරීම් අපූරු අත්දැකීමක් බව ඔවුන්ගේ අදහසයි. 

දිශානි ජයමාලි කරුණාරත්න

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30