2019 ජුනි 08 වන සෙනසුරාදා

මාරාන්තික උපවාස ඉතිහාසය

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:31 136

අතුරලියේ රතන හිමියන් කළ උපවාසය ඉල්ලීම් ඉටුවීම නිසා දින තුනකින් අත්හිටවූ අතර මේ දිනවල රට පුරා මාරාන්තික උපවාස ගැන කතාබහක් මතුව තිබේ. වෙනත් කිසිම ආකාරයකින් කරන ලද ඉල්ලීම් ඉටු නොවුණහොත් පමණක් ගතයුතු අවසන් අහිංසාවාදී පියවර වශයෙන් මාරාන්තික උපවාස සැලකේ. ලොව පුරා මාරාන්තික උපවාස සිදුකර මිය ගියවුන් විශාල පිරිසක් ගැන වාර්තා වේ. ශ්‍රී ලංකාවේ උතුරෙන් ද එවැනි මරණ ගැන පසුගිය කොටි යුද්ධය පැවති කාලයේ අසන්නට ලැබුණි. එහෙත් දකුණේ නම් මාරාන්තික උපවාසයකින් මිය ගිය කෙනෙක් නැත.

“මාරාන්තික උපවාසය” යන වචනය ද සිංහල ජනතාව අතර විහිළුවකට ලක්වන පරිද්දෙන් එය දේශපාලනඥයන් විසින්ම අවභාවිත කර තිබීම එයට හේතුවයි. ඒ නිසාම එවැනි උපවාසයකට දේශපාලනඥයකු වාඩිවන විටම පොදු ජනතාව පවසන්නේ “ඕක පිටුපස්සේ ඉන්නේ අහවල් ලොක්කානේ. බයවෙන්න දෙයක් නෑ. තුන්වැනි දවසේ ඇවිත් තැඹිලි වතුර වීදුරුවක් දීලා බේරාගන්නවා.” කියලාය.

නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ මාරාන්තික උපවාසයක් මුල්වරට වාර්තා වන්නේ 1958දීය. සුප්‍රකට අධ්‍යාපනඥයකු මෙන්ම සිංහල භාෂා ප්‍රේමියකු ලෙසද සලකුණු මහාචාර්ය එෆ්.ආර්. ජයසූරිය එයට එක්විය. එයට හේතුවූයේ 1956දී බලයට පැමිණි අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ලබාදුන් මැතිවරණ පොරොන්දුවකි. ඔහු බලයට පත්වූයේ සිංහල රාජ්‍ය භාෂාව බවට පත්කරන්නේ යැයි පවසමිනි. ඒ සඳහා ඉදිරිපත් කළ රාජ්‍ය භාෂා පනත් කෙටුම්පතේ දෙමළ භාෂාව සාධාරණ ලෙස භාවිතා කිරීම පිළිබඳ විධිවිධානයන් ද ඇතුළත් කෙරිණි. මහාචාර්ය ජයසූරිය උපවාසය ආරම්භ කළේ සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කළයුතු බවත්, වෙනත් කිසිදු භාෂාවකට තැනක් ලබාදිය යුතු නොවන බවත් පවසමිනි.

1958 මැයි 24 එම මාරාන්තික උපවාසයට ඔහු වාඩිවුණේ එවකට ගාලුමුවදොර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේය. මෙම උපවාසයට පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එම්.පී. රාජරත්න ඇතුළු පිරිසක් ද එක්වූහ. උපවාසයේ ප්‍රතිඵලයක් ලෙස පනතේ වැදගත් වගන්තියක් වූ දෙමළ භාෂාව සාධාරණ ලෙස භාවිත කිරීම පිළිබඳ විධිවිධාන ඉවත් කිරීමට අගමැති බණ්ඩාරනායක කටයුතු කළේය. අගමැතිවරයාම පාර්ලිමේන්තුවට පැමිණ දොඩම් යුෂ වීදුරුවක් පෙවීමෙන් උපවාසය කෙළවර විය. මහාචාර්ය ජයසූරිය තම අරමුණු ඉටුකර ගත්තත් එය කල්පවතින දෙමළ සිංහල අරගලයක් දක්වා දිවගිය අතර පසුව උපවාසය නිසා හටගත් රෝගාබාධ නිසා ජයසූරිය මිය ගියේය.

බණ්ඩාරනායක පාලන සටනේදී යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුවේ සෙබළුන් 18 දෙනෙක් මන්නාරමේදී මාරාන්තික උපවාසයක් ඇරඹූහ. ඒ සිය අණදෙන නිලධාරියා විසින් ඔවුන්ට පුහුණු කටයුතු කිරීමට ඉඩනොදීම හේතුවෙනි. එම අවස්ථාවේදී ද අගමැතිවරයා හෙලිකොප්ටරයෙන් මන්නාරමට ගොස් ඉල්ලීම් ලබාදෙන බවට පොරොන්දු වී සෙබළුන්ට දොඩම් යුෂ ලබාදුන්නේය.

සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ ගැසට් පත්‍රය නිකුත් වූයේ 1960 දශකයේදීය. එවකට පැවතියේ අගමැති බණ්ඩාරනායකගේ බිරිය වූ සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුවයි. උතුරේ (සිංහල පමණක්) විරෝධය පැන නැගුණේ දෙමළ දේශපාලනඥයන් රැසකගේ මූලිකත්වයෙනි. එස්.ජේ.වී. චෙල්වනායගම්, ජී.ජී. පොන්නම්බලම්, සුන්දරලිංගම්, එම්. තිරුචෙල්වම් ඇතුළු නායකයන් සහ ජනතාව ද යාපනය කච්චේරිය වටකර එහි වැඩකටයුතු අඩපණ කළහ. 1961 පෙබරවාරි 20 දා උපවාසයක් ද සත්‍යග්‍රහයක් ද ඇරඹිණි. වාහනවලට යෙදූ “ශ්‍රී” අකුරට විරෝධය ද එයට එකතු විය. උපවාසය දින කිහිපයකින් නිම වුවද “සිංහල පමණක්” විරෝධය උතුරේ දිගටම ක්‍රියාත්මක විය. අගමැති සිරිමා බණ්ඩාරනායකට මෙය පාලනය කිරීමට පවා අපහසු විය. එවකට සිවිල් සේවයේ සිටි නිලධාරීන් වූ කේ.එච්.ජේ. විජයදාස සහ නිශ්ශංක විජේරත්න උතුරට යැව්වේ තත්ත්වය සමතය කිරීමටය.

ඊට පසු දිගු කලක් යනතුරු කැපීපෙනෙන මාරාන්තික උපවාස ගැන වාර්තා වන්නේ නැත. 1987 සැප්තැම්බර් 15දා යාපනයේ නල්ලූර් කන්දසාමි කෝවිල ඉදිරිපිට රාසයිසා පාර්තිපන් හෙවත් තිලීපන් ආරම්භ කළ මාරාන්තික උපවාසය ලෝකය පුරාම අවධානයට ලක්වූවකි. යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් වූ තිලීපන් කොටි සංවිධානයේ යාපනයේ දේශපාලන අංශයේ නායකයා විය. ඔහු උපවාසය ආරම්භ කළේ ශ්‍රී ලංකා රජයට ඉල්ලීම් පහක් ඉදිරිපත් කරමිනි.

1. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම.
2. දෙමළ බහුතරයක් සිටින ප්‍රදේශවල සිංහල ජනපදකරණය නතර කිරීම.
3. උතුරු නැගෙනහිර පුනරුත්ථාපන කටයුතු නතර කිරීම.
4. උතුරු නැගෙනහිර අලුතින් පොලිස් ස්ථාන පිහිටුවීම අත්හිටුවීම.
5. ග්‍රාමරක්ෂක භටයන් නිරායුද කිරීම සහ පාසල්වල රැඳීසිටි ආරක්ෂක අංශ ඉවත් කිරීම.

පැවති ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවට මෙම ඉල්ලීම් කිසිවිටක ඉටුකළ නොහැකි වූයේ ඒවා ලබාදීම උතුරු නැගෙනහිර කොටින්ටම පැවරීමක් වන හෙයිනි. උපවාසය ආරම්භ කර දින හතකට පසු ඉන්දීය මහ කොමසාරිස් ජේ.එන්. ඩික්සිට් යාපනයට ගොස් ප්‍රභාකරන් හමුවී උපවාසය නතර කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් තිලීපන් එය අත්හැරීමට සූදානම් නොවීය. දිය බිඳක් හෝ නොලබා 1987 සැප්තැම්බර් 26 දා ඔහු මිය ගියේය. පසුව තිලීපන්ගේ පිළිරුවක් නල්ලූර් කෝවිල අසල ඉදිකළත් යුද හමුදාව යුද්ධය ජයගැනීමත් සමඟ එය ඉවත් කෙරිණි.

ඊට පසු 1988 අප්‍රේල් මාසයේදී දරුවන් දස දෙනකුගේ මවක් වූ පූසතිඅම්මා මාරාන්තික උපවාසයක් මඩකලපුවේ කොටි ප්‍රදේශයක ආරම්භ කළාය. ඇගේ ඉල්ලීම වූයේ ඉන්දීය සාම සාධක හමුදාව සහ කොටි සංවිධානය අතර සටන් විරාමයකට ලංකා ආණ්ඩුව මැදිහත් විය යුතු බවය. ඇගේ ඉල්ලීමට එතරම් අවධානයක් යොමු නොවූ අතර ඇය අප්‍රේල් 19 දා මරණයට පත්වූවාය.

යළිත් රටේ අවධානයට ලක්වූ මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ එවකට ජාතික හෙළඋරුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඕමල්පේ සෝභිත හිමියන් විසිනි. 2005 ජුනි 07 දින උපවාසය ආරම්භ කළ සමයේ රට පාලනය කල චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයයි. උපවාසය ආරම්භ කළේ ජනාධිපතිනිය ආරම්භ කිරීමට කටයුතු කළ කොටි සංවිධානය සමඟ සුනාමි සහන මණ්ඩලය හෙවත් ඒකාබද්ධ යාන්ත්‍රණයට විරුද්ධවය. ඒකාබද්ධ යාන්ත්‍රණයට ක්‍රියාත්මක කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටවූ අතර උපවාසය ද කෙළවර විය. මෙම සහන මණ්ඩලයටම විරුද්ධව දඹර අමිල හිමිද ජුනි 11දා කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අතර එය දින තුනකින් නිම වූයේ හමුදා ගිලන් රියකින් උන්වහන්සේ බලෙන්ම රෝහල්ගත කිරීමෙනි.

විශ්වවිද්‍යාල සිසුන් අතර ද මෑතකදී මාරාන්තික උපවාස පැතිර ගියේ ආණ්ඩුවෙන් ඉල්ලීම් ඉටුකර ගැනීමට දැරූ උත්සාහයන් කනකට නොගත් නිසාය. 1992 දී රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය. විශ්වවිද්‍යාල සිසුන් 10 දෙනෙක් පමණ රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යායතනයේදී උපවාසයට වාඩිවූහ. දින කිහිපයකින් පසු උපවාසය නතර කළේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කර රජයට පවරා ගැනීමට තීරණය කිරීමත් සමඟිනි.

2017 නොවැම්බර් 6 දා විශ්වවිද්‍යාල ගැටලුවක් නිසා යළිත් මාරාන්තික උපවාසයකට වාඩිවීමට ශිෂ්‍ය දෙමාපියන්ට සිදුවිය. ඒ මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලීමෙනි. වසර කිහිපයක්ම ඇදීගිය සයිටම් අවුල නිමාකර ගැනීමට අවසන් පියවර වශයෙන් වෛද්‍ය ශිෂ්‍ය දෙමාපියන් එම තීරණයට එළඹ තිබුණි. කොළඹ දන්ත වෛද්‍ය විද්‍යායතනය ඉදිරිපිට තැනූ වේදිකාවක උපවාසය ආරම්භ කිරීමට පියවරු 5 දෙනෙක් එක්වූහ. නොවැම්බර් 8 දා නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පැමිණ රජය සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදෙන බවට පොරොන්දු වීමෙන් පසු උපවාසය අවසන් කෙරිණි.

මාරාන්තික උපවාසවලට එක්වී ජනතාවගේ කතාබහට ලක්වූ දේශපාලනඥයකු වශයෙන් විමල් වීරවංශ සැලකේ. ඔහු නිවාස හා ඉදිකිරීම් ඇමැතිව සිටිමින් 2010 ජුලි මාසයේ කොළඹ 7 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය අසල මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කී මූන් ශ්‍රී ලංකාවට පත්කළ උපදේශක කමිටුවට විරුද්ධවය. එම උපවාසය දින තුනකින් නිමා කළේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ උපවාසය කළ තැනට පැමිණ වීරවංශට තැඹිලි වතුර පෙවීමෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම උපවාසය ගණනකට නොගත්ත ද ජාත්‍යන්තර මාධ්‍ය පවා ඒ ගැන කතා කළේය. එය ප්‍රසිද්ධියට පත්වූයේ ලෙමන්පෆ් උපවාසය යනුවෙනි.

විමල් වීරවංශ යළිත් 2017 මාර්තු මාසයේදී මැගසින් බන්ධනාගාරයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය. රජයේ වාහන 40ක් අවභාවිත කළේයැයි චෝදනා කරමින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකළ අතර මන්ත්‍රීවරයා පැවසුවේ රජය තමන්ට එරෙහිව දේශපාලන පළිගැනීමක් සිදුකරන බවයි. එම පලිගැනීමට එරෙහිව ඔහු උපවාසය ආරම්භ කළේය. සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා ඔහු මාර්තු 29දා රෝහල් ගතකරනු ලැබීය. ඊට පසුව මහා සංඝරත්නයේ ඉල්ලීම මත කිරි වීදුරුවක් පානය කරමින් උපවාසය අවසන් කළේය. 

බන්ධනාගාරගතව සිටින දේශපාලන සිරකරුවන්ද විවිධ අවස්ථාවලදී උපවාස කිරීමට එක්ව තිබේ. 2015 ඔක්තෝබර් මාසයේ බන්ධනාගාර 4ක රඳවාසිටින එල්.ටී.ටී.ඊ. සිරකරැවන් 223 දෙනෙක් නිදහස් කරන ලෙස ඉල්ලමින් මාරාන්තික උපවාසයකට එක්වූහ. එහෙත් ඔවුන්ට නිදහස නම් ලැබුණේ නැත.

2018 ජනවාරි 9 දා මාරාන්තික උපවාසයකට එක්වූයේ හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයන් 11 දෙනෙකි. ඉවත් කළ සේවකයන් යළිත් සේවයට බඳවා ගැනීම ඔවුන්ගේ ඉල්ලීම විය. එම විරෝධතාව නිමාවූයේ සේවකයන් අතරින් පිරිසකට රැකියා ලබාදීමටත් ඉතිරි පිරිසට වන්දි ලබාදීමටත් පාලකයන් පොරොන්දු වීමෙන් පසුවය.

මේ අනුව තම ඉල්ලීම් ඉටුකර ගැනීමට භික්ෂූන් වහන්සේ, වතු කම්කරුවන්, සිරකරුවන්, ශිෂ්‍යයන්, රාජ්‍ය නිලධාරින්, මැතිඇමැතිවරුන් ආදී විවිධ පිරිස් මාරාන්තික උපවාසයේ යෙදී තිබේ. ඉදිරියටත් බොහෝ පිරිස් මාරාන්තික උපවාසවලට වාඩිවන බව රට යන අත නිරීක්ෂණය කිරීමෙන් පෙනේ. එහෙත් මාරාන්තික උපවාසය විහිළුවට ලක්නොකර එය අවසන් පියවර වශයෙන් පමණක් භාවික කළ යුතු තුරුම්පුවක් බවද පැවසිය යුතුය. එය මෑත අතීතයේදී රට වෙනුවෙන් බහුලව යොදාගත් විශිෂ්ට නායකයකු වූයේ ඉන්දියාවේ මහත්මා ගාන්ධිය. ඔහු ඉන්දීය නිදහස් සටන වෙනුවෙන් මාරාන්තික උපවාස 17ක් පැවැත් වූ බව සඳහන් වේ.

 කුසුම්සිරි විජයවර්ධන

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30