2019 මැයි 11 වන සෙනසුරාදා

අපේ කාලේ වෙසක්

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:31 65

සිතට දුක දැනෙන මහත් ව්‍යසන අපේ කාලයේ දී අපි අත් වින්ඳෙමු. පාස්කු ඉරිදා සිතට දැනුණු භීතියත් අනතුරුව සිතට නැගුණු දොම්නසත් තවම අපේ සිත්වලින් පහව ගියේ නැත. ඒ මානසිකත්වයෙන් අප ගොඩ ආ යුතුය. ඒ ඍණ මානසිකත්වයක් බැවිනි. සැම දේ ගැනම ඇතිසැටියෙන් බැලිය හැක්කේ සිත සන්සුන් කරගත් විටය. ළඟ එන වෙසක් උත්සවය සිතේ දොම්නස දුරුකර ගන්නට එළඹෙන හොඳම අවස්ථාවකි. අනිත්‍ය මෙනෙහි කරන අතරම උකටලී බව සිතින් ඉවත් කරගත යුතුය. සිත පහන් කරගත යුතුය.

1880 දී මෙරටට පැමිණි ඕල්කට්තුමා වෙසක් දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස යටත්විජිත භාර ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. ගෝඩ්න් ආණ්ඩුකාර තැන 1885 මාර්තු 27 වැනිදා වෙසක් දිනය නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කරන්නේ ඒ අනුවය. 2016 වසරේ පටන් වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් වූයේය. නවසිය පනස් හය වසරේ දී 2500 වැනි බුද්ධ ජයන්තිය සැමරීමත් සමඟ මෙරට වෙසක් උත්සවය සැමරීම වඩාත්ම උද්‍යෝගයෙන් සිදුවූ බව පෙනී යයි.

අපේ ළමා කාලයේ දී අවුරුදු කාලයත් ඉන්පසු එළඹෙන වෙසක් කාලයත් එනතුරු අපි දින ගනිමින් සිටියෙමු. අවුරුදු කාලයට ආසා කළේ ඒ කාලය කෙළිදෙලෙන් ගත කරන නිසාය. වෙසක් කාලයට ආසා කළේ ඊටම ආවේණික ක්‍රියාකාරකම් රාශියක් ඒ හා බැඳුණු නිසාය. එවැනි බොහෝ ක්‍රියාකාරකම් ළමා නිර්මාණාත්මක මනස සියුම්ව පුබුදු කළ ඒවාය. වෙසක් උත්සවය හා බැඳුණු නිර්මාණාත්මක ක්‍රියාකාරකම්වලට පදනම සැපයූවේ බෞද්ධ දර්ශනයෙන් හා බෞද්ධ සාහිත්‍යයෙනි. වෙසක් උත්සවයෙන් සමරනුයේ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන නිසා එය එසේ විය යුතුය. ඉස්සර ව්‍යාපාරික ප්‍රජාව මෙරට වෙසක් උත්සවය සමරන්නට සහාය වූයේ ඉහත කී නිර්මාණාත්මක ක්‍රියාකාරකම්වලට ද ඉඩ සලසමිනි. පසු කාලයේ දී බෞද්ධ දර්ශනයත්, සාහිත්‍යයත් පදනම් කොට කරගෙන ආ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් යටකරගෙන ව්‍යාපාරිකයන්ගේ ලාභ ලැබීමේ චේතනාව ඉස්මතු විය.

වෙසක් කූඩු සෑදීමේ ආසාව හිතේ නලියන්නට ගන්නේ සිංහල අවුරුදු සෙල්ලම් කාලය කෙමෙන් වියැකී යද්දීමය. වෙසක් කූඩු සෑදීමෙන් ලැබෙන තෘප්තිය අතිශය සංවේදී එකකි. දවස පුරා කෑකෝ ගසමින් සෙල්ලම් කළද, වෙසක් කූඩු සෑදීමේ දී ඇතිකරගත් ශික්ෂණයෙන් අප පාලනයකට නතු වූයේය. එක සමාන දිග ඇති බට පතුරු සතරක් සමචතුරස්‍රාකාරව නොසෙල්වෙන සේ එකට බඳින්නට ද යම් හික්මීමක් සිත තුළ තිබිය යුතුය. සමචතුරස්‍ර හයක් එක්කොට අටපට්ටම බඳින්නට ඊට වඩා හික්මීමක්, අවධානයක් සිත තුළ තිබිය යුතුය. අටපට්ටම බැන්දාට පසු එය වැනෙන්නට ගත්තොත් එයින් ද පලක් නැත. අටපට්ටමේ කොළ අලවද්දී රැලි වැටුණොත් එයින් වැඩක් නැත. අටපට්ටමේ කොළ ඇලෙව්වාට පසු එයට බීක්කු අල්ලන්නට සිතේ. පැති හතරේ කළු කොළ වලින් රූප අලවන්නට සිතේ. මේ සියල්ලෙන් ළමා මනසට එක් වූයේ නිර්මාණාත්මක ශික්ෂණයයි. අටපට්ටමෙන් සංකේතවත් වන්නේ අටලෝදහම බව වැඩිහිටියෝ අපට කියා දුන්හ. වෙසක් කාලයට එන වැස්සෙන් ආසාවෙන් හැදූ වෙසක් කූඩු තෙමී විනාශ වන විට ජීවිතයේ අනිත්‍ය ගැන අපි කුඩා කලම අවබෝධ කර ගත්තෙමු. ඇතැම්විට ඉටිපන්දම්වලින් එළිය කළ කූඩු ගිනිගෙන විනාශ වී ගියේය. කුඩා අවධියේ පාසලේ සිංහල පොතේ තිබූ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ (වෙසක් පහන) කෙටි කතාවෙන් ද මෙම අත්දැකීම විස්තර වූයේය.

හැට ගණන්වල මුලදී ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන ප්‍රධානම අංගය වූයේ වෙසක් තොරණයි. විශාල කූඩු සහ වෙසක් නාට්‍ය සුළඟට ප්‍රදර්ශනය වන්නට ගත්තේ පසු කාලීනවය. වෙසක් සැරසිලි බලන්නට යන මහජනයාට ගමන් පහසුව සලසා ගන්නට යෙදූ ලංගම බස් රථය නම්කළේ ද (තොරණ සේවය) ලෙසයි. රන්මුතු දූව චිත්‍රපටයේ වෙසක් දර්ශන පෙන්වද්දී පසුබිමෙන් වාදනය වූ (පාරමිතා බල පූජිත පූජිත බුද්ධ දිවාකරයාණෝ) ගීය හැට ගණන්වල තොරණ සමීපයේ ලයිට්කණුවල ගැටගසා තිබූ (ලවුස්කීපර) වලින් (loudspeakers) ඇසුණේය. කොළඹ වඩාත්ම ප්‍රසිද්ධියට පත් තොරණ වූයේ තොටළඟ තොරණය. පිටකොටුවේ (මාළු මාර්කට්) තොරණත්, (එළවළු මාර්කට්) තොරණත් ඒ තරමටම ප්‍රසිද්ධියක් ඉසිලුවේය. තොරණවල විදුලි බුබුළු ආලෝක රටා රසවිඳීමට ඒ කාලයේ බොහෝ දෙනා ආසා කළහ. (රූපවාහිනිය පැමිණීමෙන් පසු ඒ ආසාව අඩු වී ගියේය.) විදුලි බුබුළු ආලෝක රටා නිර්මාණය කළේ (ෆ්ලෑෂර්කොටය) උපයෝගී කරගෙනය. කොටයක ඇලවූ තහඩු මගින් විදුලි එළි රටා නිර්මාණය කරන්නට වෙනම දක්ෂතාවක් තිබිය යුතුය. එම තාක්ෂණය ලෝකයේ වෙනත් රටවල උපයෝගී කරගත් බව නම් අසා නැත.

හැට ගණන් අග සිට හැත්තෑ ගණන් අග දක්වා වීදි අයිනේ තැනූ වේදිකාවල ප්‍රදර්ශනය වුණු වෙසක් නාට්‍ය අතිශය ජනප්‍රිය විය. විශාල ජනකායකට ඇසෙන්නට ඕනෑ වූ නිසා පටිගත කොට ශබ්දවිකාශනයෙන් ඇසෙන්නට සැලසූ දෙබස් ඒවායේ භාවිත විය. අඛණ්ඩව සෑම වෙසක් දිනයකම රඟ දැක්වූයේ ඒවායින් කිහිපයක් පමණකි. දෙහිවල වොලීස් ඡායාරූප ශාලාවේ අනුග්‍රහයෙන් රඟදැක්වූ වෙසක් නාට්‍ය වසර 25කට වඩා සෑම වෙසක් උත්සවයකම රඟ දැක්වූයේය. එම නාට්‍ය රචනා කළ ලයනල් සී. ද අල්විස් මියගිය පසු එම නාට්‍ය නැවතිණි. අද ප්‍රසිද්ධියට පත්ව ඇති (රුවන් අඹර සෙමර සලන) ගීතය වොලීස් වෙසක් නාට්‍යයක මුලින් වාදනය වූ ගීතයකි. බොහෝ වෙසක් නාට්‍යවල එකල සුප්‍රසිද්ධ ගුවන්විදුලි නාට්‍ය ශිල්පීන්ට හඬ දෙබස් සඳහා උපයෝගී කරගෙන තිබිණි. වෙසක් නාට්‍යවල නාට්‍ය දෙකක් ප්‍රදර්ශනය මුලින්ම ආරම්භ කළේ දෙහිවල වොලීස් නාට්‍යයෙනි. පළමුවැන්න වූයේ(උත්පලවන්නා වැනි බෞද්ධ කතාවක චරිතයක් හෝ එවැනි කතාවක් ඇසුරින් කළ නිර්මාණයකි. දෙවැන්න (දොං සිමං) වැනි හාස්‍යෝත්පාදක නාට්‍යයකි. වොලීස් වෙසක් නාට්‍යයේ ගීත වික්ටර් රත්නායක, අතුල සෝමසිරි, ටී.එම්. ජයරත්න යන ශිල්පීන් ද ගායනා කර තිබිණි. සුසිලා කෝට්ටේගොඩ වැනි දක්ෂ රංගන ශිල්පිනීන් ද බිහිවූයේ දෙහිවල වොලීස් නාට්‍යයෙනි.

මෑත කාලයේ තරම් වෙසක් (දන්සල්) ඉස්සර තිබුණේ නැත. තිබුණු ඒවාට යන්නට ද බොහෝ දෙනා පැකිළුණේ තරමක ලජ්ජාව නිසයි. සුඛෝපභෝගී වාහනවලින් බසින බොහෝ දෙනා දැන් නම් දන්සල් පෝලිම්වල හිඳිනු පෙනේ. තම නිවෙස් වලින් ඒකාකාරී ආහාර ගත් බොහෝ අය පැයකට වඩා දන්සල් පෝලිමේ ලතවී, දන්සලේ අඹ මාළුවත් පරිප්පු සහ හාල්මැස්සන් සමඟ දෙන බතත් රස විඳගන්නේ ආසාවෙනි. දැන් කාලයේ දන්සල් ළඟ වාහන තදබදය ඇත්තේ බොහෝ සුඛෝපභෝගී කාර් රථ ඒ අසල නතර කරන නිසාමය. බත්වලින් ඔබ්බට ගොස් අයිස්ක්‍රීම්, රොටී, මඤ්ඤොක්කා, නූඩ්ල්ස්, අයිස්ක්‍රීම් දන්සල් ද මෑතකදී ජනප්‍රිය විය. පසුගිය වසර කිහිපයේ දී කොණ්ඩෙ කපන දන්සලුත්, ඩේටා දන්සලුත් වෙසක් දන්සල්වලට එකතු විය.

දන්සලක් කියා සිතා වැරදි හෝටලයකින් කෑම කෑ ගැමියාගේ සහ ගමහාමිනේගේ විරිඳුව එකල ගුවන්විදුලියේ ප්‍රචාරය වූ ජනප්‍රිය ගීයක් විය. දන්සලකින් එළියට පැන්න කොලුගැටයෙක් කතා කළ නිසා ගැමියා, ගමහාමිනේගේ විරෝධය මැද ඇතුළට ගොස් කෑම කයි.

“කුකුළු මස් ද බිත්තර සහ මාළු බැදපුවා ගෙනත් තියපු ඒවා තැටිය ඔක්කොම කෑවා” ගැමියාට දෙලොව රත්වන්නේ හෝටල් හිමියා සල්ලි ඉල්ලූ විටය.

“ඒයි ගණන්කාරය, උඹ මේ ටික අහපන්. අතේ තියෙන සල්ලි එක්ක හවඩිය දීපන්” ගැමියාට සිදුවන්නේ ගෙදර යනතුරු හාමිනේගෙන් බැණුම් අසන්නටය.

“මස් කෑවට පෝය දවසෙ තොට පලදුන්නා කියමින් හාමිනේ ගෙදර යන තෙක් බැන්නා”

දැන් කාලයේ තොරණවල තොරණේ විස්තරය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩි කාලයක් ගන්නේ කවි කියමින් ආධාර එකතු කරන්නටය. සමහර කවි ගායනා කරන්නේ ගීතවල තනුවලටය. වෙසක් උත්සවය වානිජකරණය ලක් වූ සැටි ජනක් ප්‍රේමලාල්ගේ “අබුද්දස්ස කෝලම” නාට්‍යයෙන් වඩාත් හොඳින් නිරූපණය වූයේය. එම නාට්‍යයේ පින්කැටය, තොරණට වඩා උසට පෙන්නුම් කිරීමෙන් ඒ බව සංකේතවත් වේ. ශත විසිපහක් රැගෙන ආ ඒ.ජේ. ඇලිස්නෝනාට කවියා බැණ වදී. 
“ඒ.ජේ. ඇලිස්නෝනා අල්ලපු වත්තේ සත විසිපහක් ගහගෙන ආවයි..” 

එළිසමය රකින්නට නොදී සැවොම ඔහුගේ කට වසා දමයි. “ඉනේ, ඉනේ”

රෑ වෙද්දී එතැන බුදු දහමට කොහෙත්ම සම්බන්ධයක් නැති ඔලුබක්කෝ නැටුම පටන් ගනී. දන්නෝ බුදුන්ගේ ගී තාලයට, “ඇරපිය ඇරපිය ලුසියා දොර” ගීතය ගායනා වේ.

අපි ආසාවෙන් තැනූ අටපට්ටම ද දැන් වානිජකරණය වී හමාරය. කාඩ්බෝඩ් පැති සතරක් සකස්කොට ස්ටේප්ලර් කටු ගසා අමුණන අටපට්ටම් කාලයක පටන් වෙළෙඳපොළට පැමිණේ. ඉස්සර මෙන් විවේකීව කාලය වැයකොට ඉවසිල්ලෙන් කූඩු තැනීමක් බොහෝ නාගරික බෞද්ධයෝ නොකරති. ඒ වෙනුවට නිවෙන පත්තුවෙන LD බල්බ වැලක් අටවා (ෂේප්) වෙති. අප මෙන් මෝටරයට බුදුරැස් මාලාව අමුණා සල් උයන් තනන්නට වෙහෙසෙන දරුවන් දැන් නැති තරම්ය.

මෙවර තැන් තැන්වල වෙසක් සිරි නරඹමින් වීදි පුරා යන්නට බොහෝ අය බිය වෙති. එහෙත් ඉස්සර කළාක් මෙන් විවේකීව කූඩු තනා සිත පහන් කරගෙන ඒවා දල්වා සිතෙන් දොම්නස දුරැකරගෙන හෙට දිනයට උපේක්ෂාවෙන් මුහුණ දීම වඩාත් උචිතය.

 සමන් පුෂ්ප ලියනගේ   

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30