2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

ලෝක ළමා දිනයේ උදලු පහර කෑ සෝපාක

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 207

හිස පැලී තුවාල සහිතය. නාසය කැඩී ඉදිමී ඇත. පිට සහ තට්ටම්වල පිළිස්සුම් තුවාලය. අත් කකුල් බිඳී ගොස්ය. සිහියක් පතක් නැති දරුවාගේ කට ඇද වී මුහුණ විරූපී ස්වරූපයකි. අසාධ්‍ය තත්ත්වයේ පසු වූ මේ අසරණ දරුවා ගෙදර දොර මුල්ලේ රඳවා සිටියදී ගම්පොල පොලිස් බුද්ධි අංශ නිලධාරීන් විසින් සොයාගෙන තිබුණේ ලෝක ළමා දිනය උදාවූ 1 වැනිදා පෙරවරුවේදීය.

පහර දී පුළුස්සා තුවාල සිදුකර දසවද දෙමින් නිවෙසක රඳවා සිටින දොළොස් හැවිරිදි පිරිමි දරුවකු පිළිබඳ තොරතුරු ගලහ පොලිස්ථානය වෙත වාර්තා වීමත් සමඟ ක්‍රියාත්මක වූ නිලධාරීන් දරැවා වහාම රෝහල් ගතකරන්නට ගත් පියවර හේතුවෙන් විශාල විනාශයක් වැළකී ගියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 11 වැනිදා ගලහා ප්‍රදේශයේ පවත්වන්නට නියමිත රුක්රෝපණ වැඩසටහනකට සහභාගී වීමට නියමිතව සිටියේය. ඊට පෙර ප්‍රදේශය භාර ගම්පොළ පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට නියම වූයෙන් ඔවුහු අදාළ රාජකාරියේ නිරතවෙමින් සිටියහ. ඒ අතරතුර ගලහ, දෙල්තොට, මැදකැකිල්ල ප්‍රදේශයේ නිවෙසක් තුළින් ඇසුණු කෙඳිරිලි ශබ්දයක් සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමේදී අසාධ්‍ය තත්ත්වයේ පසු වූ දරුවා සොයා ගැනීමට හැකිවී ඇත.

මැදකැකිල්ල ග්‍රාම නිලධාරී කාර්යාලය මාර්ගය අසලය. ඊට මීටර් 10ක් පමණ ඈතින් පිහිටි නිවෙසක් තුළින් වේදනා බර කෙඳිරි හඬක් ඇසී තිබුණි. සැක සහිත නිවෙස වෙත ගලහා පොලිස්ථානයේ නිලධාරීන් පැමිණ එහි දොර විවෘත කරවා බැලීමේදී අඩි 8x6 ප්‍රමාණයේ අඳුරු කාමරයක දොර මුල්ලේ ළමයකු සිටිනු දැක ඇත. දින ගණනාවකින් නිසි ආහාරයක් නොලද දරුවාට නැගීසිටීමට හැකියාවක් තිබී නැත. දුටු පමණින් දරුවාගේ හිස පැලුණු තුවාල සහිත විය. නාසය කැඩී ඉදිමී තිබුණි. පිට සහ තට්ටම්වල පිළිස්සීම් තුවාලය. අත් කකුල් කැඩී බිඳී ගොස් ප්‍රතිකාර නොලබාම යළිත් සුවවී ගොසිනි. දෑත් දෙපාවල තුවාල සහිතය. විශාල දැව කඳක අඩි ½ ක පමණ කොට දෙකක් දරුවාගේ දෙපා යට වනසේ රඳවා තිබුණේ අපහසුවෙන් හෝ ඔහු පිටවී යාම වළක්වාලීමටය. දරුවා මෙපමණ අපහසුතාවයන් විඳදරා සිට ඇත්තේ දවසක් දෙකක් පමණක් නොව මාසයකට අධික කාලයක සිටය. එසේම විවිධාකාර කායික හා මානසික අඩම්තේට්ටම් සිදුව ඇත්තේ කාලයක සිටය.

දැඩි වේදනාවකින් කෙඳිරිලි හඬ නගමින් සිටි දරුවා සොයාගන්න විටත් එම නිවෙසේ වෙනත් කිසිවකු සිටියේ නැත. දරුවා රඳවා සිටි නිවෙස ඔහුගේ වැඩිමහල් සහෝදරයාට අයත්ය. ඔහුගේ විවාහක බිරිය හා දරු දෙදෙනා සමඟ එම නිවසේ පදිංචිව සිට ඇති අතර නිවෙස පිහිටා තිබුණේ බිරියගේ ගම්පළාතේය. බිරියගේ සොහොයුරා වන තරුණයකුද බොහෝ අවස්ථාවලදී මෙම නිවසේ නැවතී සිට ඇති බව වාර්තා විය.

ඔවුන් තිදෙනාම එක්ව මෙම දොළොස් හැවිරිදි දරුවාට කායිකව හිරිහැර කර තිබෙන බවත් එහිදී උදැල්ල, පිහිය සහ විසිකැත්ත උපයෝගී කොටගෙන පහර දී ඇති බවත් ඒවායෙන් තුවාල ලබා සිටියදී විටෙක පුළුස්සා ඇති බවද පවසා තිබුණි. කුසගින්නට සුදුසු ආහාර හෝ නොලබා සිටි දරුවා නිවෙසින් පලායාදෝ කියන සැකයට සිරුර මත කොට පටවා තැබූ බවද කියා ඇත.

සැණෙකින් ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් දරුවා ගලහා ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන්නට පියවර ගෙන තිබූ අතර පසුදින වැඩිදුර ප්‍රථිකාර සඳහා පේරාදෙණිය ළමා රෝහල වෙත මාරු කර යවනු ලැබීය. දරුවාට සුදුසු ආහාර නොමැති කමින් සිරුර දුර්වල තත්ත්වයේ පැවති බවත් අතට අසුවන ඕනෑම දෙයක් ආහාරයට ගන්නට තරම් දරුවා කුසගින්නේ පෙළී ඇති බවත් කියති. එසේ යමක් ආහාරයට ගන්නා අවස්ථාවකදී පවා දරුවාගේ අයියා, නෑනා සහ මස්සිනා යන අය විසින් පහර දී ඇතැයිද කියති. මෙතරම් ශාරීරික හා මානසික වශයෙන් පීඩා වින්ද දරුවකු මැදකැල්ල ග්‍රාමසේවා නිලධාරි කාර්යාලය අසල නිවසේ සිට ඇති බව ප්‍රදේශයේ කිසිවකුත් දැනගෙන නොසිටීම විස්මයට කාරණයකි.

මෙම දරුවාගේ උපන්ගම කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේය. ඔහුගේ පියා අතුරුදන්ව ඇත්තේ මීට වසර කීපයකට පෙරය. එදා පටන් සිය මව හා වැඩිමහල් සොහොයුරා සමඟ වාසය කර ඇති අතර 24 හැවිරිදි සොහොයුරා විවාහ ගිවිසගෙන ඇත්තේ වසර කීපයකට ඉහතදීය. දැඩි ආර්ථික අපහසුතාවලින් පෙළෙමින් සිටි දරුවාගේ මව විදෙස් ගතවී තිබුණේ ඉන් පසුවය. 

පාසලේ 3 වැනි පංතියේ අධ්‍යාපනය ලබමින් සිටි දරුවා සිය වැඩිමහල් පුත්‍රයාට බාරදී විදෙස් ගත වූ මවටත් නොකියා වැඩිමහල් පුත්‍රයා සිය බිරියගේ ගමේ පදිංචියට ගියේය. ඒ අනුව ගලහ ප්‍රදේශයට ගියදාපටන් දොළොස් හැවිරිදි දරුවාට පාසල් අධ්‍යාපනය ලබන්නට අවස්ථාව නොවීය. එතැන් පටන් මේ දක්වා වසරකට ආසන්න කාලයක් දරුවා නොවිඳිනා දුක් විඳ ඇති බවට සාධක අපමණය. දරුණු පහර දීමට, පිළිස්සීම්වලට ලක්වූ ඔහුගේ හඬ අසන්නට කිසිවකුත් ඉදිරිපත් නොවූ වග පැහැදිලිය. වාර්තා වූ අයුරෙන් දරුවාට වැසිකිළි යාමට අවශ්‍ය වූ විටෙක නිවෙසේ අයෙක් විසින් ඇවිද ගැනීමට නොහැකි දරුවා අතකින් හෝ කකුලකින් ඇදගෙන ගිය බව කියති. පොලිස් ප්‍රශ්න කිරීමේදී දරුවාගේ සොහොයුරා පවසා ඇත්තේ “මෙයා කියන දේ අහන්නේ නෑ... කලිසමේ ජරා කරගන්නවා. ළඟ ගෙදරකින් හොරකමක් කරලා තියෙනවා. ඒ නිසයි මෙහෙම සලකන්නේ.” යනුවෙනි.

දරුවාට නොසලකා හැරීම නිසා ඔහුට මේ තත්ත්වය උදාවී ඇතැයි පවසන පොලිසිය විසින් සිද්ධියට සැකපිට දරුවාගේ සොහොයුරා, බිරිය සහ මස්සිනා අත්අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ. ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය යෙදී තිබුණු ඉකුත් පළමුවැනිදා එකම පවුලේ ළමා වයසේ සොහොයුරා හා ඔහුගේ වැඩිහිටි සොහොයුරා හා ඥාතීන් අතර වාර්තා වූ මේ අර්බුදය මහත් අවාසනාවන්ත සිදුවීමකි.

ගම්පොල කොට්ඨාස භාර පොලිස් අධිකාරි නුවන් මෙන්ඩිස්, සහකාර පොලිස් අධිකාරීවරුන් වන ජගත් ඥානසේන, චන්ද්‍රසේන බණ්ඩාර, ගලහා වැඩබලන පොලිස් ස්ථානධිපති පොලිස් පරීක්ෂක කළුආරච්චි, පොලිස් පරීක්ෂක දමයන්ති රණසිංහ, උ.පො.පරීක්ෂක ධනපාල, පො.සැ. 63128 වීරරත්න, 28640 මහින්ද, 21413 බණ්ඩාර, 65650 චන්දන, 48831 අනුර සහ කාන්තා පොලිස් කොස්තාපල් අජන්තා යන නිලධාරීහු පරීක්ෂණ සිදුකළහ.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර