2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා

යළි ඉපැදුණු පෙගාසස් රීෆ් හෝටලය

 2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 148


ශ්‍රී ලංකාවේ පළමු තරු පහේ හෝටලය ලෙස සැළකෙන වත්තල පෙගාසස් රීෆ් හෝටලය පසුගියදා නව මුහුණුවරකින් යුතුව ආරම්භ වුණා. City resort on the beach යන තේමාවින් මෙසේ අලුත් වූයේ, නව පෙනුම සහිත ඩියුලක්ස් පන්නයේ කාමර 81ක් හා ජැකුසි ඇතුළු සුඛෝපභෝගී පහසුකම් සහිත Suits පන්නයේ කාමර 4ක් ද සමඟිනි. 

කාමර සියල්ලම නවීන ගෘහභාණ්ඩවලින් අලංකාර කර ඇති අතර ඇඳ පුටු ආදිය මෙන්ම බුමුතුරුණු, පින්තූර සැරසිලි, බිත්ති සැරසිලි ආදී බොහෝමයක් මෙම නවීකරණ ක්‍රියාවලියට එකතු වී තිබේ. 

සෑම ඉරිදාවකම එහි සූදානම් වන සන්ඩේ බුෆේ හේතුවෙන් විශාල ආකර්ෂණයක් හෝටලය වෙත හිමිවන අතර අලුතින් The Fishery නමින් මුහුදු ආහාර පිළිගැන්වෙන අවන්හලක් ද ඉදිකර තිබේ. එම අවන්හලේ පිහිටීම ඇත්තේ ද අපූරු අන්දමකිනි. එනම්, කොළඹ දෙසට වන මුහුද හා කොළඹ වරාය දෙසට මුහුණලාය. 

පෙගාසස් රීෆ් වෙතින් පිරිනැමෙන සෙසු නවීන පහසුකම් අතර කෘතීම ටෙනිස් ක්‍රීඩාපිටි දෙක, ස්කොෂ් පිටිය, නවීන ව්‍යායාම් මධ්‍යස්ථානය ඇතුළු වෙනත් ක්‍රීඩා හා විනෝදාස්වාද කටයුතු ද කැපී පෙනේ. 

විශේෂයෙන්ම උත්සව ආදිය වෙනුවෙන් පෙගාසස් රීෆ් ඉහළ අවධානයකට ලක්ව තිබේ. 500කට ආසන්න ප්‍රමාණයක් එකවර සහභාගී විය හැකි උත්සව ශාලා ‍මෙන්ම ව්‍යාපාරික හමුවීම් සඳහා ද උචිත ස්ථානවලින් හෝටලය යුක්තය. එමෙන්ම එළිමහන් සාද උත්සව ආදිය ද වෙනුවෙන් පෙගාසස් රීෆ් සූදානමින් සිටී.

සනත් වීරසූරිය
සේයාරූ I මාලක වැලිගොඩපොළ