2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

“ටයිම්” වසරේ පුද්ගලයා ජමාල් කෂෝගි ඇතුළු මාධ්‍යවේදීන් කණ්ඩායමක්

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 86

ලෝපතල ටයිම් සඟරාව සිය වසරේ පුද්ගලයා (person of the year) ලෙස 2018 වසර සඳහා තනි පුද්ගලයකු නොව මාධ්‍යවේදීන් කණ්ඩායමක්ම නම්කර තිබේ. එම මාධ්‍යවේදීන් කණ්ඩායම සඟරාව නම්කර තිබෙන්නේ රැකවල්ලු හැටියටය. සත්‍ය වෙනුවෙන් නොබියව ඉදිරියට ගොස් සටන් කිරීම ඔවුන්ගේ විශේෂත්වය ලෙස ටයිම් සඟරාව විසින් සඳහන් කර ඇත. 

රැකවල්ලු හෙවත් ආරක්ෂකයින් යන අරුත දෙන The Guardians නමින් හැඳින්වූ මෙම මාධ්‍යවේදීන්ගේ පින්තූරවලින් ටයිම් සඟරාව සිය කවර හතරක් වරින්වර සරසා තිබුණි. තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ සෞදි කොන්සාල් කාර්යාලයේදී ඝාතනය වූ ඇමෙරිකානු “වොෂින්ටන් පොස්ට්” පුවත්පතේ මාධ්‍යවේදී ජමාල් කෂෝගි වෙනුවෙන් එක් කවරයක් ද, අමෙරිකා එක්සත් ජනපදයේ “ද කැපිටල්” පුවත්පතේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් තවත් කවරයක්ද, මියන්මාර රෝහින්ග්‍යා සංහාරය වෙනුවෙන් පෙනී සිට සිරගතව සිටින “රොයිටර්” මාධ්‍යවේදීන් දෙදෙනාගේ පින්තූර රැගෙන සිටින ඔවුන්ගේ බිරින්දෑවරු දෙදෙනාගේ ජායාරෑපයක් සහිතව එක් කවරයක් හා පිලිපීනයේ “රැෆලර්” වෙබ් අඩවියේ ප්‍රධානී, පිලිපීන මාධ්‍යවේදිනී මරියා රෙස්සා වෙනුවෙන් තවත් කවරයක්ද ලෙස ටයිම් සඟරාව සිය කවර හතරක් වරින් වර වෙන්කර තිබුණි.

ටයිම් සඟරාව සෑම වසරකම සිය වසරේ මිනිසා ලෙස කාන්තාවක් හෝ පුරුෂයෙක් නම් කිරීම ආරම්භ කර ඇත්තේ 1927 වසරේ සිටයි. 1999 වසර වනතුරු එය නම්කර තිබෙන්නේ වසරේ මිනිසා “Man of the Year” හෝ වසරේ ගැහැනිය “Woman of the Year” ලෙසටය. එම වසරෙන් පසුව වසරේ පුද්ගලයා “Person of the Year” නමින් එය වෙනසකට ලක්කර ඇත. මෙම නම් කිරීමේ අරමුණ වන්නේ යහපත් හෝ අයහපත් ආකාරයෙන් ලෝකයට බලපෑම් කළ වසරේ පුද්ගලයා හෝ කණ්ඩායම නම් කිරීමයි. ඒ අනුව වසරේ පුද්ගලයා ලෙස කණ්ඩායම් සඳහාද මෙම නාමය පිරිනමා තිබේ. කණ්ඩායම් සඳහා එය  පිරිනැමීම ආරම්භ වන්නේ 1937 වසරේ සිටය.