2017 ජනවාරි 28 වන සෙනසුරාදා

ලක්ෂ 30කට ළමයි පාසලට දාන්න දැල එලූ ගූරා

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 85

උපදින්නටත් පෙරාතුව ළමයින්ට ජනප්‍රිය පාසල් සෙවීම රටේ නව ප්‍රවණතාවයක් වී තිබේ. අධ්‍යාපනයේ පවතින තරගකාරීත්වය අභියස ජනප්‍රිය පාසලක් ලබාගැනීම වෙනුවෙන් අත දිගහැර වියදම් කරන්නට ඇතැම් මව්පියෝ දෙවරක් නොසිතති. ඔවුන්ට නියමිත ක්‍රමවේදයට පිටින් හෝ අරමුණ ඉටුවේනම් කම් නැත. එම විශ්වාසයෙන් ලක්ෂ ගණන් වැයකරන්නට ඔවුහු මැලි නොවෙති.

මේ වසරේ නව පාසල් වාරය අරම්භයත් සමඟම පළමු වසරට නවක සිසුන් ඇතුළත් කිරීම සිදුවූයේ උත්සවාකාරයෙනි. එසේ පළමු පන්තියට දරුවකු ඇතුළත් කිරීමට ඇත්තේ අධ්‍යාපනය හැදෑරීමටත් වඩා තරගයකි. වසරෙන් වසර මේ අවස්ථාව සඳහා ඇති ඉල්ලුමත් සමඟ උද්ගත වී ඇත්තේ දැඩි තරගයකි. ඉන් ප්‍රයෝජන ගැනීමට බලා සිටින සමහරැ පාසලට ළමුන් ඇතුළත් කිරීම ජාවාරමක් බවට පත්කොටගෙන සිටිති. ඒ අතරට විදුහල්පතිවරැන්, ගුරුවරුන්, ආදිශිෂ්‍ය සංගම් නිලධාරීන් පමණක් නොව දේශපාලනඥයන්ද සම්බන්ධ වූ බවට පැමිණිලි රාශියකි. පාසලට ඇතුළත් වීමට සිටින දරුවන්ගේ මව්පියන්ගෙන් එක් එක් ප්‍රමාණයෙන් මුදල් ලබාගැනීම මොවුන්ට එරෙහි චෝදනාය.
මේ ආකාරයට අල්ලස් ලබාගත් සහ අවශ්‍යතාවය ඉටුකරදෙන බව පවසා මුදල් ලබාගෙන වංචා කළ රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් වැඩ තහනමට ලක්වූ අවස්ථා ගණනාවකි. එපමණක් නොව එම චෝදනාව හේතුවෙන් මහඋළුගෙදර තපින්නට සිදුවූ අයද වෙති.

රැකියාව වශයෙන් ගුරු වෘත්තියේ නිරතව සිටින අතරතුර මේ ජාවාරමේ රස හඳුනාගත් ගුරුවරයකු බියෙන් සැකයෙන් තොරව දරුවන් පාසලට ඇතුළත්කරදෙන බවට පවසා ලක්ෂ ගණන් මුදල් වංචා කිරීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විය. ඔහුගේ ජාවාරමට හසුවී තිබුණේ එක් පුද්ගලයකු පමණක් නොවේ. මේ ආකාරයට මනා විශ්වාසයක් ගොඩනංවාගෙන දරුවන් පස්දෙනකුගේ මව්පියන් රවටා රුපියල් ලක්ෂ තිහකට අධික මුදලක් වංචා කළ බව කියන මේ පාසල් ගුරුවරයා පිළිබඳව තොරතුරු අනාවරණය කරගන්නට කොළඹ වංචා විමර්ශන කොට්ඨාසය සමත්ව තිබේ.

කොළඹ කොටහේන ප්‍රදේශයට නුදුරුව පදිංචිව සිටි දරුවන් පස්දෙනෙක් 2017 වසරේ පාසලකට ඇතුළත් වීමට බලා සිටියහ. මේ ළමයින් පස්දෙනාගේම මව්පියන් දැඩි උත්සාහයක් ගෙන තිබුණේ සිය දරුවා කොටහේන ප්‍රදේශයේ සුප්‍රසිද්ධ පාසලකට ඇතුළත් කිරීමටය. කාලයක සිට ඔවුන් උත්සාහ ගත්තද ඊට පහසු ක්‍රමයක් හමුවී නොතිබිණි. එහෙත් යම් හැඳුනුම්කමක් මත ඔවුන්ට එම විද්‍යාලයේම දමිළ ජාතික ගුරුවරයකු හැඳින ගැනීමට අවස්ථාව ලැබී තිබුණේ හිතවතුන්ගේ මාර්ගයෙනි.

මව්පියන්ට ලද තොරතුරු අනුව දරුවා පාසලට ඇතුළත් කිරීමට ගුරුවරයාට යම් සන්තෝසමක් ලබාදිය යුතු විය. ඒ හැර පාසලට ගමන් කිරීම පවා අවශ්‍ය නොවන අතර අත්‍යවශ්‍ය සියලු ලිපි ලේඛන සැකසීම මේ ගුරුවරයා විසින්ම සිදුකරන බවද දැනගන්නට ලැබිණ. මේ කරුණු අනුව පිටස්තර ස්ථානයකදී අදාළ ගුරුභවතා හමුවූ මව්පියන් පිරිස ඔහුට ඇවසි මුදල් රුපියල් ලක්ෂ 5, 6 වශයෙන් ලබාදී ඇත. 

මෙම මුදල් ලබාදීම සිදුව තිබුණේ ඉකුත් දෙසැම්බර් මාසයේ මුල දිනකදීය. කල්ගතවෙමින් තිබියදී අදාළ විද්‍යාලයේ පළමු වසරට ළමුන් ඇතුළත් කරගන්නා දිනය උදාවිය. මෙම දිනය මව්පියන්ට දන්වා තිබුණේද ඉහත කී ගුරැවරයා විසින්මය.
අදාළ දිනයේ දරුවන් සූදානම් කරගත් පිරිස උදෑසනම පාසල වෙත ගොස් විදුහල්පතිවරයා මුණගැසී ඇත. තමුන්ට අයත් ලිපිලේඛනද රුගෙන ගිය පිරිසට විදුහල්පතිවරයා පවසා ඇත්තේ මේ දරැවන් පස්දෙනා විද්‍යාලයට බඳවාගෙන නොමැති බවය. එහිදී පුදුමයට පත් මව්පියන් කරැණු කියමින් අදාළ මුදල් ගෙවීම් සහ රිසිට් පත් මෙන්ම දමිළ ජාතික ගුරුවරයා පිළිබඳවද තොරතුරු දන්වා ඇත.

කරුණු අවබෝධ කොටගත් විදුහල්පතිවරයා සිදුව ඇති කාරණය පැහැදිලි කර තිබුණේ සැකකාර ගුරුවරයාද එම ස්ථානයේ සිටියදීය. පසුව එම පිරිස සැකකාර පුද්ගලයා කැටුව ගොස් කොළඹ වංචා විමර්ශන කොට්ඨාසයේ පැමිණිල්ලක් සටහන් කරන්නට කටයුතු කළහ. ඒ අනුව මුදල් වංචාවට හසුවූ දරුවන්ගේ මව්පියන් පිරිස එම පොලිස් කොට්ඨාසයේ පෙනී සිටි අතර කිසිදු සැකයක් හෝ බියකින් තොරව සැකකාර ගුරුවරයාද පැමිණ සිටියේය. පැමිණිල්ලෙන් අනතුරුව ප්‍රකාශයක් ලබාදුන් සැකකාර ගුරුවරයා “මම මේ අයගෙන් සල්ලි ගත්තා... ඒවාට රිසිට් දුන්නා. ඒ සල්ලි මගේ ළඟ නෑ. සේරම ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරියෙකුට බාර දුන්නා.* යැයි පවසන්නට විය.
මේ ආකාරයට ඔවුන් රවටා මොහු ලබාගෙන තිබූ සමස්ත මුදල් ප්‍රමාණය රැපියල් ලක්ෂ 30කි. ඒ සඳහා නිකුත් කළ රිසිට් පත්‍ර කීපයක්ද පොලීසිය වෙත ලබා දුන්නේය. සැකකරුගේ ප්‍රකාශය මත ආදී ශිෂ්‍ය සංගමයට ලබා දුන් මුදල් පිළිබඳව විමසන්නට ආදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී නිලධාරීන්ද කැඳවූ පොලීසිය අනාවරණය කොට ගත්තේ එවැනි මුදලක් තමන්ට ලැබී නොමැති බවත් අදාළ රිසිට් පත්‍ර ව්‍යාජ ඒවා බවත්ය. මේ අනුව සැකකාර ගුරුවරයා සිදුකළ වංචාව හෙළිදරව් විය. තනිවම සිදුකළ වංචාව යටගසන්නට ඔහු එකිනෙකාට මුසා බස් පවසා තිබිණ.

යාපනය නල්ලූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු වසර දෙකක් එහි පාසලක සේවය කොට ඇති අතර, ඉන් පසුව අදාළ සිදුවීම් වාර්තා වනතෙක් වසර 25ක් සේවය කොට තිබුණේ කොටහේන එකී විද්‍යාලයේය. එහි ගණිතය ගුරුවරයකු වශයෙන් සේවය කළ ඔහු හොඳින් දන්නා කාරණාවක් වී තිබුණේ එම පාසලට ඇතුළත් කරගන්නා හින්දු ආගමික දරැවන්ගේ ප්‍රතිශතය 1 ක් බවය. මේ බව අඟවමින් “දෙන්නකුට විතරයි අවස්ථාව තියෙන්නේ... ඉක්මනට සල්ලි දුන්නොත් ළමයා දාගන්න පුළුවන්. යනුවෙන් පවසා අදාළ වංචාව සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 20 දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 5ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට නියෝග කෙරිණි.
සැකකාර පුද්ගලයාගේ බැංකු ගිණුම් පරීක්ෂාවට ලක්කළ පොලීසිය පවසන්නේ එවැනි මුදලක් ගිණුම්ගත කර හෝ නැති බවය. වංචාවට හසුවූ දරුවන්ගේ මව්පියන් ළමයින් පාසලට ඇතුළත් කිරීමේ අරමුණෙන් කිසිම දිනෙක පාසලට නොගිය බවද ගනුදෙනු සියල්ල පාසලින් පිටතදී සිදුකළ බවද කියයි. මේ අනුව පොලීසිය පවසන්නේ නිසි ක්‍රමවේදයට පිටින් සිදුකළ ක්‍රියාව වංචාවක් බව දැන දැනම මුදල් ලබාදීම මව්පියන් අතින් සිදුවූ බරපතළ වරදක් බවය.
මෙවැනි වැරදි ක්‍රියා හමුවේ නිතිපතා මෙම ජාවාරම සිදුවන බව පැහැදිලිය. එය මැඩලීම සඳහා මව්පියවරුන්ගේ වැරදි ක්‍රියා කලාපයන් නවතාලීම අවශ්‍යය. නොඑසේනම් ඉදිරියේදී මෙවැනි කූට ජාවාරම්කරුවන්ට ලක්ෂ ගණනික් මුදල් ලබාදීම් අවසන් නොවනු ඇත. නිවැරදි ක්‍රිමවේදයට නීත්‍යානුකූල පිළිවෙතට කටයුතු කරන්නේනම් මෙවැනි වංචනික ගැටලු ඉස්මතු නොවනු ඇත.
කොළඹ වංචා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න, කාන්තා සහකාර පොලිස් අධිකාරි රේණුකා ජයසූරිය, එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඕ.පී. අමරබන්දු, පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත, පොලිස් කොස්තාපල් 81945 ගුණතිලක යන නිලධාරීහු විමර්ශන සිදුකරති.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර