2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

ZIMBABWE ඉල්මහේ දස දින පෙරළිය

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 239

දශක තුනකට වැඩි කාලයක් බලලෝභී නායකයෙක් දුටු ඒකාධිපති සිහිනයක් බිඳ වැටෙන්නට ගතවූයේ දින 10කි. මේ දින 10 සිම්බාබ්වේ රටේ ඉතිහාසය අලුතෙන් ලියන්නට සමත් වී තිබේ. ලෝකයේ මේ වනවිට සිටින වයෝවෘද්ධතම රාජ්‍ය නායකයා ලෙස සැලකෙන රොබට් මුගාබේගේ වසර 37කට ආසන්න රාජ්‍ය කාලය දැන් අවසන් වී තිබේ. තමන්ගේම මිතුරන්ගේ තුවක්කු ඔහු දෙසට එල්ල වී හමාරය. තමන්ගේම නිවසේ සිරකරුවකු බවට පත්වූ ඔහුට සිදුවූයේ මුගාබේ පවුල් අධිරාජ්‍යයක් පවත්වාගෙන යාමට තිබූ සිහිනය අත්හරින්නටය. මේ සිහිනයේ ප්‍රධාන හවුල්කාරිය වූ ඔහුගේ බිරිය ග්‍රේස් මුගාබේ මේ වනවිට ආගිය අතක් නැත.

පසුගිය නොවැම්බර් 6 වැනිදා මුගාබේ සිය උප ජනාධිපතිවරයා වන එමර්සන් නන්ගග්වා තනතුරෙන් පහකළේ දේශද්‍රෝහියකු ලෙස හංවඩු ගසමිනි. එතැන් සිට රට තුළ කැළඹීමක් ඇතිවිය. ජනාධිපති බිරිය ග්‍රේස් මුගාබේ උප ජනාධිපති පදවියට පත්කළ යුතු බවට කියමින් වීදි බැස තිබුණේ 40 පරපුර ලෙස තමන් හඳුන්වාගත් පක්ෂයේ තරුණ පිරිසය. ඔවුන්ට ග්‍රේස් මුගාබේගේ නායකත්වයෙන් යුත් කාන්තා ලීගයද සහාය දුන්නේය. නෙරපා දැමූ හිටපු ජනාධිපතිවරයා හරාරේ අගනුවරින් අතුරුදන්ව ගිය අතර මුගාබේ හිතවත් හමුදානායක ජනරාල් කොන්ස්මැන්ටිනෝ චිවැන්ගා උප ජනාධිපති ඉවත් කිරීම ගැනත් ග්‍රේස් බලයට ගෙනඒමේ ප්‍රයත්නය ගැනත් රට තුළ ඇති විරෝධය ගැන අනතුරු අඟවා තිබුණි. හමුදාවට දේශපාලන බල තුලනය සඳහා අත පෙවීමට වන බවටය. නමුත් 2018 වනතුරු තමන් ජනාධිපතිවරයා බව කී මුගාබේ ග්‍රේස් බලයට ගෙන ඒමේ ප්‍රයත්නය අත්හැරියේ නැත. එහි ප්‍රතිඵලය වූයේ උප ජනාධිපති ඉවත්කර දස දිනකට පසු හමුදාව මුගාබේ සිය මන්දිරයේම සිරගත කිරීමය. ග්‍රේස් මේ වනවිටත් ආගිය අතක් නැත. ඇය නැමීබියාවට පලාගිය බවට ආරංචි පැතිර තිබේ. රජයේ මාධ්‍ය ඇතුළු කාර්යාල ගොඩනැගිලිද හරාරේ අගනුවරද හමුදාවට අතට පත්ව තිබේ.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා 2018 වසරේ ස්ථීර නව ජනාධිපතිවරයකු පත්කරනතුරු තාවකාලික අන්තර්වාර රජයක් පිහිටුවීම සඳහා සාකච්ඡා පැවැත්විණි. හමුදා ප්‍රධානීන්, පූජකවරයකු මෙන්ම දකුණු අප්‍රිකානු සාම නියෝජිතයින් සමග මුගාබේද එයට එක්ව තිබුණි. මෙහිදී අන්තර්වාර පාලන රජයක් පිහිටුවීමට සහ එහි නායකත්වයට හමුදාවට ලැදියාවක් දක්වන බලයෙන් නෙරපූ හිටපු ජනාධිපතිවරයා ගෙන ඒමටත් පසුව ඔහු 2018 ජනාධිපති ධුරයට පත් කිරීමටත් පිඹුරු පත් සැකසෙමින් තිබුණි. වසර 2008 රටේ අගමැතිවරයාව සිටියදී මුගාබේ රටෙන් නෙරුපීමට අසාර්ථක ලෙස කැරලි ගැසූ සහ වත්මන් ආණ්ඩුවේ විපක්ෂ නායකයා වන මොර්ගන් වැන්ගිරායි පිළිකාවට බෙහෙත් ගැනීමට රට ගොස් සිටියේය. දැන් ඔහුද සිය රට පැමිණ තිබේ. ඔහුද හිටපු ජනාධිපතිවරයාට බලය පැවැරීමට පක්ෂ අතර හමුදා අත පෙවීම ව්‍යවස්ථානුකූල නොවන බවට දෝෂාරෝපණයක්ද කර තිබේ. කෙසේ වුවද මුගාබේහට දැන් සිදුව ඇත්තේ වසර 37ක් තිස්සේ නොයෙකුත් උප්පරවැට්ටි යොදමින් රුකගත් බල අධිරාජ්‍යය අත්හැර දැමීමටය. කුමන්ත්‍රණයකින් බලය අල්ලන්නට යනවා යැයි ඉවත්කළ උප ජනාධිපතිවරයා හට බලයට ඒම සඳහා අවස්ථාව සපයා දී ඇත්තේද ඔහුමය. කෙසේ වුවද හමුදාවේ ඉදිරි ක්‍රියාමාර්ග තවමත් අවිනිශ්චිත බව මාධ්‍ය වාර්තා කරයි.

මුගාබේ උපන් වර්ෂ 1924 පෙබරවාරි 21 වනවිට වත්මන් අග නගරය වන හරාරේ එවකට හැඳින්වූයේ සැලිස්බරි ලෙසටය. එහි සිට ඊසාන දිගින් පිහිටි කුටාමා, ඔහුගේ උපන් බිමයි. එවකට සිම්බාබ්වේ හැඳින්වූයේ රොඩේසියාව ලෙසිනි.

විශ්වවිද්‍යාල “ඩිග්රි හතක්”සහිත ගුරුතුමෙකු ලෙස කරළියට එන මුගාබේ තරුණයා වර්ගවාදී සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහි ප්‍රබල ගරිල්ලා විරෝධතාකරුවෙකු හැටියට පතළ වෙයි. 1964 දී අධිරාජ්‍ය පාලකයන් ඔහු වසර 10කට මහ උළුගෙදරට යවන්නේ කඩාකප්පල්කාරී කතාවක් දඩමීමා කර ගනිමිනි. 1974 දී හිරෙන් එළියට එන්නේ රොඩේසියාවේ දේශපාලනය තුළ මහා දෙදරීමක් ඇතිකළ පෙරැළිකාරයෙකි. කලින්ම ඔහු ඝානා ජාතික සැලී හෙයිප්‍රෝන් සමග විවාහ වී සිටි නමුත් ඇය වකුගඩු රෝගයකින් 1992 දී මිය ගියාය.

හිරෙන් නිදහස් වූ මුල් කාලයේදීම අසල්වැසි මොසැම්බික් රාජ්ජයට පලායන මුගාබේ රොඩේසියා නිදහස් අරගලය සඳහා වූ ගරිල්ලා සටන ඇරුඹුවේය. ඔහු නැවත සිය රටට ආවේ 1979 දීය. 1980 දී ඔහු නිදහස් රොඩේසියාව හෙවත් අලුතෙන් නම් කෙරෑ සිම්බාබ්වේ රාජ්ජයේ ප්‍රථම අගමැතිවරයා ලෙස බලයට පත්විය. ඔහුගේ පාලනයේ මුල් යුගයේ රටට කප්රැකක් පහළ වූවාක් බඳු විය. රටපුරා පාසල්, ආරෝග්‍යශාලා, මංමාවත් විවෘත කෙරිණි. නමුත් ඔහුට එරෙහිව ප්‍රධාන දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වූ අතර එය ජාතිකවාදී නිදහස් අරගල නායකයකු වන ජොෂුවා කුමෝගේ ව්‍යාපෘතියකි. එය පසුව ගෝත්‍රික සටනක් ලෙස වර්ධනය වූ අතර 20,000කට අධික ජීවිත ප්‍රමාණයක් බිලිවිය. අන්තිමේදී ජොෂුවාගේ නායකත්වයෙන් යුතු පී.එෆ්. සාෆු පක්ෂය සහ මුගාබේගේ පක්ෂය වන ෂානු - පීඑෆ් අතර සාම සම්මුතියක් 1987 දී අත්සන් තැබුණි. ඒ අනුව එම වර්ෂයේදී අගමැති ධුරය අහෝසි කර දැමූ මුගාබේ රටේ පළමු ජනාධිපතිවරයා බවට පත්විය. එතැන් සිට මහත් ආන්දෝලනයකට ලක්වූ ඒකාධිපති පාලකයකු ලෙස විවිධ හැප්පිලි කුමන්ත්‍රණ මැද ඔහු කටයුතු කර තිබේ. ඔහුගේ වත්මන් බලයේ අහිමිවීමට මූලික වූ චරිතයක් වන ජනාධිපති බිරිය ග්‍රේස් සමග විවාහ වන්නේ 1992දීය. ඇය ජනාධිපති කාර්යාලයේ යතුරු ලේඛිකාවක ලෙස කටයුතු ඇරුඹි තැනැත්තියකි. 96ට පෙර නිහඬ චරිතයක් වූ ඇය ඒ කාලයේ සිම්බාබ්වේ රටේ සහ පිටරට සිය වත්කම් වැඩිදියුණු කරන්නට කටයුතු කළාය. මුගාබේ දැන් සිටින පොහොසතා බවට පත්කළේ ඇයයි.

හොඳ පැෂන්කාරියක හා වියදම්කාරියක ලෙස ප්‍රකට ග්‍රේස් මුගාබේ 2014 දී ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වන්නේ සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් බලෙන් අත්පත් කරගැනීමට යාමත් සමඟය. ඒ සමඟම ඇය පක්ෂයේ කාන්තා ලීගයේ මහ ලේකම් ධුරයටද පත්කරනු ලැබෙයි.

අන්තිමේදී සිම්බාබ්වේ සරසවිය ඇයට ආචාර්ය ධුරයක්ද පිරිනැමුවේ බැරිම තැනය. පක්ෂයේ තරුණ නියෝජනය වන 40 පරපුරේ ආධාරයද 52 හැවිරිදි ඇයට හිමිය. 2014 දී එවකට හිටපු උප ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතා රැලි මාලාවක් මෙහෙයවන ඇය බලය උදුරාගන්නට කුමන්ත්‍රණය කළාය යන චෝදනාව යටතේ ඔහු බලයෙන් පහ කරවීමට තරම් ප්‍රබල වූවාය. මේ විලම්භීත මැද සිය බලය පිළිබඳ වියරුවෙන් මෙන් ක්‍රියා කළ ග්‍රේස් දේශපාලන ඉතිහාසයේ දෙවැනි වතාවටද උප ජනාධිපතිවරයකු නෙරපා දැමීමට ඊයේ පෙරේදා මුගාබේ පෙළඹවීමට සමත්වූවාය. නමුත් හමුදාවේ හිත දිනා සිටි උප ජනාධිපතිවරයා ඉවත් කිරීම දැන් මේ තමන්ටම සින්නක්කර වූ අධිරාජ්‍යයක් ගොඩනගන්නට ගිය ඒකාධිපති යුවළට පාරා වළල්ලක්ව තිබේ.

(මගේ සැමියා ජනාධිපති. මම ජනාධිපති බිරිඳ. මම කාන්තාවක්. ඉතින්, මට උප ජනාධිපති වෙන්න බැරි මොකද? මම සිම්බාබ්වේ රටේ දරුවෙක් නෙමෙයිද?

සිම්බාබ්වේ රාජ්ජයේ ප්‍රථම උප ජනාධිපතිනිය වන්නටත් එතැනින් සදාකාලික ජනාධිපතිවරිය වන්නටත් ග්‍රේස් මුගාබේ සිහින දුටුවේ එලෙස තර්ක ඉදිරිපත් කරමිනි. නමුත් බලයෙන් මත්ව සිටි ඇයට දැන් ඇගේ රටත් අහිමිවූ බව වාර්තා වී තිබේ.

සුගත් පී. කුලතුංගආරච්චි