2017 ජුලි 15 වන සෙනසුරාදා

චීනය අප්‍රිකාවත් අල්ලයි

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 264

සිය පළමු විදේශ යුද කඳවුර ජිබුටි රාජ්ජයේ පිහිටුවන බව චීනය පසුගිය සතියේ ප්‍රකාශ කළේය. එම යුද කඳවුරෙහි රඳවනු ලබන හමුදා භටයන් රැගත් නෞකා පසුගිය අඟහරුවාදා (ජුලි 11) චීනයෙන් ගමන් ආරම්භ කර තිබුණි. චීන බලධාරීන් ප්‍රකාශ කරන ආකාරයට එවැනි යුද කඳවුරක් පිහිටුවනු ලැබීමේ ඉලක්කය බටහිර ආසියාවේ සහ අප්‍රිකාවේ සාමසාධක හමුදාවක් ලෙස කටයුතු කිරීම සහ මානවීය ආධාර මෙහෙයුම් සඳහා උපකාරී වීමයි. 

එසේම එම චීන හමුදාව යුද හමුදා සහයෝගීතා වැඩසටහන්, නාවික හමුදා අභ්‍යාස සහ බේරා ගැනීමේ මෙහෙයුම් සඳහාත් යෙදවීමට නියමිතය. චීනය පසුගිය කාල සීමාව තුළ අප්‍රිකාවේ මහා පරිමාණයෙන් ආයෝජන සිදුකළ අතර එම කලාපයේ යුද හමුදා නූතන තත්ත්වයට ගැළපෙන මට්ටමින් නවීකරණය කිරීමට ද දායක වී ඇත.

කොපමණ භටයන් සංඛ්‍යාවක් ජිබුටි බලා ගමන් ගනිමින් සිටින්නේද යන්න සහ පිහිටවනු ලබන කඳවුරේ මෙහෙයුම් ආරම්භ කෙරෙන්නේ කවදාද යන්න ප්‍රකාශ කර නැත. දෙරට අතර ඇතිකරගත් මිත්‍රත්ව ගිවිසුම් අනුව එම කඳවුර පිහිටුවන බව ඔවුන් කියා තිබේ. අදාළ ඉදිකිරීම් පසුගිය වසරේ ආරම්භ කරනලද බව කලින් වාර්තා කැරිණි.

ජිබුටි කඳවුර චීනය අප්‍රිකානු කලාපයේ ඔවුන්ගේ යුද බලය ස්ථාපිත කර ගැනීමේ සැලැස්මක් වශයෙන් බොහෝ දෙනෙක් දකිති. එසේම ජිබුටි රාජ්‍යය තුළ අමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය සහ ජපානයෙත් යුද කඳවුරු පවත්වා ගෙන යති. 

ජිබුටි අප්‍රිකාවේ අඟ (Horn of Africa) යනුවෙන් නම් කරනු ලැබෙ ඇති කලාපයේ පිහිටි කුඩා රටකි.  එය පිහිටා ඇත්තේ ඉතා කාර්ය බහුල නාවික ගමන් මාර්ගයක් අසලය. එසේම එය දැඩි ගැටුම් බහුල කලාපයක පිහිටි ස්ථාවර රාජ්‍යයකි. 

දැනට අප්‍රිකානු මහාද්වීපයේ බලවත්ම වෙළෙඳ හවුල්කරු වන චීනය එම කලාපයේ යටිතල පහසුකම් ව්‍යාපෘතීන් සඳහා අරමුදල් සහ මිනිස් ශ්‍රමය සපයයි. 

ජිබුටි සහ ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවර යා කෙරෙන දුම්රිය මාර්ගය මෙන්ම ඇන්ගෝලා, නයිජීරියාව, ටැන්සානියා සහ සිම්බාබ්වේ යන රටවල දුම්රිය මාර්ග සඳහාත් චීන ආයෝජන සිදු කෙරෙයි.  අප්‍රිකානු රටවල් ඊට ප්‍රතිචාරයක් වශයෙන් සිය ස්වාභාවික සම්පත්, ඛනිජ ද්‍රව්‍ය සහ බල ශක්තිය චීනයට සපයති.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00