2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

චීන වෛරසය මෝටර් රථවලටත් හරස් වෙයි!

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 173

චීනය මෝටර් රථ කර්මාන්තයේ ගෝලීය සැපයුම් දාමයේ ප්‍රධාන පාර්ශ්වයකි. එහි ප්‍රධාන මෝටර් රථ කර්මාන්තශාලා රැසක් කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ හුබෙයි පළාතේ පිහිටා තිබේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එම පළාත වසා දැමීම නිසා චීනයෙන් අමතර කොටස් ලබාගැනීමේ දුෂ්කරතා මතුව ඇත.

ඒ හේතුවෙන් නිසාන් මෝටර් රථ නිෂ්පාදන සමාගමේ ජපානයේ පිහිටි කර්මාන්ත ශාලාවක්ද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත. අමතර කොටස් ලබාගැනීමේ දුෂ්කරතා හේතුවෙන් පසුගිය සතියේ දකුණු කොරියානු හයිඋන්ඩායි මෝටර් රථ නිෂ්පාදන සමාගමද තාවකාලිකව වසා දැමුණි. ටොයොටා, හොන්ඩා ඇතුළු ආයතන ගණනාවක්ම මේ අලකලංචියට මුහුණ දී ඇත.

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ චීනයේ මෙබඳු කර්මාන්තශාලා රැසක් වසා දැමීමට පියවර ගෙන ඇති අතර ඉන් ලොව මෝටර්රථ නිෂ්පාදන සමාගම් රැසක කටයුතුවලට බලපෑම් එල්ල වී ඇත. චීන අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු ඉකුත් සඳුදා දිනයේ සිට දෛනික කාර්යාලීය කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ වීමට නියමිතව තිබුණද වෛරස අවදානම හේතුවෙන් කර්මාන්තශාලා රැසක් තවදුරටත් වසා දමා ඇත.