ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත රටක් වන මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට එරෙහිව එරට අධිකරණයක් මගින් වසර 5ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ ඔහුට එරෙහි මුදල් විශුද්ධිකරණ චෝදනාවකට වරදකරු වීම හේතුවෙනි. සිර දඬුවමට අමතරව ඔහුට අමෙරිකානු ඩොලර් මිලියන 5ක දඩයක් ද නියම කර තිබේ.
2013 වර්ෂයේදී බලයට පැමිණි අබ්දුල්ලා යමීන් මාලදිවයිනේ බලයට පත්වූයේ ජනතාව තුළ ඉහළ බලාපොරොත්තුවක් ඇති කරමිනි. එහෙත් ඔහු බලයට පැමිණි කෙටි කලක් යත්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය, දූෂණය, භීෂණය, ඉහළ ගියේය. නීතියේ ආධිපත්‍ය ගිලිහිණි. මාධ්‍ය නිදහසට දැඩි ලෙස පහර වැදිණි. ඔහු රට බාරගෙන මාස 15ක් ගතවත්ම, එරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයකින් බලයට පැමිණි පළමු ජනාධිපතිවරයා වූ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් අත්අඩංගුවට ගත්තේය. ඒ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයකට නායකත්වය දෙමින් සිටියදීය. ඒ සමඟම මාලදිවයින දේශපාලන වශයෙන් අස්ථාවර තත්ත්වයකට යමින් තිබිණි. රජය පෙරළා දැමීමේ කුමන්ත්‍රණයක් ගැන කියමින් ආරක්ෂක අමාත්‍යවරයාද අත්අඩංගුවට ගනු ලැබූ අතර, තවද එවැනිම ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් කිහිප දෙනෙක්ද අත්අඩංගුවට ගැණුනාහ. මේ අතර ජීවිතාරක්ෂාව පතා ඇතැම් පිරිස් රට හැරගියහ. එමෙන්ම අත්අඩංගුවේ සිටින දේශපාලනඥයන් නිදහස් කරන මෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීම එරට දේශපාලනය උණුසුම් කිරීමට බලපෑ තවත් සිදුවීමකි. ඒ සමඟම විපක්ෂය කුමන්ත්‍රණයකට සැරසෙන බව කී යාමීන් ජනාධිපතිවරයා හදිසි නීතිය පැනවීමටද කටයුතු කළේය.
මේ අතර මාධ්‍යවේදීන්ට එල්ල වූයේ දැඩි ප්‍රහාරයකි. කාර්ය මණ්ඩලයට එල්ල වූ චෝදනා නිසා එරට (රාජ්ජේ) රූපවාහිනී සේවය වසා දැමිණි. එමෙන්ම සංක්‍රමණ නීති උල්ලංඝනය කළේ යැයි චෝදනා කර විදේශීය මාධ්‍යවේදීන් දෙදෙනකුගේද සේවය නවතා දැමිණි. 2014 වර්ෂයේදී එරට මාධ්‍යවේදියකු අතුරුදන් විය. එමෙන්ම එරට බ්ලොග්කරුවකු කුරිරු ලෙස ඝාතනය කෙරී තිබිණි. මේ බ්ලොග්කරුවා මානව හිමිකම් සහ භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටි වීරයකු බව මාලදිවයිනේ සිටින එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය තානාපතිවරු පවා ප්‍රකාශ කළහ. මාලේහි පසුගිය කාලයේදී දූපත් බදුදීමේදී දූෂණ සහ වංචා සිදුවී ඇති බවද වාර්තා වේ. මේ පිටුපස යාමීන්ගේ සෙවණැල්ල පවතින බව බොහෝ විචාරකයන්ගේ විශ්වාසයයි.
ජනගහනය යන්තම් 400,000 වෙසෙන මාලදිවයින ඉන්දියාවේ නිරිතදිග සිට කිලෝමීටර 400ක දුරින් සහ මැදපෙරදිග සහ අප්‍රිකාවේ සිට නැගෙනහිර ආසියාව දක්වා ඇති ලොව කාර්යබහුලම නාවික ගමනාගමන මාවත් ආසන්නව පිහිටා ඇත. ඉන්දියානු සාගරයේ වර්ග සැතපුම් 35,000 පුරා විසිරී ඇති දහස් ගණන් කුඩා දූපත් සමූහය එක්සත් ජනපදය සහ ඉන්දියාව එක් පසෙකින්ද සහ චීනය අනෙක් පසෙන්ද අතර වූ උග්‍ර ගැටුම් ගොනුවන ලක්ෂ්‍යයක් බවට පත්ව තිබේ.
මාලේහි පසුගිය කාලයේදී දූපත් බදු දීමේදී දූෂණ සහ වංචා සිදු වී ඇති බවද වාර්තා වේ. මේ පිටුපස යාමීන්ගේ සෙවණැල්ල පවතින බව බොහෝ විචාරකයන්ගේ විශ්වාසය වී තිබේ. පෞද්ගලික වාසි ලබාගැනීමේ අරමුණින් රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කෙරැණු නඩුවේ මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට චෝදනා එල්ල වී තිබිණ.