2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

කිම් ජොන් අන් නැවත ලෝකය පුදුම කරවයිද?

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 161

අශ්වයන් පිට යාම ගැන ලොව පරසිඳු රාජ්‍ය නායකයා පුටීන්ය. උඩුකය වැස්මක් රහිතව ඔහු අසු පිට යන කැපිලා පෙනෙන ජායාරූපය 2009දී ලොව මාධ්‍ය කැළඹූ ජනකාන්ත  දසුනක් විය. එවන් සේයාරූවක් පසුගිය සතියේ මාධ්‍ය තුළ සංසරණය වන්නට විය. මෙවර සේයාරුව පූටීන් මෙන්ම දඩබ්බර චරිතයක් වන උතුරු කොරියානු නායකයාගේය. කිම් ජොන්ග් අන් සුදු අශ්වයෙකු පිට නැගී හිමෙන් වැසුණු ‘පෙක්තු’ කන්ද තරණය කරන එම ඡායාරූප පෙළ උතුරු කොරියානු KCNA පුවත් සේවය වාර්තා කර තිබිණි.

කිම් ජොන්ග් අන්ගේ පියාගේ උපන් ස්ථානය ලෙස ද සැලකෙන මෙම කඳු ප්‍රදේශය එරට සුවිශේෂී ස්ථානයක් ලෙස හැඳින්වේ. උතුරු කොරියානු නායකයා මීටර 2750ක් උසැති මෙම කන්ද තරණය කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. බරපතළ නිවේදනයක් සිදු කිරීමට සූදානම් වනවිට ඔහු මෙවැනි ක්‍රියාවල නිරත වන බව විශ්ලේෂකයෝ පවසති. දකුණු කොරියාව සමඟ රාජතාන්ත්‍රික සම්බන්ධතා ඇතිකර ගැනීම පිළිබඳ ඇඟවීමට සති කීපයකට පෙර 2017 වර්ෂයේ ද ඔහු මෙම කන්ද තරණය කළේය. හදිසියේම මෙවර ඔහු අශ්වයෙකු පිට නැගී පෙක්තු කන්ද නැගීමේ ක්‍රියාව ලෝකය පුදුම කරවන ආකාරයේ බලවත් ක්‍රියාන්විතයක නුදුරු දිනෙකම නියැලෙන්නට නියමිත බව ඉඟිකිරීමක් හැටියට  දැන් සැළකේ.

මින් පෙර කිම් ජොන්ග් අන්, පෙක්තු කන්ද ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් පසු අතිශය වැදගත් තීරණවලට එළඹ තිබූ ආකාරයටම දිගු දුර මිසයිල සහ න්‍යෂ්ටික අවි අත්හදාබැලීම්වලින් ඉවත් වීමට අමෙරිකාවට දුන් පොරොන්දුව ගැන නැවත සිතා බැලීමට මෙවර ඔහු සැරසෙන්න බව මෙම ගමනින් අනුමාන කෙරේ යැයි වාර්තා පලව තිබේ.

න්‍යෂ්ටිකහරණය පිළිබඳ එකඟතාවකට එළඹීමට උතුරු කොරියාව අමෙරිකාවට මෙම වසර අවසානය තෙක් කාලය ලබා දී තිබේ. කිම්ගේ න්‍යෂ්ටික අත්හදාබැලීම් වැඩසටහන් නැවත්වීමට නම් උතරු කොරියාවට එරෙහිව පවතින සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලීම් ගණනාවක් සිදු කර තිබේ. නමුත් මේ වනතෙක් ඔහුට අමෙරිකාව ඒ සඳහා පොළඹවා ගැනීමට නොහැකි වී තිබේ. එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡා මේ වනවිට අඩාල වී ඇති අතර, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩි අවධානය සිය රටෙහි පවතින ගැටලුවලට යොමු වී ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය නැවත තමන් වෙත  දිනා ගැනීමට කිම් ජොන්ග් අන් මෙම කඳු තරණය යොදා ගත්තා ද විය හැකිය.

කෙසේ වුව ද කිම් ජොන්ග් අන්ගේ ප්‍රියතම විනෝදාංශයක් වන්නේ අසුන්ය. ඔහු 2016 වසරේදි  ලංකාවේ මුදලින් රුපියල්  30935787.57ක්  ගෙවා රුසියාවෙන් අශ්වයන් ගෙන්වා ගත්තේය.

 

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:29
 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 06:07