2019 ජුලි 06 වන සෙනසුරාදා

ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට කිම් ජොං ධවල මන්දිරයට

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 117

ඉකුත් සතියේ මුළුදුන් G20 රාජ්‍ය නායක සමුළුව අතර පැය එක හමාරක කාලයක් දිග ඇදීගිය කතාබහක් ට්‍රම්ප් සහ පුටින් අතර සිදුවිය. ට්‍රම්ප් මේ සාකච්ඡාව ගැන කීවේ අති අනර්ඝ ඉතා රසවත් කතාබහක් කියාය. පුටින්ගේ පාර්ශ්වය මෙය හැඳින්වූයේ ප්‍රතිඵලදායී ප්‍රබල කතාබහක් හැටියටය. 

උඩින් මිතුරු යටින් හතුරු මේ රාජ්‍ය දෙකේ මෙම නායකයන් දෙදෙනා අතර ඇති අපූරු සුහද සබඳතාව ලෝකයට එළිදරව් කළ හමුව අවසන ට්‍රම්ප්ට අමෙරිකානු නායකයකුට මෙතෙක් නොලද ආරාධනයක් ද ලැබිණි. කතාබහ මැද මාධ්‍ය ප්‍රමෝදයට පත් කරමින් ට්‍රම්ප් පුටින්ට තරවටුවක් ලෙස ඇඟිල්ල දික් කරමින් “මැතිවරණවලට අත දානවා එහෙම නෙවෙයි” කියමින් සරදම් කළේය. කතාබහ අවසන දෙදෙනා සවුදිය පිරීමකටද එක් වූහ. ට්‍රම්ප් මෙහිදී පුටින් ඇමතුවේ ඔහුගේ මුල් නමිනි. මේ පෙරළිකාර හමුවේ උත්කර්ෂවත් අවස්ථාව වූයේ 2020 එන වසරේ මොස්කව් හි පැවැත්වෙන දෙවැනි ලෝක යුද ජය සමරුවට සහභාගි වන ලෙස පුටින්, ට්‍රම්ප්ට ආරාධනා කිරීමය. ඒ අනුව ට්‍රම්ප් මොස්කව් යන්නට නියමිතය.

පසුගිය සතිය ට්‍රම්ප්ට ලබා තිබුණේ සතුරන් මිතුරු වන දසාවකි. ජී20 සමුළුව අවසන ඔහු නැවතුණේ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් හමුවේය.

ට්‍රම්ප් කොරියානු දේශසීමාවේ පිහිටි සාම ගම්මානයේදී උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් හමුවී අතට අත දීමෙන් අනතුරුව උතුරු කොරියානු නායකයා අමෙරිකානු ජනාධිපතිවරයාට දේශසීමාව හරහා තම රටට පැමිණෙන ලෙසට ආරාධනා කළේය. ඒ අනුව දේශසීමාව හරහා ගොස් අමෙරිකානු ජනාධිපතිවරයා උතුරු කොරියානු භූමියට ඇතුළු විය. එය ඓතිහාසික අවස්ථාවකි. ධුරයේ සිටින අමෙරිකානු ජනාධිපතිවරයෙකු යුද මුක්ත කලාපය හරහා උතුරු කොරියානු භූමියට ඇතුළු වූ පළමු අවස්ථාව මෙය වූ හෙයිනි.

එම හමුවෙන් අනතුරුව උතුරු කොරියානු නායකයා දේශසීමාව හරහා දකුණු කොරියානු භුමියට පැමිණි අතර එහිදී ඔහු පිළිගැනීමට දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ද පැමිණ සිටියේය. කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවි හරණය කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සහ උතුරැ කොරියාව අතර ඇණහිටි සාකච්ඡා යළි ඇරඹෙනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. ට්‍රම්ප් මෙහිදී ධවල මන්දිරයේ සංචාරය කරන ලෙස උතුරු කොරියානු නායකයාට ආරාධනා කළේය. ඒ අනුව කිම් ජොන්ග් උන් ධවල මන්දිරයට ගොඩවැදීමට නියමිතය.