2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

පුටින්ගෙන් තරවටුවක්!

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 44

ජාතිය අමතා සිදුකරන සිය ස්ටේට් ඔෆ් නේෂන් වාර්ෂික කතාවේදී පුටින් සිය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට සහ සමාජ ප්‍රතිලාභ වැඩි කිරීමට පොරොන්දුවක් ලබාදී තිබේ. එසේම යුරෝපා කලාපයේ මැදි දුර න්‍යෂ්ටික අවි ස්ථාපනය කිරීමට අමෙරිකාව පියවර ගතහොත් රුසියාව ඊට ප්‍රතිචාර දක්වන බවට ද ජනාධිපති ව්ලැදිමීර් පුටින් තරවටු කර තිබූණි. අමෙරිකාව ඇතුළු ගෝලීය බලවතුන් සමඟ තමන්ට ගැටුමක් ඇතිකර ගැනීමට අවශ්‍ය නැතැයිද පුටින් සිය කතාවේදී අවධාරණය කළේය. කෙසේ නමුත් අමෙරිකාව යුරෝපා රටවල න්‍යෂ්ටික මිසයිල ස්ථාපනය කිරීමේ සූදානමක් පවතින බවට ඔහු චෝදනා කර සිටියේය. එසේ කළහොත් මිසයිල ස්ථාපිත රට පමණක් නොව අමෙරිකාව ද රුසියාවේ ඉලක්කයට හසු වන බවට ජනාධිපතිවරයා එහිදී තරවටු කර ඇත.

ෆෙඩරල් සභාවට සිය ස්ටේට් ඔෆ් නේෂන් වාර්ෂික කතාව ඉදිරිපත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
එමෙන්ම අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීමටත් විෂ සහිත කසළ අංගන ජනාශ්‍රිත ප්‍රදේශවලින් ඉවත් කිරීමටත් ඔහු එහිදී පොරොන්දු වී තිබුණි. මේ ඇතුළු තවත් පහසුකම් රැසක් ජනතාවට ලබාදීමට රජය මූලිකත්වය දී කටයුතු කරන බව ද පුටින්ගේ ප්‍රකාශයේ සඳහන්ය.

රැසියානු ජනතාවගෙන් සෑම පුද්ගලයන් පස් දෙනකුගෙන් එක් අයකුම දරිද්‍රතාවයෙන් පෙ‍ළෙන බව නවතම පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ. මේ හේතුවෙන් මෑත භාගයේදී ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය ද යම් ප්‍රමාණයකට පහළ බැස තිබුණි. ඔහු ජනතාවට මෙම පොරොන්දු ලබා දී තිබෙන්නේ එවන් පසුබිමක් තුළදීය.