2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

වැස්ස ගංවතුර එක්ක නොවරදින මාරකය මීඋණ

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 185

වැස්ස සහ ගංවතුර සමඟ කෙමෙන් හිස ඔසවන, කලින් කල දිවයින පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින සහ ආසාදිත වූවන් අතරින් 5 - 10% පමණ ප්‍රමාණයකට මරැකැඳවන රෝගයකි, මීඋණ නොහොත් ලෙප්ටොස්පයිරෝසියාව. එය ශ්‍රී ලංකාව තුළ දැනුම් දිය යුතු අවදානමක් පවතින රෝග අතුරින් මුල්තැන ගත් එකකි. ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මීඋණ රෝගීන් ප්‍රමාණයක් සහ මරණ ප්‍රමාණයක් සිදුවූ වර්ෂය වශයෙන් 2008 වර්ෂය වාර්තාගත වී තිබේ. එම වසරේ මීඋණ රෝගයට 7406 දෙනෙක් ගොදුරු වී ඇති අතර ඉන් 200ක් පමණ මියගියහ. මේ වනවිටත් පවතින අධික වර්ෂා තත්ත්වය මත මීඋණ රෝගය පැතිරයාමේ අවදානම ඉහළ ගොස් ඇත. එහෙයින් ඒ ගැන දේශය පාඨක ඔබ දැනුවත් කිරීමට සිතුවෙමු. 

වෛද්‍ය විද්‍යාවට අනුව ලෙප්ටොස්පයිරෝසිස් (Leptospirosis) ලෙසින් හඳුන්වන මේ රෝගය “ලෙප්ටෝස්පයිරා” නම් ඉතාමත් වේගයෙන් චලනය වන &ස්පයිරොකීටා* වර්ගයේ බැක්ටීරියාවක් මගින් බෝවන රෝගයකි.

මේ කාණ්ඩයට අයත් බැක්ටීරියා ප්‍රභේද දෙසීයක් (200)ක් පමණ අද වනවිට ලෝකය පුරා රටවල් කිහිපයකින්ම හඳුනාගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ ද ප්‍රභේද හයක් සොයාගෙන තිබේ.

මෙම බැක්ටීරියාවෙන් පතුරුවන රෝග තත්ත්වය ලෝකය පුරා වාර්තා වුවද නිවර්තන හා උප නිවර්තන රටවලින් බහුලව රෝගීන් හමුවේ. ශ්‍රී ලංකාවට ආවේණික රෝගයක් වන, ජනවහරේ මීඋණ නමින් හඳුන්වන රෝග තත්ත්වය ද වැළඳෙන්නේ මෙම රෝගකාරකය මගිනි.

රෝග ව්‍යාප්තිය

මෙම රෝගකාරක බැක්ටීරියාව, විශේෂයෙන්ම ගොවිපොළ සතුන්, සුනඛයන්, පූසන්, මීයන්, ඌරැමීයන් හා මුගටියන් ඇතුළු කැලෑබද ක්‍ෂීරපායී සතුන්ගේ වකුගඩුවලින් ස්වාභාවිකව හමුවේ.

මෑතකදී සිදුකළ සමීක්‍ෂණයකට අනුව මීගවයන්ගේ මළ සහ මුත්‍රාවලද මෙම රෝගකාරක විෂබීජය අන්තර්ගතව ඇතිබවට සාධක හමුවී ඇත.

ඒ අනුව රෝගකාරක ලෙප්ටෝස්පයිරා නමැති බැක්ටීරියාව මීයන් හා ගවයන්ගේ මුත්‍රා මගින් ජලයට එක්වීම නිසා මිනිසුන්ට රෝගය ආසාදනය වේ.

එහිදී මෙම බැක්ටීරියාව ප්‍රධාන ලෙසම මිනිස් සිරුරට ඇතුළු වන්නේ පාදවල තිබෙන තුවාල මගිනි. එමෙන්ම එම ජලය මගින් මුහුණ, ඇඟ පත සේදූවිට ඇස් හා මුඛයේ පවතින ශ්ලේෂ්මල පටල මගින්ද ශරීරගත විය හැකිය. බොහෝවිට ගොවියන් වගා කටයුතුවල යෙදී සිටියදී වක්කඩවල තිබෙන ජලය පානය කිරීම නිසා එම ජලයේ බැක්ටීරියාව තිබේ නම් මුඛයේ ශ්ලේෂ්මල පටලය මගින් බැක්ටීරියාව සිරුරට ඇතුළු වීමට ඉඩ තිබේ.
මූලිකවම කුඹුරැ, ඇළ වේලි, පතල් ආශ්‍රිත රුකියා කරන පුද්ගලයන් මෙම රෝගයට ගොදුරැවීමේ අවදානම වැඩිය.

කුඹුරුවල, නියරවල ගුල් සාදාගෙන ජීවත් වන මීයන් අප රටේ ලෙප්ටොස්පයිරෝසිස් රෝගය බෝකරන ප්‍රධානම රෝග වාහකයෝ වෙති. මෙම බැක්ටීරියාව ශරීරගත වීමෙන් පසුව රුධිර සංසරණයට ඇතුළු වී සිරැරෙහි සියලුම අවයව හා පටක ආක‍්‍රමණය කරයි. 

රෝගය වැළැක්වීමට වෛද්‍ය උපදෙස්

මෙම රෝගයට අයත් මූලික ලක්ෂණ පහළ වූ වහාම ඵලදායී ප්‍රතිජීවක භාවිත කොට අප්‍රමාදව ප්‍රතිකාර කිරීම ආරම්භ කළ යුතුය. කිසිවිටෙකත් පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තුරු ප්‍රතිකාර ප්‍රමාද නොකළ යුතුය. ඊට හේතුව රැධිර පරීක්ෂණයෙන් මෙම රෝගය වැළඳී තිබේදැයි හඳුනාගත හැක්කේ රෝග ලක්ෂණ පහළ වී සතියක් පමණ කාලයක් ගතවීමෙන් පසුව වීමයි.

රෝග ලක්ෂණ ඇතිවූ වහාම රෝගීන්ගේ ශරීරයේ තරල හා අයන සමතුලිතතාව පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුය. වකුගඩු අක්‍රියවීමක් සිදුවුවහොත් ඉතා ඉක්මනින්ම කෘත්‍රීමව රුධිරය පිරිසුදු කළ යුතු වේ.

රෝගය පිළිබඳව ලක්ෂණ පහළ වූ වහාම රජයේ රෝහල් වෙත යොමුවීම ඉතා වැදගත්ය.

රෝග ලක්ෂණ

ආසාදිත සතුන්ගේ මුත්‍රා හෝ පටලවලට නිරාවරණය වී දින 7 – 14 ත් අතර මීඋණ රෝග ලක්ෂණ ආරම්භ වේ. නමුත් 90% – 95%ක් පමණ ආසාදන, රෝග ලක්ෂණ මතුනොවන හෝ යන්තමින් උණ මතුවන අවස්ථාය.

රෝගය නියමාකාරයෙන් වර්ධනය වනුයේ අවස්ථා 2කිනි.

මීඋණ පළමු අවධියේදී,

විශේෂිත නොවූ උණ තත්ත්වය, හිසරදය, මාංශපේෂි රුදාව, කෑම අරැචිය, අප්‍රාණික බව, ඉහළ ආලෝකය සහ ඇස් කැක්කුම, වෙව්ලා උණ ගැනීම, ඇස් රතුවීම හා ඇස්වල දියර ගැලීම, අක්මාව හා ප්ලීහාව ඉදිමීම, වසා ග්‍රන්ථි ඉදිමීම හා සමේ ලප ඇතිවීමද විටෙක දැකිය හැක.

දෙවැනි අවධිය ඇතිවනුයේ, මුල් රෝගයෙන් සනීප තත්ත්වයක් ඇතිවී දින කිහිපයකිනි.

එවිට උණ, බෙල්ල තද ගතිය හා කැක්කුම හෝ සමහර රෝගීන්ගේ අක්‍ෂි ස්නායු, මොළය හෝ සුෂුම්නා ප්‍රදාහයන් ඇතිවිය හැක. උදරයේ දකුණු ඉහළ පෙදෙසේ ඇතිවන කැක්කුමද බහුලව ඇතිවිය හැක.

උණ හා අක්මා, වකුගඩු රෝග ඇතිවිට එය විල්ස් සහ - ලක්ෂණය ලෙස හඳුන්වන අතර ඇස් කහ පැහැගැන්වීම එයට ආවේණික ලක්ෂණයකි. උග්‍ර අවස්ථාවේදී වකුගඩු අක්‍රීය වීම, හෘදය අක්‍රීය වීම, පෙනහළුවල ලේ ගැලීම් හෝ රැධිර සංසරණය අක්‍රීයවීම දැකිය හැක.

රෝගය හඳුනාගැනීම/ ප්‍රතිකාර

මෙහි රෝග ලක්ෂණ ඇතැම්විට ඩෙංගු උණ, ඉන්ෆ්ලුවන්සාව, මෙනින්ජි පටල ප්‍රදාහය හා අක්මා ප්‍රදාහය හෙවත් හෙපටයිටීස් වැනි රෝග ලක්ෂණවලට ද සමාන විය හැකිය.

එකවර හටගත් උණ, සීතල, ඇස් රතුවීම, හිසරදය, කොන්ද හා කොන්ද ආශ්‍රිතව මස්පිඬු වේදනාව ඇතිවූ විට සැලකිලිමත් විය යුතුය. මෙවැනි රෝග ලක්ෂණ ඇතිනම්, එමෙන්ම රෝග අවදානම සහිත රුකියා කරන පුද්ගලයකු නම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය.

මෙම රෝග ලක්ෂණ පහළ වූ විට රෝගීන්ගේ රැධිරයේ ප්‍රතිදේහ පරීක්ෂාව, මුත්‍රා පරීක්ෂණයේ දී ඇල්බියුමින් ප්‍රෝටීන් තිබීම මෙන්ම රුධිර පරීක්ෂණයේදී සුදු රුධිරානු (WBC /DC) වැඩිවීම වෛද්‍යවරැන්ට රෝග නිර්ණයට උපකාරී වේ.

රෝග වැළැක්වීම

මෙම රෝගයෙන් මිදීමට නිසැකවම අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග රුසක් පවතී.

රෝගය වළක්වාගැනීම සඳහා මිනිස් වාසයට ආසන්න පරිසරය පිරිසුදුව තබාගැනීම අතිශය වැදගත්ය. 

රෝගකාරක විෂබීජ ඇතිවන ස්ථාන හා මාර්ග විනාශ කිරීමට පියවර ගත යුතුය..

ගෙවතු, ක්‍රීඩාපිටි ආදී ළමයින් ක්‍රීඩා කරන ස්ථාන ආසන්නයේ රෝගකාරක විෂබීජය පතුරුවන සතුන් ගැවසීම වැළැක්වීම. 

ගොවිපොළවල හා සත්ත්ව පාලනයේ නියැලෙන පිරිස් අවදානම් කටයුතු ස්ථානවලදී ආරක්ෂිත ඇඳුම් පැළඳීම.

අපවිත්‍ර ජලය ඇතුළු නොවන පරිදි තුවාල ආවරණය කර ගැනීම (විශේෂයෙන් මෙහිදී කුඹුරර ගොවීන් ඉතා සැලකිලිමත් විය යුතුය)

උතුරුවා නිවාගත් ජලය පානය කිරීම.

ගංවතුරෙහි ගමන් කිරීමෙන් වැළකීම ඇතුළු ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට ජනතාව මෙහිදී අවධාරණය කරගත යුතුය.

ප්‍රතිජීවක ඖෂධ

රෝගය වැළැක්වීමට කුඹුරු ගොවීන් සඳහා කුඹුරට බැසීමට පෙර භාවිත කිරීමට සුදුසු යැයි වෛද්‍යවරුන් විසින් අනුමත කරන ලද ප්‍රතිජීවක ඖෂධයක් වශයෙන් සැලකෙන ඩොක්සිසයික්ලින් (Doxycycline) නම් ඖෂධය වෛද්‍ය උපදෙස් අනුව ලබාදීමට පියවර ගෙන තිබේ. එමගින් මෙම රෝගකාරක බැක්ටීරියාවට එරෙහිව ශරීරයේ ප්‍රතිශක්තීකරණයක් ඇතිකරනු ලබයි.

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් මෙම ඖෂධය ගොවීන් වෙත නොමිලේ ලබාදීමට පියවර ගෙන ඇතිබව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙම ඖෂධය වුවද ලබාගැනීමේදී අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිත කළ යුතුමය !  

 සුගත්