2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

අනුන් රවටන හිතේ ලෙඩේ

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 229

ඔබට බලාපොරොත්තු තිබෙනවා. ඔබට සිහින තිබෙනවා. මේ සිහින තුළට යන්න ඔබ පුංචි කාලේ සිටම මහත් පරිශ්‍රමයක් දරනවා. ඒත් ආදරයක් නැති හැඟීමක් නැති පුද්ගලයකුට ඔබ ගොදුරු වුණොත් ඒ සිහින බොඳවී ලෝක දෙකක් අතර අතරමං වෙන්න පුළුවන්. මානසික රෝගියකු වෙන්නත් පුළුවන්. මේ ඔබේ දෛවය කියලා ඔබ හඳුන්වන්න පුළුවන්. මෙය ඔබේ කේන්දරයට අනුව නරක කාලය කියලා කියන්නත් පුළුවන්. නමුත් මෙය ඔබට ලැබෙන සහකරැ හෝ සහකාරියගේ පෞරුෂය පිළිබඳ ගැටලුවක් ලෙසයි මනෝ විද්‍යාව තුළ හඳුන්වන්නේ.

අද ඔබ කවුද? ඊයේ ඔබේ ළමා කාලයයි. වෛද්‍ය විද්‍යාත්මකව ඔබේ පෞරුෂය නිර්මාණය වීමට ප්‍රධාන කරුණු දෙකක් බලපානවා. මව්පියන්ගෙන් ලැබෙන ජාන එක් කරුණක් වන අතර අනෙක ඔබ ජීවත් වන පරිසරයයි. ජානවලින් ඔබට සම්ප්‍රේෂණය වන ගති ලක්ෂණ තව දුරටත් ඔපමට්ටම් වෙන්නේ ඔබ ජීවත් වන පරිසරය අනුවයි. එය හොඳට නරකට දෙකටම දිව යන්න පුළුවන්. අපි මෙහෙම හිතමු. ඔබේ දරුවා තරහා පාලනය කරගන්න බැරි පුද්ගලයෙක් කියලා. මව්පියන්ටත් ඒ හා සමානව තරහා යනවනම් දරුවගේ මේ හැසිරීම තවදුරටත් වැඩි වෙන්න පුළුවන්. දෙමාපියන් තමාගේ තරහා නිසි ලෙස පාලනය කරගෙන දරුවා සන්සුන් කරන්නේ නම් දරුවාගේ තරහා ක්‍රමානුකූලව අඩු වී සන්සුන් වූ මනසක් ඇතිවිය හැකියි. මෙය බොහෝ සෙයින් ජාතක කතා සංග්‍රහයේ එන ගිරවුන් දෙදෙනාගේ හැසිරීමට සමානය.

කාංචනා අපට හමු වූ තවත් තරුණියකි. ඇගේ වයස අවු.30යි. විවාහ වී අවු. 5ක දරුවෙක් ද සිටිනවා. ජීවිතය එපා වූ ජීවිතය නැති කරගැනීමේ සිතුවිලි සමඟ සියල්ලම අවුල් වූ කාංචනා අප සායනයට යොමු වූයේ ඇයගේ වැඩිමහල් සොයුරිය සමඟය. ඇයගේ සොයුරිය මෙසේ කතාව ආරම්භ කළා.

මේ මගේ නංගි. එයා ජීවිතය නැති කරගන්න දෙපාරක් උත්සාහ කළා. ගෙදර කිසිම වැඩක් කරන්නේ නෑ. ඇඳේ වැතිරිලා ඔහේ කල්පනා කරගෙන ඉන්නවා. අපේ නංගි බැංකුවේ රුකියාවක් කරමින් හොඳින් ජීවිතය ඇරඹුවා. වංචාකාර කාලකන්නියකුට අහුවෙලා තමයි නංගිගේ ජීවිතය අවුල් වුණේ. තවමත් මේ මිනිහගෙන් අයින් වෙන්න අපේ නංගිට හිත හදාගන්න බෑ. නංගි හිතන්නේ මේ මනුස්සයා එයාට තවමත් ආදරෙයි කියලා. අපි කාංචනා දෙසට හැරුණා. ජීවිතය ගැන කලකිරීම හා එපා වීම ඇයගේ මුහුණින් හොඳින් පිළිබිඹු වුණා. ඇගේ ඇස්වලින් කඳුළු බේරුණා. ඇය අපිට මෙහෙම කිව්වා.

උපුල් ඔහු මගේ මහත්තයා. මට අවු.5ක දරුවෙකුත් ඉන්නවා. උපුල් මගේ ජීවිතේම විනාශ කළා. ඒත් මම තවමත් හිතනවා ඔහු මට ආදරෙයි කියලා. මගේ පවුලේ කවුරුත් කියන්නේ උපුල් වංචාකාරයෙක් කියලා. ඒත් උපුල් තවමත් මට ආදරෙන් කතා කරනවා. උපුල් මට කතා කරන්නේ මගේ පැටියො කියලා. ඔහුට කිසිම දවසක තරහා යනවා මම දැකලා නැහැ. ඉතින් මගේ හිත ඔහුගෙන් අයින් කරන්න හරිම අමාරුයි.

කාංචනා මෙහෙම කියාගෙන යනවිට ඇගේ සොයුරිය නැවතත් මෙහෙම කීවා. Dr. මගේ නංගිට තේරෙන්නේ නෑ. මම මුල ඉඳලම කතාව කියන්නම්. පළවෙනි සිද්ධිය නංගිගේ විවාහය. විවාහයට සේරම විදම් කළේ නංගි. උපුල් රුපියලක්වත් වියදම් කළේ නෑ. උපුල් කීවා එයා සහකාර පොලිස් අධිකාරීවරයෙක් කියලා. මඟුලට ඇන්දේ පොලිස් ඇඳුම. මඟුලෙන් පස්සේ සති දෙකක් ගියේ නෑ පොලිසියෙන් ඇවිත් උපුල්ව අත්අඩංගුවට ගත්තා. මොහුට තිබුණු චෝදනාව වංචාකාරී ලෙස පොලිස් නිලධාරීවරයකු ලෙස පෙනී සිටීම. පොලිසියට ගියාම මොහුට මෙවැනි වංචා කීපයකටම උසාවිවල නඩු තිබෙන බව දැනගත්තා. මේ සිද්ධියෙන් පස්සේ අපේ නංගිට අපි කීවා මේ මනුස්සයා අත්අරින්න කියලා. නංගි අපි කියන කිසි දෙයක් අහන්නේ නෑ. ඊටපස්සේ නංගිගේ බැංකු පොතේ තිබුණු ලක්ෂ විසිපහම මේ මිනිහට දීලා තිබුණා. උපුල් ඒ සල්ලි ඉල්ලලා තිබුණේ ව්‍යාපාරයක් කරන්න කියලා. ඔහු කරන කිසිම ව්‍යාපාරයක් ගැන අපිනම් අහලා නෑ. ඔහු යාළුවන් සමඟ සමාජ ශාලාවලට ගිහින් මත්පැන් සහ කැසිනෝවලට ගොදුරු වුණු පුද්ගලයෙක් කියලයි අපිට ආරංචි වුණේ. ඊළඟට සිදුවුණේ ඊට වඩා භයානක දෙයක්. නංගි වැඩකරපු බැංකුවෙන් ලක්ෂ 30ක ලෝන් එකක් උපුල් අරගෙන තිබුණා. ඒ ඇපයට අස්සන් කරලා තියෙන්නෙත් නංගි. උපුල් මේ සල්ලි ගෙව්වේ නෑ. නංගිට රස්සවත් නැති වුණා. නංගි හිරේ යන්නත් ගිහින් බේරගත්තේ අපි තමයි. අපේ පවුලේ අය එකතු වෙලා ඒ මුදල් ගෙවලා දැම්මා. රස්සාව නැති වුණාට පස්සේ නංගි හොඳටම මානසිකව වැටුණා. මෙයා වස බීලා ජීවිතේ නැති කරගන්න උත්සාහ අරගෙන වෛද්‍ය ප්‍රතිකාරවලින් යන්තම් ජීවිතේ බේරුණා. 

මේ කතාවත් අපූරු සිද්ධියක්. ජීවිතේ නැතිකරගන්න ඉස්සරලම යෝජනා කරලා තියෙන්නේ උපුල්. උපුල් කියලා තියෙනවා අපි දෙන්නම වස බලා මැරෙමු. එතකොට මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා. නමුත් ඔහු කියලා තියෙන්නේ නංගිට ඉස්සරලම වස බොන්න ඔහු ඊට පස්සේ බොන්නම් කියලා. නංගි මෙතනදිත් රැවටුණා. නංගි වස බීවා. උපුල් නම් වස බීවේ නෑ. උපුල් හිතන්න ඇති නංගි මැරෙයි කියලා. නමුත් එහෙම වුණේ නෑ. අපිට තියෙන ප්‍රශ්නෙ නංගි තවමත් මේ මනුස්සයව විශ්වාස කරන එකයි.

මෙහි එන කාංචනා දැඩි මානසික අවපීඩනයට ගොදුරු වී ඇති බව අපට පේනවා. ජීවිතය එපා වීම, ජීවිතය කලකිරීම, ජීවිතය නැතිකර ගැනීමේ සිතුවිලි මානසික අවපීඩනයේ ප්‍රධාන ලක්ෂණයයි. කාංචනාට ඖෂධ ප්‍රතිකාර පටන් ගත්තා. ජීවිතය එපා වීම සහ කලකිරීම ඇයගෙන් ඈත් වුණා. ඇය අප ආයතනයේ උපදේශනයට යොමු කළා. උපදේශනය තුළින් උපුල් පිළිබඳ ඇය නිසි ලෙස අවබෝධ කරගත්තා. උපුල් සමඟ ජීවත් විය නොහැකි බවත් ඔහු වංචාකාරී පෞරැෂයකට ගොදුරැ වූ පුද්ගලයකු බවත් කාංචනා අවබෝධ කරගත්තා.

උපුල් ගොදුරු වී ඇති පෞරුෂය කුමක්ද?

මෙහි එන උපුල් මනෝ වෛද්‍ය විද්‍යාව අනුව සමාජ විරෝධී පෞරැෂයකට ගොදුරැ වී ඇති බව පෙනේ. මෙම පෞරැෂයට ගොදුරු වූ පුද්ගලයකු තුළ දක්නට ලැබෙන ලක්ෂණ මොනවාදැයි බලමු.

වංචාසහගත බව.

හදවතේ තෙතමනයක් හෝ හැඟීමක් නැති බව.

භයානක හෝ ජීවිතයට අනතුරුදායක දේවල යෙදීමට ඇති ආශාව.

වගකීම් පිළිබඳ හැඟීමක් නැති බව.

වෛරය සහ සූක්ෂම ලෙස පලිගැනීම.

හැඟීම් පාලනයට ඇති නොහැකියාව.

බාහිර ස්වරූපයෙන් හඳුනාගත නොහැකි වීම සහ වශී වන ආකාරයෙන් කතා කිරීම.

අනිත් අයගේ වටිනාකම් හෝ අයිතිවාසිකම් පිළිබඳ හැඟීමක් නොමැතිකම.

නිතරම නීති කඩ කිරීම.

බොහෝ දේශපාලනඥයන් මෙවැනි පුද්ගලයන් තමන්ගේ අපරාධවලට යොදාගන්නා බව පෙනී යයි. සිර ගෙවල්වල සිටින සිරකරුවන්ගෙන් සෑහෙන පිරිසක් මෙම පෞරුෂයට ගොදුරු වී ඇති අය බව සමීක්ෂණවලින් පෙනී යයි.

සමාජ විරෝධී පෞරුෂයට හේතු රාශියකි. සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ මෙය ප්‍රධාන වශයෙන්ම ජානවලින් සම්ප්‍රේෂණ වන බවයි. සෙරොටනීන් මොළයේ පණිවිඩ ගෙනයන ප්‍රධාන රසායන ද්‍රව්‍යකි. මොළය තුළ මෙම රසායන ද්‍රව්‍යයේ අසමතුලිතතාවය ද මෙම හැසිරීමට හේතුවන බව විශේෂඥයන් පෙන්වා දේ.

නූතන ස්කෑන්වලින් පෙන්වා දී ඇත්තේ මෙවැනි පුද්ගලයකුගේ මොළයේ පරිමාව නිරෝගී පුද්ගලයකුට වඩා අඩු බවයි. මොළයේ හැඟීම් පාලනයට අදාළව වැදගත් වන ලලාට කණ්ඩිකාවේ ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදු නොවීම මීට හේතු වන බව ද සොයාගෙන ඇත.

මවුපිය අදරය නොලැබීම, ළමා කාලයේදී අපයෝජනයට ලක්වීම, මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ගොදුරු වූ පරිසරයක දරුවා හැදීවැඩීම වැනි පාරිසරික සාධක ද මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුවන බව ද සොයාගෙන ඇත.

අප රටේ උසාවිවල ඇති නඩුවලින් 55%ක්ම ළමා අපයෝජනය. පවුල්වලින් 33%ක් මත්පැන්වලට ගොදුරු වී ඇත. ගෘහ ප්‍රචණ්ඩත්වය 60%ක මෙවැනි පරිසරයක් තුළ හැදෙන ඔබේ දරුවා හෙට වනවිට සමාජ විරෝධී පෞරුෂයකට ගොදුරු වීම පුදුමයක් නොවේ.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00