2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

50න් පසු ව්‍යායාම අනිවාර්යයි

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 447

අවුරුදු පනහට වැඩි වයසේ පසුවන පුද්ගලයන්ට සිය මනසේ ක්‍රියාකාරිත්වය තියුණු මට්ටමක පවත්වා ගැනීමට ගත හැකි හොඳම පියවර සතියකට කීප වරක් ව්‍යායාම කිරීම බව විද්‍යාත්මක අධ්‍යනයක් පෙන්වා දෙයි. හදවත සහ මාංශපේශි නිසි ලෙස ක්‍රියාත්මක වන අයුරින් විධිමත් ව්‍යායාම කිරීමෙන් සිතීමේ හැකියාව සහ මතකය වර්ධනය කර ගැනීමට හැකි බව අධ්‍යයන තිස්නවයකින් තොරතුරු තහවුරු කර තිබේ. 

සංජානන ක්‍රියාකාරකම් හීන වීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයන් පවා විධිමත් ව්‍යායාමවල යෙදීමෙන් පසු සිතීමේ ශක්තිය සහ මතක ශක්තිය වර්ධනය වීමේ ලකුණු පෙන්නුම් කළ බව මේ පරික්ෂණ මගින් හෙළි වී තිබේ. 

පාපැදියෙන් ගමන් ගියොත් ඇඟ Fit

සෞඛ්‍ය සම්පන්න හදවතකට විනාඩි තුනක් ව්‍යායාම ඇති

දියවැඩියාවෙන් බේරීමට ආසියානුවෝ වැඩියෙන් ව්‍යායාම කළ යුතුයි

තරබාරු භාවයට එරෙහිව දිනකට පියවර 15000ක් තබන්න

ඔවුන් පෙන්වා දෙන්නේ කුමන වයස් සීමාවක පසු වුවද මනස සහ ශරීරය ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයක පවත්වාගෙන යාමට විධිමත්ව සිදුකරන ව්‍යායාම ඉවහල් වන බවය. ඉතා අභියෝගාත්මක වෙහෙසකර ව්‍යායාමවල යෙදීමට අපොහොසත් වයස පනහ ඉක්මවූ පුද්ගලයන්ට පවා විධිමත් රටාවකට අනුව තායි චී, යෝගා වැනි පහසු ව්‍යායාමවල නිරත වීම සුදුසු බව බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක කරන ලද අධ්‍යනයක් තහවුරු කර තිබේ. 

ශාරීරික ක්‍රියාකාරකම් විවිධ ලෙඩ රෝග වැළදීමට ඇති අවදානම අඩු කරන බව දීර්ඝ කාලයක සිට අප දැන සිටි බව ඇත්තකි. දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව මෙන්ම ඇතැම් පිළිකා පමණක් නොව මැදි වයසේ දී ආරම්භවන මොළයේ ක්‍රියාකාරිත්වයේ සියුම් අඩු විම් පවා හට ගැනීමට ඇති අවදානම අඩුකර ගැනීමට ව්‍යායාමවල යෙදීම ඉවහල් වන බව එලෙස සනාථ වූ කරුණුය. ව්‍යායාම වල නිරත වීමෙන් මොළයේ ලේ ගමනාගමනය ක්‍රමවත් වන අතර එමගින් මොළයට අවශ්‍යය ඔක්සිජන් නිසිලෙස ලැබීමෙන් මොළයේ සෛල වල ක්‍රියාකාරිත්වය ඉහළ යයි. 

ඊට අමතරව මොළයේ නිපදවන හෝමෝන සහ නව ස්නායු සෛලවල ක්‍රියාකාරිත්වය ඉහළ දැමීමටත් එමගින් විශාල පිටුවහලක් ලැබේ. කැන්බරා විශ්ව විද්‍යාලයේ සිදුකළ අධ්‍යයනයකින් සති හතරක කාලයක් තුළ වැඩිහිටියෙකුගේ මොළයේ ක්‍රියාකාරකම්වලට විධිමත් ව්‍යායාමවලින් කෙරෙන බලපෑම බලන ලදී. ඒ අනුව ස්වායු ව්‍යායාම නැතහොත් ඇරොබික් ව්‍යායාම මගින් වැඩිහිටියෙකුගේ මොළයේ සංජානන ක්‍රියාකාරකම් එනම් සිතීමේ ශක්තිය, කියවීම, ඉගෙනීම සහ යමකට බලපාන හේතුව හඳුනාගැනීම වැනි හැකියාවන්වල වර්ධනයක් ඇති වු බව තහවුරැ වී තිබේ. 
ඊට අමතරව මාංශ පේශී ඉලක්ක කරගෙන විවිධ බර උපකරණ භාවිතයෙන් යෙදෙන ව්‍යායාමවලින් මතකය වර්ධනය, සැලසුම් කිරීමට සහ සංවිධානයට ඇති හැකියාව පමණක් නොව විධායක තීරණ ගැනීමට ඇති හැකියාවද වර්ධනය වන බව මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල මගින් පෙන්වාදී ඇත.

ඒ අනුව වයස අවුරුදු පනහට වැඩි, වැඩිහිටියන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය ඉහල නංවා ගැනීමට ස්වායු ව්‍යායාම සහ බර උපකරණ යොදාගෙන සිදුකරන මාංශ පේශී ව්‍යායාම යන වර්ග දෙකම සුදුසු බව මෙම අධ්‍යයනයෙන් තහවුරු වූ බව කැන්බරා විශ්ව ද්‍යාලයේ ක්‍රීඩා සහ ව්‍යායාම පර්‍ෙය්ෂණ ආයතනයේ ප්‍රධානී ජෝ නොර්තෙයි ප්‍රකාශ කළේය. 

සතියකට එක් වරක් හෝ දෙවරක් ව්‍යායාමවල යෙදීමෙන් පවා ඔබගේ මොළයේ සංජානන ක්‍රියාකාරකම්වල වර්ධනයක් දකින්න පුළුවන්. නමුත් ඔබ සතියකටකිහිපවරක් විධිමත් ලෙස ව්‍යායාම්වල යෙදෙනවා නම් සංජානන ක්‍රියාකාරකම්වල ඉහළ වර්ධනයක් ඇතිකරගන්න පුළුවන් බව මේ අධ්‍යයනයෙන් තහවුරු වෙලා තියෙනවා ඔහු කියයි. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ යමෙකු නිසි ලෙස විධිමත් ව්‍යායාමවල යෙදෙන්නේ නම් ඔහු හෝ ඇය එම ව්‍යායාමවල නිරත වන අතරතුර තවත් පුද්ගලයෙකු සමග සාර්ථක කතාබහක නිරත වීමට හැකියාව තිබිය යුතු බවය.

වැඩිහිටියෙකු සතියක කාලයක් තුළ මිනිත්තු එකසිය පනහක කාලයක් විධිමත් ස්වායු ව්‍යායාමවල නිරත විය යුතු බවට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය උපදෙස් දෙයි. ඊට අමතරව මාංශ පේශි ඉලක්ක කරගනිමින් අඩුම තරමින් සතියකට දින දෙකක් වත් ව්‍යායාම වල නිරත විය යුතු බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය නිරේදේශ කරයි. 

බ්‍රිතාන්‍ය පොදු සෞඛ්‍ය සේවය විසින් ක්‍රියාත්මක කරන ලද වැඩිහිටියකුගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම යනුවෙන් නම් කරන ලද අධ්‍යයන වැඩසටහන මෙහෙයවන වෛද්‍ය ජස්ටින් වාර්නි කියා සිටියේ ඕනෑම ආකාරයේ ශාරීරික ක්‍රියාකාරකමක් ශරීරයට සහ මනසට ගුණාත්මක ප්‍රතිඵල අත්කරන බවය. 

මිනිත්තු දහයක කාලයක් ව්‍යායාම කිරීම පවා ඕනෑම පුද්ගලයෙකුගේ සෞඛ්‍යයට හිතකර බලපෑමක් ඇති කරන්න ඉවහල් වෙනවා. මිනිත්තු 150ක කාලයක් සතියක් තුළ ව්‍යායාම වෙනුවෙන් වෙන් කිරීමෙන් ඩිප්රේෂන් නැතහොත් විෂාදය සහ චිත්ත වික්ෂේපය වැළදීමට ඇති අවධානමෙන් තුනෙන් එකක් අඩු කරගැනීමට වැඩිහිටියෙකුට ඉඩ සැලසෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ තුළින් මොළයේ ක්‍රියාකාරිත්වයේ විශාල වර්ධනයක් පවා ඇතිකර ගැනීමට ඔවුන්ට හැකි වෙනවා. වෛද්‍ය ජස්ටින් වාර්නි පෙන්වා දෙයි. 

ඇරෝබික් සහ ශක්තිය වර්ධනය කිරීම යන වර්ග දෙකේම ව්‍යායාමවල විධිමත් ලෙස නිරත වීමෙන් විවිධ සෞඛය ප්‍රතිලාභ විශාල ප්‍රමාණයකට හිමිකම් කියන්න ඔබට හැකියාව ලැබේ. 

නිවසේ සිට පාපැදියකින් හෝ පයින් සේවා ස්ථානයට යාම ඉතා හොඳ ස්වායු ව්‍යායාමයක් ලෙසත්, නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය පිරවූ මලු දෙකක් රුගෙන පා ගමනින් නිවෙසට යාම ශක්තිය වර්ධනය කිරීමේ ව්‍යායාමයක් ලෙසත් පෙන්වා දිය හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 

කෙසේ වෙතත් ස්කොට්ලන්තයේ කාර්ඩිෆ් විශ්ව විද්‍යාලයේ ස්නායුවේදය සහ මනෝ චිකිත්සාව පිළිබඳ මහාචාර්ය ඩීන් බර්නෙට් මෙම අධ්‍යයන මගින් ව්‍යායාම කිරීමෙන් මොළයට ඇතිවන සාධනීය බලපෑම සම්බන්ධයෙන් ඉතා පැහැදිලි අදහසක් ඉදිරිපත් කරන නමුත් මොළයේ සෞඛ්‍ය හා බැඳුණු තවත් වැදගත් පැතිකඩ කීපයක් පවතින බව පෙන්වා දෙයි. 

මහාචාර්ය ඩීන් බර්නෙට් වැඩිදුරටත් කියා සිටියේ පෝෂදායී සමබර ආහාර වේලක් ගැනීම, මත්පැන් පානය සීමා කිරීම සහ දුම් පානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීම, මානසික සෞඛ්‍ය වර්ධනයට සහ මොළයේ ක්‍රියාකරකම් ඉහළ නංවා ගැනීමට ව්‍යායාම කිරීම තරම්ම වැදගත් වන බවය. 

Cardiff Health Journal