2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

ස්වයං වින්දනයේ ඇත්ත කතාව

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 6588

ස්වයං වින්දනය හෙවත් තමන්ම තමන් ස්පර්ශ කරගැනීමෙන් ලිංගික තෘප්තිය ලබාගැනීම ගැනද සමාජය තුළ පැතිර ඇත්තේ අමුතු මිත්‍යාවකි. ස්වයං වින්දනය, කර කර්මය, අත පාවිච්චිය, ඔය හැම හැටියටම හඳුන්වන යොවුන් වියට පත්වීමත් සමඟ නිසැකව මුහුණ දෙන මේ අත්දැකීම ගැන සමහරුන්ට ඇත්තේ භීතියකි. තවත් අය වරදක් කළාය යන හැඟීමෙන් පෙළෙමින් මේ අත්දැකීම නිසා මානසිකව පසුබෑමකට පත්ව ලිංගික අප්‍රාණිකත්වයද ඇතිකරගැනීමට තරම් පසුබට වෙති. මේ ගැන ඇතිවන ලජ්ජාව නිසා හිතේ ඇතිවන වරදකාරී බව ගැන වූ අකුණු කෙටීම සාර්ථක ලිංගික ජීවිතයක්, සමාජ ජීවිතයක් පවා පවත්වාගන යාමට බාධකයක්ද කර ගනිති. ඉතින් මේ නිසාම ස්වයං වින්දනයේ ඇත්ත නැත්ත තේරැම් ගැනීම ඉතාමත් වැදගත් කාරණයකි.

පිරිමින් අතරින් සියයට 98ක් පමණත් කාන්තාවන් අතරින් සියයට 70ක් පමණත් ස්වයං වින්දනයේ යෙදෙන බව සමීක්ෂණ මගින් ඔප්පු වී ඇතැයි විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා පෙන්වා දෙයි. ස්වයං වින්දනය සිත ප්‍රධාන කරගත් ලිංගික තෘප්තිය ලබන්නා වූ ක්‍රමයකි. එනම් සිතින් ලිංගික එක්වීමකට අදාළ අවස්ථා මවා ගැනීමෙන් සිදුකරන කායික ක්‍රියාවකි. මෙය කිසිසේත්ම අස්වාභාවික තත්ත්වයක් නොවේ. සැම පුරුෂයකුම වාගේ මේ අත්දැකීම ලබා ගැනීමට ජීවිතයේ එක්වරක් හෝ යොමුවෙති. එසේම සමහර කාන්තාවන්ද මේ අන්දමට වින්දනය ලබති. මෙසේ වින්දනය නොලබන කාන්තාවන්ද වෙති. එසේ කළත්, නොකළත් ඒ පෙළඹවීම් අස්වාභාවික තත්ත්වයක් නොවේ.

බොහෝ දෙනා තුළ මේ ක්‍රියාවලිය ගැන ඇත්තේ අනිසි භීතියකි. එමගින් ශරීරය කෙට්ටු වෙනවා, මානසික තත්ත්වය දුර්වල වෙනවා, මුහුණේ කුරුලෑ එනවා, අකලට මහලු වෙනවා, අදාළ අවයව විකෘති වෙනවා, අප්‍රාණිකත්වය හටගන්නවා ඔය ආදී මිත්‍යා මත රාශියක් මේ ස්වභාවික ක්‍රියාවලිය සම්බන්ධයෙන් සමාජය තුළ දක්නට ලැබෙයි.

මේ සියල්ල මිත්‍යාවන් බව කෙලින්ම කිවයුතුයි. ස්වයං වින්දනය ගැන බමුණු මත පතුරවන්නන් මේ මිථ්‍යා අදහස් තදින්ම තහවුරු කරන මත පතුරවන අතරම ඒවා දඩමීමා කර ගනිමින් විවිධ ව්‍යාජ ඖෂධ බේත් තෙල් අලෙවි කරගැනීමද දක්නට හැකිය. මේ නිසාම ඔය කියන දුර්මත ගැන ඉදිරියේදී එකින් එක ගැන කතා කරන්නට අපි බලාපොරොත්තු වෙමු. මිත්‍යාව පතුරවමින් නැති ලෙඩ ඇති කරවන ව්‍යාජ විශ්වකර්මයන්ගෙන් බේරී සිටීමට එමගින් මඟ පෙන්වීමක් ඔබට ලැබෙනු ඇත. අපි ස්වයං වින්දනයේ යෙදුනාම ඇඟ කෙට්ටු වෙනවාද යන්න ගැන ලබන සතියේ කතා කරමු.

උපදෙස්: විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ