2019 ජුනි 15 වන සෙනසුරාදා

වයසත් එක්ක එන එපා කරපු කැක්කුම Arthritis

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 1790

අද මෙම රෝගය සමාජය තුළ බහුලව කතාබහට ලක්වන්නකි. ලොකු කුඩා වයස් භේදයක් නොමැතිව, ඕනෑම පුද්ගලයකුට වැළඳිය හැකි වුවද ආතරයිටීස් බහුලව දක්නට ලැබෙන්නේ වියපත් පුද්ගලයන් අතරය.

මිනිස් සිරුරේ විවිධ සන්ධි විශාල සංඛ්‍යාවක් ඇත. මේවා විශාලත්වයෙනුත් ප්‍රමාණාත්මකවත් ව්‍යුහාත්මකව හා ක්‍රියාකාරීත්වයෙනුත් විවිධාකාරය. මෙසේ ශරීරය තුළ පිහිටි විවිධ සන්ධි වර්ගවල නොයෙකුත් හේතු නිසා ප්‍රදාහ හෝ ආසාදන හේතුකොටගෙන පහත සඳහන් මූලික රෝග ලක්ෂණ ඇතිවේ.

♦ සන්ධිය රත්පැහැ ගැනීම.

♦ සන්ධිය රත්වීම (උෂ්ණත්වය වැඩිවීම)

♦ සන්ධියේ වේදනාවක් ඇතිවීම.

♦ සන්ධිය ඉදිමීම.

♦ සන්ධියේ ක්‍රියාකාරීත්වය අඩපණ වීම.

ඉහත සඳහන් ප්‍රධාන ලක්ෂණයක් සන්ධියක් තුළ හෝ ශරීරයේ විවිධ සන්ධි තුළ ඇතිවීම නිසා රෝගියා අපමණ අපහසුතාවයට පත්වේ.

සාමාන්‍ය ජනතාව ‘ආතරයිටීස්’ පොදුවේ එක රෝග තත්ත්වයක් ලෙස සලකනු ලබන බව පෙනී යයි. එහෙත් ආතරයිටීස් යනු එක් රෝගයක් නොවේ. ආතරයිටීස් වර්ග විශාල සංඛ්‍යාවක් ඇත.

ආතරයිටීස් හෙවත් සන්ධි ප්‍රදාහ ඉතා කෙටි කාලයක් තුළ බලපවත්නා සුළු රෝග තත්ත්වයක් විය හැක. එමෙන්ම එය මුළු ජීවිත කාලයටම බලපාන රෝගියා ඉතාමත්ම අසරණ තත්ත්වයට පත් කරන, මුළුමනින්ම සුවකළ නොහැකි රෝග තත්ත්වයක්ද විය හැක.

සන්ධි තුළ හා සන්ධි අවට විවිධ පටක කොටස් ඇත. සන්ධියක් සඳහා මූලික වන්නා වූ මූලික අස්ථි අතර චලනයේදී ඇතිවන්නා වූ ඝර්ෂණය අවම කිරීමටත්, ගැස්ම අවශෝෂණය කිරීමටත් (Lubrication and shock absorption) කාටිලේජ හා තරමක් ඝනකමින් යුතු තරලයක් වන ‘ලසිකා තරලය’ පිහිටා ඇත.

මෙය වටා ලසිකා පටලය, සන්ධි ආවරණ පටක, විවිධ පේෂි කණ්ඩරා සහ ස්නායු වැනි අවයව රාශියක් පවතී. සන්ධි ප්‍රදාහයේදී මෙම සියලුම කොටස් විවිධ රෝග තත්ත්වයන්ට භාජනය විය හැක.

‘ආතරයිටීස්’ සඳහා බලපාන විවිධ හේතු සාධක

♦ වෛරස, බැක්ටීරියා වැනි ක්ෂුද්‍රජීවීන් නිසා සිදුවන ආසාදන (Infections)

♦ ප්‍රවේණිගත හේතූන් (Genetic)

♦ සම්බන්ධක පටක රෝග (connective tissue disorders)

♦ විවිධ පරිවෘත්තීය ක්‍රියා ආශ්‍රිත රෝග (Metabolic disorders)

♦ විවිධ රැකියා හා නොගැලපෙන ශාරීරික ඉරියව්

♦ ස්ත්‍රී-පුරුෂ භාවය

♦ විවිධ ශරීරගත රෝග

♦ සන්ධිවලට සපයන ස්නායු අක්‍රීය වීම.

♦ වයස්ගත වීම.

♦ සන්ධිවලට බාහිර හානි ඇතිවීම.

(මෙලෙස විවිධ හේතු නිසා හටගන්නා ආතරයිටීස් වර්ග ඉතා විශාල සංඛ්‍යාවක් ඇත. මේවා සියල්ලම ගැන සාකච්ඡා කිරීම මෙවන් කුඩා ලිපියක් මගින් ප්‍රායෝගිකව කළ නොහැකි නිසා, රෝගීන් තුළ බහුලව දක්නට ඇති ආතරයිටීස් කිහිපයක් ගැන පමණක් මෙහිදී සාකච්ඡා කෙරේ.)

ආතරයිටීස් රෝගීන් සඳහා කරනු ලබන පරීක්ෂණ

රෝගය නිර්ණය කිරීමටත් එහි තීව්‍රතාවය මැන බැලීමටත්, රෝගය නිසා හෝ ප්‍රතිකාර නිසා ශරීරයේ අනෙකුත් අවයවවලට සිදුවී ඇති හානි සොයා බැලීමටත්, ප්‍රතිකාරවලට දක්වන ප්‍රතිචාර දැනගැනීමටත් ආදී විවිධ හේතු නිසා ආතරයිටීස් රෝගීන් සඳහා විවිධ පරීක්ෂණ වර්ග සිදුකරනු ලැබේ. ඒවා රෝග තත්ත්වයන් අනුව වෙනස් වේ.

ප්‍රතිකාර කිරීම

ආතරයිටීස් සඳහා ප්‍රතිකාර කිරීමද රෝග තත්ත්වය අනුව විවිධාකාරය. එහෙත් මේ සියල්ලම පොදුවේ ගත් කල පහත අයුරින් සඳහන් කළ හැක.

♦ රෝගියාට රෝගය පිළිබඳ දැනුමක් ලබාදීම හා රෝගියා සැනසීම.

♦ වේදනා නාශක ඖෂධ හා ප්‍රදාහ නාශක ඖෂධ ලබාදීම.

♦ ව්‍යායාම ලබාදීම (physiotherapy)

♦ එදිනෙදා ජීවන කටයුතු පහසු කිරීම (occupational therapy)

♦ මූලික රෝගය සඳහා ප්‍රතිකාර කිරීම.

♦ රෝගයේ සහ ඖෂධවල අතුරු ආබාධ සොයා බැලීම හා ඒවාට පිළියම් යෙදීම.

♦ ශල්‍යකර්ම කිරීම හා කෘත්‍රීම සන්ධි බද්ධ කිරීම.

♦ පරම්පරාගත ආතරයිටීස් රෝග සහිත රෝගීන්ගේ ළඟම ඥාතීන්ට රෝගය ඇත්දැයි සොයා බැලීම හා දිගුකාලීන ප්‍රතිකාර.

ඔස්ටියෝ ආතරයිටීස් (Osteoarthritis)

ඉතා බහුලව දක්නට ඇති ආතරයිටීස් තත්ත්වයකි. වයස්ගත වීමත් සමඟම මෙම රෝගය බහුලව ඇතිවේ. පිරිමින්ට වඩා කාන්තාවන්ට ඔස්ටියෝ ආතරයිටීස් රෝගය වැළඳීම වැඩිය. පරම්පරාගතවද තිබිය හැකි මෙම රෝගය, හන්දිවලට බාහිර හානි ඇතිවීමෙන්ද හටගත හැක. ඇඟිලි කෙළවර, උරපත්ත, උකුල, දණහිස, වළලුකර සහ කශේරුකා (කොඳුඇට) අතර සන්ධි යන සන්ධිවල බහුලව මෙම රෝගය ඇතිවේ.

මෙහිදී සන්ධියේ අස්ථි අතර ඇති කාටිලේජ හානියට පත්වී සන්ධියේ අවකාශය අඩුවේ. සන්ධියේ අනවශ්‍ය ලෙස අස්ථි වැඩීමක්ද සිදුවේ. සන්ධිය තුළට දියර පිරීම, අවට අවයව හා පටක හානියට පත්වී සන්ධි ඉදිමීම, වේදනාව ඇතිවීම හා ක්‍රියාකාරීත්වයට බාධා ඇතිවීම සිදුවිය හැක. සන්ධියේ හානිය උපරිම වූ විට එය අස්ථාවර වේ.

සන්ධිය තුළ විවිධ රසායනික ප්‍රතික්‍රියා ක්‍රියාකාරී වීම, ශරීරයේ අධික බර, ක්‍රීඩා හා අනෙකුත් විවිධ ක්‍රියාකාරකම් නිසා සන්ධිවල කාටිලේජවලට හානි පැමිණේ. ඔස්ටියෝ ආතරයිටීස් රෝගය වෙනත් ආතරයිටීස් මෙන් ශරීරයේ වෙනත් අවයවවලට හානි නොකරයි.

ප්‍රාථමික ඔස්ටියෝ ආතරයිටීස් (primary osteoarthritis) - මෙහිදී රෝගය ඇතිවීමට කාරණය ඍජුව සොයාගත නොහැක.

ද්විතීයික ඔස්ටියෝ ආතරයිටීස් (secondary osteoarthritis) - වෙනත් රෝග තත්ත්වයක් නිසා සන්ධිවලට හානි පැමිණීමෙන් මෙම ඔස්ටියෝ ආතරයිටීස් රෝග තත්ත්වය ඇතිවේ.

රෝග ලක්ෂණ

සන්ධිවල වේදනාව, ඉදිමුම, සොලවන විට ශබ්දයක් ඇතිවීම, සන්ධියට දියර පිරීම, සන්ධිය සාමාන්‍ය ආකාරයට ක්‍රියාත්මක නොවීම, අදාළ සන්ධිය අවට පේශි දුර්වල වීම සහ සන්ධිය අස්ථාවර වීම ඔස්ටියෝ ආතරයිටීස් රෝගයේ ප්‍රධාන ලක්ෂණ වේ.

අතේ ඇඟිලිවල අස්ථිගැට ඇතිවිය හැක. සමහර රෝගීන්ගේ කුඩා සන්ධි පමණක් හානියට පත්වේ. තවත් සමහර රෝගීන්ගේ විශාල සන්ධි (උකුල, දණහිස) පමණක් හෝ කුඩා සහ විශාල යන සන්ධි දෙවර්ගයම හානියට පත්වන අවස්ථාද ඇත.

දණහිස සන්ධියේ ඇතුළු පැත්ත වැඩිපුර හානියට පත්වීම නිසා එම සන්ධිය දුන්නක ආකාරයට නැවී යා හැක.

(Bow legged) සන්ධිය තුළට අස්ථි කොටස් ඇතුළුවීම නිසා එකවරම සන්ධිය ක්‍රියා කිරීමට නොහැකිව සිරවිය හැක. (Locking)

හදිසි අනතුරු වැනි දෑ හේතුකොටගෙන සන්ධිවලට හානි පැමිණීමෙන්ද, සමහර රෝග තත්ත්ව නිසා විවිධ ස්ඵටික (crystals) සන්ධිය තුළ තැන්පත් වීමෙන්ද ඔස්ටියෝ ආතරයිටීස් ඇතිවිය හැක.

පරීක්ෂණ

රෝග ලක්ෂණවලට අමතරව විවිධ පරීක්ෂණ රෝගය හඳුනා ගැනීමට උපකාරී වේ. ඉන් සමහරක් මෙසේය.

♦ රුධිර පරීක්ෂණ

♦ එක්ස් කිරණ පරීක්ෂණ (CT,  MRI)

♦ සන්ධි තරල පරීක්ෂණ

♦ සන්ධි අභ්‍යන්තර පරීක්ෂණ (Arthroscopy)

ප්‍රතිකාර

ප්‍රතිකාර කිරීමේදී රෝගියාට රෝගය පිළිබඳව මනා අවබෝධයක් ලබාදීම ඉතාම වැදගත්ය. වේදනාව අඩු කිරීමට වේදනා නාශක ඖෂධ භාවිත කිරීම ඉතාම වැදගත් වේ. සන්ධිය උණුවතුරෙන් තැවීම හා වේදනා නාශක ජෙල් වර්ග ආලේප කිරීමද වේදනාව අඩුකර ගැනීමට උපකාරී වේ. අධික ස්ථුලතාවයකින් යුතු පුද්ගලයන් නම් බර අඩුකරගත යුතුය.

සන්ධියේ දියර පිරී ඇත්නම්, එය ඉවත්කොට සන්ධිය තුළට විවිධ ඖෂධ වර්ග නික්ෂේපණය කළ හැකිය. කාටිලේජ තවදුරටත් හානිවීම අඩුකිරීමට උපකාරී වේ යැයි විශ්වාස කරනු ලබන විශේෂිත ඖෂධ වර්ග ද ඇත.

රෝගී වී ඇති සන්ධි ස්ථාවර කිරීම සඳහා විවිධ ව්‍යායාම හා පිටින් යෙදිය යුතු ආධාරක උපකරණ (Appliances) ඇත. ආබාධිත පුද්ගලයන්ට තමන්ගේ ජීවිතයේ එදිනෙදා කටයුතු පහසුවෙන් කර ගැනීමට උදව් උපකාර වන විවිධ උපක්‍රම පුරුදු පුහුණු කිරීමටත්, ව්‍යායාම හඳුන්වා දීමටත් විශේෂිත පුහුණුවක් ලද පුද්ගලයන්ගේ (Physiotherapist and occupation therapist) උදව් ලබාගත හැක.

මීට අමතරව විවිධ ශල්‍යකර්ම මගින් ආබාධිත සන්ධි ස්ථාවර කිරීම හා කෘත්‍රීම අවයව (කෘත්‍රීම දණහිස්, කෘත්‍රීම උකුල්) සවිකිරීම වැනි දෑ කළ හැක. ඔස්ටියෝ ආතරයිටීස් වැළඳීමට පෙර වළක්වා ගැනීම ඉතා වැදගත් වේ.

මනා ලෙස ව්‍යායාමවල යෙදීම ඇවිදීම, පිහිනීම) ශරීරයේ උසට සරිලන බර පවත්වාගැනීම, සන්ධිවලට හානි නොපැමිණෙන ලෙස ඉරියව් පවත්වාගැනීම වැනි දෑ මෙහිදී වැදගත් වේ. නිතර අඩි උස සෙරෙප්පු, සපත්තු පැළඳීම නිසාද දණහිස් කාටිලේජයට හානි පැමිණේ.

රුමොටොයිඩ් ආතරයිටීස් - (Rheumatoid arthritis)

ශරීරය විසින්ම ශරීරයේ සමහර කොටස්වලට විරුද්ධව ක්‍රියා කරනු ලබන ප්‍රතිදේහ නිපදවීම නිසා ඇතිවන බොහෝ රෝග ඇත. මේවා අපි ස්වයං ප්‍රතිශක්ති රෝග (Autoimmune Diseases) ලෙස හඳුන්වන්නෙමු. රැමොටොයිඩ් ආතරයිටීස් රෝගයද එවන් තත්ත්වයකි.

මෙය ලොකු කුඩා කා හට වුවද වැළඳිය හැකි රෝගයක් වන අතර, මැදි වයසේදී රෝගයේ පටන්ගැනීම බොහෝවිට සිදුවේ.

සන්ධිවලට පමණක් නොව ශරීරයේ සෑම අවයවයකටම පාහේ රුමටොයිඩ් රෝග තත්ත්වය බලපායි. මෙම රෝගය ඇතිවීමට හේතුව තවම නිශ්චිතව සොයාගෙන නැත. මෙය පරම්පරාවෙන් පරම්පරාවට යා හැකි රෝගයක් වන අතර කාන්තාවන් අතර බහුලය. දුම්පානය කිරීම ද රෝගයට හේතුවක් බව සොයාගෙන ඇත.

මෙම රෝගයේ තීව්‍රතාවය විවිධාකාරය. සමහරකුට රෝගය එක් වරක් පමණක් වැළඳේ. තවත් අයකුට එය නිට්ඨාවට සුව නොවන අතර, රෝගය උත්සන්න වන්නේ ඉතා සෙමිනි. තවත් සමහරකුට රුමොටොයිඩ් ආතරයිටීස් රෝගය ඉතා ශීඝ්‍ර ලෙස ශාරීරික දුබලතා ඇති කරයි.

සන්ධි විශාල ලෙස විනාශ වීම හා විකෘති වීම නිසා සමහර රෝගීන්ට එදිනෙදා කටයුතු කරගෙන යාමට නොහැකිව ඇඳටම පමණක් සීමාවීමට සිදුවේ.

රුමොටොයිඩ් සන්ධි ප්‍රදාහයේදී බොහෝවිට ශරීරයේ වම් සහ දකුණු පැත්තේ අත්වල හා පාදවල එකම ආකාරයේ විකෘති ඇතිවේ. සිරුරේ මධ්‍යම හා විශාල ප්‍රමාණයේ සන්ධිවලටද හානි ඇතිවේ. බොහෝවිට උදය වරුවේ සන්ධි දිග නොහැරිය ලෙස තදවී පැය කිහිපයක් තිබීම මෙම රෝගයේ විශේෂ ලක්ෂණයකි. රුමොටොයිඩ් තත්ත්වය සිරුරේ සන්ධිවලට හා සන්ධි ආශ්‍රිත පටක පමණක් නොව, සියලුම අවයවවලටද බලපායි.

හෘදය හා රුධිරවාහිනී පද්ධතියට හානි පැමිණීමෙන් විවිධ රෝග තත්ත්ව ඇතිවේ. එමෙන්ම පෙනහළු තුළට දියර පිරීම, පෙනහළුවල කුහර සෑදීම, පෙනහළු නරක්වීම වැනි රෝගද ඇතිවේ.

ආහාර මාර්ග පද්ධතිය, මොළය සුෂුම්නාව හා අනෙකුත් ස්නායු පද්ධතියේ කොටස්වලටද, වකුගඩු හා ඇස් වැනි ඉන්ද්‍රියවලටද භයානක අතුරු ආබාධ ඇති කරයි. විවිධ හේතු රාශියක් නිසා මෙම රෝගීන්ට ලේ හිඟකම හෙවත් රක්තහීනතාවයද ඇතිවේ. ශරීරයේ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව (ප්‍රතිශක්තිය) හීන වී විවිධ ආසාදන ද ඇති කරයි.

පරීක්ෂණ

රුධිර පරීක්ෂණ, මුත්‍රා පරීක්ෂණ, එක්ස් කිරණ පරීක්ෂණ CT, MRI සහ ස්නායු පරීක්ෂණ වැනි බොහෝ පරීක්ෂණ මෙම රෝග විනිශ්චය කිරීම සඳහා කරනු ලැබේ.

රෝගය නිර්ණය කිරීම

රෝගය ස්ථීරව හඳුනාගැනීම සඳහා රෝග ඉතිහාසය, රෝග ලක්ෂණ හා පරීක්ෂණ වාර්තා පදනම් කරගත් ලොවම පිළිගත් ක්‍රමයක් ඇත. ඉහත සඳහන් කරුණු සැලකිල්ලට ගෙන ප්‍රධාන සාධක (Major criteria) සහ අනු ප්‍රධාන සාධක (Minor criteria) රෝග නිර්ණයේදී භාවිත කරයි.

ප්‍රතිකාර

ප්‍රතිකාර කිරීමෙන් පසු 25%ක් පමණ රෝගීන් සම්පූර්ණයෙන්ම සුවපත් වෙයි. නමුත් බොහෝ රෝගීන්ට ජීවිත කාලය පුරාම ප්‍රතිකාර ගත යුතු වේ.

සන්ධිවල වේදනාව හා ප්‍රදාහය අඩුකිරීමට විශේෂිත ඖෂධ ඇති අතර, සන්ධිවලට හානි වී විකෘති ඇතිවීම ප්‍රමාද කිරීමට විශේෂිත ඖෂධ කණ්ඩායමක් ඇත. ඒවා ගැනීම හැකි ඉක්මනින් ආරම්භ කළ යුතු වේ. මෙම රෝගීනට රෝගය නිසා හා ප්‍රතිකාර නිසාද සංකූලතා ඇතිවිය හැක. ඒවා ගැන අවධානයෙන් සිට ඉක්මනින් සොයා බලා ප්‍රතිකාර කළ යුතුය.

රෝගීන්ට තමන්ගේ එදිනෙදා කටයුතු හොඳින් කර ගැනීමට පහසු කරලීම පිණිස ව්‍යායාම හා පුහුණු කිරීම් අධීක්ෂණයක් යටතේ කළ යුතුව ඇත. සමහරවිට රැකියා ස්ථානයේ හා නිවෙසේ, රෝගියාට පහසු වන ලෙස යම් යම් වෙනස් කිරීම්ද කළ යුතුය. මෙය පරම්පරාවෙන් පරම්පරාවටද යා හැකි රෝගයක් නිසා පවුලේ අන් අයද පරීක්ෂා කිරීම වැදගත් වේ.

රෝගියාගේ විකෘති හා අපහසුතා අවම කිරීම සඳහා විවිධ ශල්‍යකර්මද, සමහරවිට කිරීමට සිදුවේ.

රුමොටොයිඩ් ආතරයිටීස් රෝගීන් මිතුරු සමාජ පිහිටුවා ගැනීමෙන් රොගීනට තම තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගැනීමටත් මානසික අස්වැසිල්ලක් ලබාගැනීමටත් මහත් සේ උපකාරී වේ.

බැක්ටීරියා හා වෛරස ආසාදන හේතුකොටගෙන ඇතිවන සන්ධි ප්‍රදාහ

බොහෝ වෛරස හා බැක්ටීරියාවලට ශරීරය දක්වන ප්‍රතික්‍රියා හේතුකරගෙනද සන්ධි ප්‍රදාහ ඇතිවේ. මෙවන් සන්ධි ප්‍රදාහ බොහොමයක් පවතින්නේ ඉතා සුළු කාලයක් වන අතර සන්ධිවලටද සැලකිය යුතු හානියක් සිදු නොකරයි. නමුත් බැක්ටීරියා කෙළින්ම සන්ධිය තුළට ඇතුළු වී සිදුවන්නා වූ ආසාදන (septic arthritis) වහාම ප්‍රතිකාර කළ යුතු භයානක තත්ත්වයකි.

මෙලෙස ඇතිවන්නා වූ සන්ධි ප්‍රදාහ වර්ග රාශියක් ඇත. ඉන් රූමටික උණ (Rheumatic arthritis) හා චිකන්ගුන්යා (Chicken Gunya) විශේෂ තැනක් ගනී. රූමටික උණ ඇතිවන්නේ ‘ස්ට්‍රෙප්ටොකොකුස්’ නමැති බැක්ටීරියා වර්ගයට දක්වන ප්‍රතික්‍රියාවක් වශයෙනි. මෙම රෝගය නිසා සන්ධි ප්‍රදාහය ඇතිවුවද සන්ධිවලට දිගුකාලීනව හානි ඇති නෙවේ.

මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ එය හෘදය වස්තුවට හා මොළය වැනි ප්‍රධාන අවයවවලට හානි පමුණුවන නිසාය. භයානක සංකූලතා ඇතිවීමට පෙර, මෙම රෝගයට ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය වේ.

මෑතකදී ලංකාවේ ඇතිවූ ‘චිකන් ගුන්යා’ වෛරස ආසාදනය නිසා සන්ධි ප්‍රදාහය බහුලව ඇතිවේ. මෙම සන්ධි ප්‍රදාහය සති කිහිපයක් හෝ අවුරුදු කිහිපයක් පැවතිය හැක. මේ නිසා රෝගීන් බොහෝ පීඩාවට පත්වේ. මේ සඳහා සමහර රෝගීන්ට දිගුකාලීනව ප්‍රදාහ නාශක ඖෂධ ගැනීමට සිදුව තිබේ.

ඉහත සඳහන් ප්‍රධාන සන්ධි ප්‍රදාහ තත්ත්වයනට අමතරව තවත් ආතරයිටීස් ඇතිකරන්නා වූ බොහෝ රෝග ඇත.

පොතු කබර රෝගීන්ට ඇතිවන සන්ධි ප්‍රදාහය - (psoriatic arthritis)

බහුලව තරුණ වයසේ පුද්ගලයන්ට වැළඳෙන සන්ධි ප්‍රදාහය. හෘදයට, ඇස්වලට හා කශේරුකාවලට මෙයින් බලපෑම් ඇතිවේ. (Ankylosing spondylitis)

පසු ආසාදිත සන්ධි ප්‍රදාහය (Reactive arthritis) වෛරස් ආසාදනයකට පසු ඇතිවේ.

ආන්ත්‍රික ප්‍රදාහ (Inflammatory bowel disease) නිසා ඇතිවන සන්ධි ප්‍රදාහ.

Gout යුරික් ඇසැඩ් සන්ධි මත තැන්පත් වීමෙන් ඇතිවේ. වකුගඩුවලටද හානි පැමිණිය හැක.

Septic arthritis - සන්ධිවලට විෂබීජ ඇතුළු වීමෙන් සිදුවේ.

TB arthritis - ක්ෂය රෝග විෂබීජ සන්ධිවලට ඇතුළු වීමෙන් ඇතිවේ.

► වෛද්‍ය සුමුදු බණ්ඩාරනායක
කායික රෝග විශේෂඥ - රජයේ මූලික රෝහල, කුලියාපිටිය

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00