2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

මැරෙන්න හිතෙන ලෙඩේ

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 750

දුක කියන එක අපි කාටත් පොදුයි. බුදුන් වහන්සේත් දේශනා කරලා තියෙනවා ඇලීම තියෙනකම් අපිට දුක ඇති වෙනවා කියලා. ඒ අනුව දුක කියන්නේ සදාතන ධර්මයක්. නොයෙකුත් විපත්වලට අපට මූණ දෙන්න සිදු වෙනවා. ඒවායෙන් සමහරක් සුනාමි, ගංවතුර, නායයෑම, සුළි සුළඟ වගේ ස්වභාවික විපත්. යුද්ධය අපි විසින් නිර්මාණය කරගත්ත විපතක්. 

අපි මෙහෙම හිතමු. යම් විපතකදී අපි ඉතාමත්ම ආදරය, කරපු පුද්ගලයකු. එහෙමත් නැත්නම් සතෙක් අපිට අහිමි වෙන්න පුළුවන්. මෙය දරාගත නොහැකි ශෝකයක්. මානසික ලෙඩක් නම් නොවේ. නමුත් මේ ශෝකය බෙදාගන්න නිසි ලෙස ඔවුන්ට උදවු වුණේ නැත්නම් එය මානසික රෝගයකින් කෙළවර වෙන්න පුළුවන්.

රුවනිට වයස අවුරුදු 17යි. රුවනි ජීවත් වුණේ හික්කඩුවේ. අම්මා තාත්තා හැරුණු කොට ඇය ඉතාමත්ම ආදරය කරන බලු පැටියා ටොමී. මුළු පවුලම සුනාමියට අහුවුණා. අම්මයි තාත්තයි රුවනියි නම් බේරැණා. ටොමී ආගිය අතක් නෑ. රුවනි ටොමීව හැමතැනම හෙව්වා. නමුත් ටොමී හමුවුණේ නෑ. රුවනි හැම තිස්සෙම කිව්වේ ‘නෑ... ටොමී මැරිලා නෑ.’ ටොමී ඉන්නවා. ටොමී කවදාවත් මැරෙන් නෑ කියලයි. 

රුවනි මාසයක් පමණ මේ විශ්වාසය තුළ හිටියා. මේ අවස්ථාවට මනෝ විද්‍යාවේ කියන්නේ හානියක් සිදු වී ඇති නමුත් එය මනස නොපිළිගන්නා අවස්ථාව කියලයි. (Denial Phase) ටොමී යළි කවදාවත් නොඑන බව අවබෝධ කරගන්න රුවනිට මාස දෙකක් විතර ගතවුණා. මෙහෙම රුවනි හිතන්න පටන් ගත්තා. ඇයි මට ටොමීව බේරා ගන්න බැරි වුණේ. මගෙ අම්මයි තාත්තයි මේකට වග කියන්න ඕනෑ. ඉතින් ඇය නිතරම රණ්ඩු වෙන්න පටන් ගත්තා. සමහර වෙලාවට තරහ පාලනය කරගන්න බැරුව බඩුත් පොළොවෙ ගහනවා. මනෝ විද්‍යාවේ මේ අවස්ථාවට හඳුන්වන්නේ තරහ යන කාලය (Anger Phase) කියලයි. 

මෙසේ මාසයක් පමණ යන විට ඇගේ තරහ අඩුවුණා. නමුත් ජීවිතය එපා වුණා. කලකිරුණා. නිතරම ටොමී ගැන සිතමින් කාලය ගත කළා. මෙහෙම ඉන්නකොට තමයි ඇය අපට යොමු වුණේ. අපි ඇය සමග ටොමී ගැන කතා කළා. ටොමී වෙනුවෙන් දානයක් දෙන්න කියලත් කීවා. ටොමීගෙ පින්තූර කීපයක් ඇගේ කාමරෙත් ගෙදරත් අලවන්න කියලත් කීවා. ටොමීගෙ තවත් පින්තූරයක් ඇගේ පර්ස් එකේ තියාගන්න කියලත් උපදෙස් දුන්නා.

ඇය කීපවතාවක්ම සායනයට පැමිණියා. ඇය ඇගේ දුක කියන විට අපි අහගෙන හිටියා. ඇය ඇති තරම් ඇඬුවා. අපි අඬන්න ඉඩ දුන්නා. රුවනි ක‍්‍රම ක‍්‍රමයෙන් මෙය ස්වභාවික විපතක ප‍්‍රතිඵලයක් බව අවබෝධ කරගත්තා. එය වළක්වාලීමට ඇයට හෝ මවුපියන්ට කළ හැකි කිසිවක් නොමැති බවද ඇය අවබෝධ කරගත්තා. මේ අවබෝධය ලබාගැනීම මනෝ විද්‍යාවට අනුව පිළිගන්නා කාලපරිච්ඡේදය (Acceptance Phase) ලෙස හඳුන්වනවා. මේ ඇතිවන දුකට තමයි Grief කියලා කියන්නේ. මේ දුක අසනීපයක් නොවෙයි.

එහි අවස්ථා අපි බලමු.

1. සිද්ධිය පිළි නොගැනීම (Denial)

2. තරහ යෑම (Anger)

3. මානසික පීඩාව (Depressive)

4. කේවල් කිරීම (Bargain)

5. ඇත්ත පිළිගැනීම (Acceptance)

විපතකින් පසු ඇති වන මේ දැඩි ශෝකය (අතුරුදහන් වීම, මිය යෑම) බෙදා ගැනීමට අපි නිසි ලෙස උපකාරී නොවුණොත් මෙය අසාමාන්‍ය දුකකට හැරෙන්න පුළුවන්. මේ අසාමාන්‍ය දුක (Abnorimal Grief) මානසික රෝගී තත්ත්වයක් ලෙස හඳුනා ගන්නවා.

මේ රෝගී තත්ත්වය හඳුනාගන්නේ කොහොමද?

• ජීවිතය එපා වීම හෝ ජීවිතය නැති කර ගැනීමේ සිතිවිලි.

• මැරුණු පුද්ගලයා නිතර මතක් වී එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු අතපසු වීම.

• මියගිය පුද්ගලයා ආශ්‍රිතව කරන භයානක හීන පෙනීම.

• දැඩි මානසික අවපීඩනය හෝ ක්ලමථය වැනි තත්ත්වයකට ගොදුරුවීම.

මෙවැනි විපතකට ගොදුරු වූ ඔබේ මිත‍්‍රයාගේ පවුලේ සාමාජිකයා වෙනුවෙන් ඔබ කළ යුතු දේ සහ ඔබ නොකළ යුතු දේ හඳුනා ගන්න. කළ යුතු දේ මියගිය හෝ අතුරුදන් වූ පුද්ගලයා ගැන කතා කිරීම. සිද්ධිය වූ ආකාරය පිළිබඳ කතා කිරීම. තමාගේ ජීවිතයට තම මිතුරා නැති වීමෙන් ඇති වූ බලවත් පීඩනය, පාඩුව ගැන කතා කිරීම.

මියගිය හෝ ආදරය කළ පුද්ගලයාගේ පින්තූර තමා සිටින ස්ථානයේ එල්ලා තැබීම හා ළඟ තබා ගැනීමට ඉඩ දීම. අඬන්න දෙන්න. අඬන විට එපා කියන්න එපා. අපි හිතමු රුවනිගෙ ආදරණීය බලු පැටියා කියලා. ඒ ආදරය ගැන කතා කරන්න. මියගිය කෙනා වෙනුවෙන් ඒ ඒ ආගමානුකූලව කටයුතු කිරීම හිත නිවන ක්‍රමයක්.

නොකළ යුතු දේ

එම පුද්ගයලයාගේ දුක ලඝුකොට සලකන්න එපා. (උදා: ඇයි ඔයා මේ බලු පැටියකුට අඬන්නෙ. සමහර අයගෙ මවුපියන් පවා සුනාමියෙන් නැතිවෙලා තියෙනවා.)

අහිමි වූ පුද්ගලයා ගැන කතා නොකර සිටීම. ආගමික ස්වරූපයකට සියලුම දේ බැර කිරීමට උත්සාහ කිරීම. (උදා: එයා හොඳ තැනක ඉපදේවි. එයා දෙවියන් වහන්සේ ළඟට යන්න ඇති.)

කළයුතු ඉතාමත් වැදගත් දෙය වන්නේ ජීවිතය එපාවීම, ජීවිතය නැති කර ගැනීමේ ක‍්‍රම ගැන කල්පනා කරමින් සිටින ඔබේ මිත‍්‍රයා හෝ මිතුරිය ඉක්මනින්ම මනෝ වෛද්‍යවරයෙකුට යොමු කිරීමයි. දුක (Grief) කියන්නේ මානසික ලෙඩක් නෙවෙයි. ඒත් අසාමාන්‍ය දුක (Abnorimal Grief) කියන්නේ මානසික රෝගී තත්ත්වයක්.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00