2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

අද ඔබ කවුද? ඊයේ ඔබේ ළමා කාලයයි

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 196

දරුවාගේ මොළයේ වර්ධනයට දෙමාපියන් සමඟ තියෙන සම්බන්ධතාවය ඉතාම වැදගත් සාධකයකි. කුඩාම කාලයේදී ස්පර්ශය, ඇස්වලින් සම්බන්ධ වීම, නැලවීම, දරු නැළවිලි කවි මේ සියල්ල මොළය සියුම් ලෙස උත්තේජනය කරයි. කුඩාම කාලයේදී දරුවාව දෙමාපියන්ගෙන් ඈත් වීම, ශාරීරික, මානසික හෝ ලිංගික අපයෝජනයන්ට ගොදුරු වීම මොළයේ හැඟීම් සහ බුද්ධියට අදාළ මධ්‍යස්ථානවලට හානිවී පෞරුෂයේ නොයෙකුත් ගැටලු හටගනී. එහෙමත් නැතිනම් ජීවිතය විඳින්න බැරි පෞරුෂයක් වැඩිහිටියෙකු ලෙස ඔහු හෝ ඇය අත්පත් කරගනී.

නයෝමිගේ කතාව
නයෝමි පේරාදෙණිය සරසවියේ තුන්වන වසරේ ශිෂ්‍යාවකි. ඇගේ ගම මාතරය. ශිෂ්‍යත්වයෙන් මෙන්ම සාමාන්‍ය හා උසස් පෙළ විභාගවලින් ඉතා හොඳින් සමත් වී ඇය සරසවියට පිවිසියාය. නයෝමිගේ මානසික ගැටලු රාශියක් නිසා ඇය අපට යොමු කළේ පේරාදෙණිය සරසවියේ උපදේශනය භාර ආචාර්යවරයෙකි. ඇය ලිපියක් ද අපට ලියා තිබුණි. එම ලිපිය මෙසේය.

වෛද්‍යතුමනි,
නායෝමි දක්ෂ සිසුවියකි. නිතරම කිපෙන සුළු චරිතයකි. ඇයට හැඟීම් පාලනය කර ගැනීමට අපහසුය. මේ ළඟදී ඇගේ පෙම්වතා සමඟ ඇති වූ ඉතා සුළු සිද්ධියක් අරඹයා ඇගේ අත බ්ලේඩ් තලයකින් කපාගෙන තිබුණි. වැඩිදුරටත් කරැණු සොයා බැලීමේදී ඇය මීට පෙර දෙසරයක්ම ජීවිතය නැති කර ගැනීමට උත්සාහ කර තිබේ. ඇයගේ මෙම මානසික තත්ත්වය පිළිබඳ සොයා බලා මෙම ගැටලු නිරාකරණය කිරීමට ඔබතුමාගේ උදව් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි.
මෙයට සරසවි ගුරුතුමිය.

අපි තවදුරටත් නයෝමිගෙන් කරුණු විමසා බැලුවෙමි. “මට හරියට තරහා යනවා. විශේෂයෙන්ම මගේ පෙම්වතා සමඟ. මම ඔහුට හවස 6ට හමුවන්න කියලා ඔහු 6.30ට ආවොත් ඒක මට දරාගන්න බැහැ. මට ලොකු බයක් හා සැකයක් ඇති වෙනවා ඔහු මාව දාලා යයි කියලා. මේ සැකයත් එක්ක මම ඔහු සමඟ හොඳටම රණ්ඩු වෙනවා. දවසක් මම රණ්ඩු වෙලා ඔහුගේ මූණ හොඳටම හීරුව. දැන් ඉන්නේ මගේ හතරවන පෙම්වතා. මම ඕන කෙනෙක්ට වේගයෙන් ළං වෙනවා. ඒ වගේම පොඩි දෙයක් ඇති මට හෝ ඇය එපා වෙන්න. සමහර වෙලාවට මට වචනයෙන් කිව නොහැකි විස්තර කළ නොහැකි අසාමාන්‍ය පාලුවක් දැනෙනවා. මේ පාලුවත් එක්ක ජීවිතේ නැති කර ගැනීමට සිතුවිලිත් එනවා. මගේ සිත වැඩිපුර පිරිලා තිබෙන්නේ අසුභවාදී සිතුවිලිවලින්.”

අපි වැඩිදුරටත් ඇගේ ළමා කාලය ගැන කරුණු විමසුවා. “මම කුඩා කාලේ සිට ඉගෙන ගන්න හරිම ආසයි. පන්තියේ පළවෙනියා නැත්නම් දෙවෙනියා. ඒත් මගේ තාත්තා හරියට මත්පැන් ගත්තා. අම්මත් එක්ක රණ්ඩු වුණා. අම්මට ගැහැව්වා. අම්මගෙයි තාත්තගෙයි රණ්ඩු මම නිතරම දැක්කා. තාත්තා හවස ගෙදර එනකොට මම හරි බයයි. එතකොට මගේ වයස අවුරුදු 06යි. මම පළවෙනි පන්තියේ හිටියේ. අම්මටත් ජීවිතේ එපාවෙලා හිටියේ. අම්මා සේරම දාලා රට ගියා. තාත්තා දිගටම බිව්වා. අම්මා ගියාට පස්සේ තාත්තාගේ බොනඑක තවත් වැඩි වුණා. මට ඇතිවෙන දුක හෝ සතුට බෙදාගන්න කිසිම කෙනෙක් ගෙදර හිටියේ නෑ. මම පාළු කාන්තාරයක අතරමං වුණා වගේ මට දැනෙනවා. ඒත් මම හොඳට ඉගෙන ගත්තා.”

මෙහි එන නයෝමි ගොදුරු වී ඇත්තේ හැඟීම් පාලනය කර ගැනීමට අපහසු පෞරුෂ භින්නතාවයකටය. ඔබේ දරුවා මොනතරම් දක්ෂයෙක් වුණත් ඔහුට ඉතා සුළු දෙයකින් කලබලයට පත්වන අනිත් අය සැක කරන, හැඟීම්වලට වහල් වී තීරණ ගන්න, හැඟීම් පාලනයට අපහසු පෞරුෂයක් නිර්මාණය වුවහොත් එය ඔහුගේ හෝ ඇයගේ මුළු ජීවිතයම අසාර්ථක වීමට හේතුවේ. යම් දරුවකු මෙවැනි තත්ත්වයකට ගොදුරු වීමට බලපාන සමාජ හා ජීව විද්‍යාත්මක කරුණු සොයා බලමු.

1. කුඩා කල නිසි ආදරය නොලැබීම
දරුවාට දෙමාපියන්ගේ ස්පර්ශය සහ හැඟීම් බෙදාගැනීමට අවකාශයක් තිබිය යුතුය. බොහෝ අප දෙමාපියන් පුරුදු වී ඇත්තේ දරුවන්ට නිතරම බලකිරීම, උපදෙස් දීමට දරුවාගේ සිතුවිලි ගැන සැලකිලිමත් වන්නේ නැත. ඔහු දුකින් ඉන්නේ නම් දුකින් සිටින්නේ දැයි අසන්නේ නැත. තරහින් හෝ කෝපයෙන් සිටින විටදී ඔබට තරහ ගියාදැයි අසන්නේ නැත. මහන්සිය හෝ විඩාව ගැන විමසන්නේ නැත. මේ සියල්ලම දරුවාට ඇති වන පීඩනයයි. මෙහි එන නයෝමිගේ ජීවිතය ගැන විමසා බලමු. පියා බේබද්දෙකි. මව විදෙස් ගතව ඇත. ඇයගේ දුක සැප හෝ සතුට බෙදා ගැනීමට පරිසරයක් නිවස තුළ නැත. මෙම පරිසරය නිසා නයෝමි ඉහත පෞරුෂභින්තාවයට ගොදුරු වී ඇත.

2. කුඩා කල යම් දරුවෙකු දැඩි ශාරීරික හෝ ලිංගික අපයෝජනයට ගොදුරු වුණොත් යම් දවසක දරුවා වැඩිහිටියකු ලෙස හැඟීම් පාලනය කරගත නොහැකි පෞරුෂයකට ගොදුරු විය හැක. අපේ රට තුළ දරුවන්ගෙන් 10%ක් පමණ ලිංගික අපයෝජනයට ගොදුරු වන බව වාර්තා වී ඇත. ගෘහ ප්‍රචණ්ඩත්වය 65%කි. පවුල් තුනකින් එක් පවුලක් මත්පැන් අවභාවිතා කරයි. මෙම පරිසරය තුළ බොහෝ දරුවන් ඉහත කී පෞරුෂ භින්නතාවයට ගොදුරු විය හැකි බව අපට පෙනීයයි.

3. හැඟීම් බෙදාගැනීමට අවකාශ නැති දැනෙන්න ආදරයක් නොමැති දැඩි පීඩාකාරී පරිසරයක හැඳී වැඩෙන දරුවන්ගේ මොළයේ සංවේදී මධයස්ථානවල ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවන බව ස්කෑන් පරීක්ෂණවලින් සොයාගෙන ඇත. මේ වෙනස්කම් මොනවාදැයි බලමු.

A. මොළයේ ඉදිරිපස හෙවත් මස්තිස්කයේ පරිමාව අඩුවීම.

B. ඇම්ග්ඩලා (Amygdala) යනු අපගේ භය සහ හැඟීම් පාලනය කරන මොළයේ ගැඹුරින් පිහිටි ඉතා සංවේදී ඉන්ද්‍රියකි. කුඩා කල ආදරය නොලැබුණ දරුවෙකුගේ මෙම මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය වැඩිවේ. මේ නිසා අසාමාන්‍ය කෝපය, තරහ යාම සහ අධික දුක වැනි මනෝභාවයන්ට ඉතා පහසුවෙන් ගොදුරු විය හැක.

C. ලලාටකණ්ඩිවේ (Pre-Frontal Cortex) පූර්ණ කොටස - මෙම ඉන්ද්‍රීය අපගේ මොළයේ විධායක මධ්‍යස්ථානය වන අතර, අපගේ හැඟීම්, බුද්ධිය, තීරණ ගැනීම් සියල්ල පාලනය කරනුයේ මේ කොටසිනි. කුඩා කල අපයෝජනයට ලක්ව දරුවකුගේ මෙම කොටසේ ක්‍රියාකාරීත්වය අවුල් වන බව පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

D. හැඟීම් පාලනය කරගත නොහැකි වීම හා ජාන අතරද සබඳතාවක් ඇති බව සමහර විශේෂඥයන්ගේ මතයයි. නිඹුල් දරැවන් ගෙන කළ සමීක්ෂණවලනි තහවුරැ වී ඇත්තේ 50%ක පමණ ජානමය සබඳතාවක් මීට තිබෙන බවයි. සියල්ලම ජාන නොවේ. ජානවලින් ලැබෙන සමහර හානිකර දෑ අවම කරගැනීමට ඔබගේ මොළය පුහුණු කරගත හැකිය.

දෙමාපියන්ට කළ හැකි දෑ,
හැඟීම් පාලනය කරගැනීමට ඔබේ දරුවා කුඩා කළ සිටම පුහුණු කරගත යුතුය.

I. දිනපතා දරුවා සමඟ යම් කාලයක් ගතකිරීම. ඔහු සමඟ එදිනෙදා ජීවිතය ගැන කතා කිරීම, ඔහුගේ මුහුණේ ප්‍රකාශ වන්නේ දුක නම් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම.

II. සාහිත්‍ය කෘති කියවීමට දරුවාගේ මනස හුරු කරවීම.

III. අනිවාර්යයෙන්ම ක්‍රීඩාවකට යොමු කිරීම.

IV. දරුවා සමඟ විනෝද වීමට කාලයක් තබාගැනීම.

V. දෙමාපියන් වන ඔබ යම්කිසි මානසික හෝ ලිංගික ගැටලුවකින් පෙළෙන්නේ නම් යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම් පිටුපස නොගොස් මනෝ වෛද්‍යවරයකු හමුවී ඒ ගැන සාකච්ඡා කිරීම.

► කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30