2019 ජුනි 01 වන සෙනසුරාදා

ඇට කැඩුණොත් හැදෙන අමුතු ලෙඩ!

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 151

අස්ථී බිඳීමක් එහෙමත් නැතිනම් සාමාන්‍ය කටවහර අනුව ඇටකටු කැඩුණොත් අපිට අනිවාර්යයෙන්ම රෝහලකට යන්න වෙනවාමයි. අපේ බොහෝමයක් දෙනා මේ වගේ සිද්ධියකදී රෝහලේදී මොකද වෙන්නෙ කියන එක ගැන දැනුවත්වයි ඉන්නෙ. “ප්ලාස්ටර් බදාමේ දාවි.... නැත්නම් ඇන්ටෙනාවක් දාවි... එහෙම නැත්නං ඉතින් ඇණ දාල ප්ලේට් එකක්දාවි....” පොදුවේ මේ ගැන ඇහැව්වොත් හුඟ දෙනෙක් දෙන උත්තරේ තමා ඒ. සාමාන්‍ය ව්‍යවහාරයේ මේ විදියට කීවත් අපි වෛද්‍ය විද්‍යාත්මකව නම් මේ ටික කියන්නේ “Plast Of Paris cast, External fixation, Internal fixation” කියන බරසාර විදිහටයි.

දැන් අපි බලමු අස්ථීයක් බිඳුනම කරන මේ කියන ප්‍රතිකාරයන්හිදී මොකද වෙන්නේ කියලා. ප්ලාස්ටර් බදාමේ ගැන හැමෝම දන්නවා. ඉහත කිව්ව සියලුම ප්‍රතිකාරවල  මුලික අරමුණ වෙන්නේ අස්ථීයේ වෙන්වුණු මුහුණත් පුළුවන් තරම් නැවත ලං කරලා, ස්ථාවරව නොසෙල්වී තියා ගන්න එකත් ඒ තුවාල ඇතුළට විෂබීජ ඇතුළු නොවන විදියට ආරක්ෂා කරගන්න එකත් තමා. (වැරදිලාවත් මේ අස්ථී ඇතුළට විෂබීජයක් ඇතුළු වුණොත් සෑහෙන කරදරයකට වැටෙනවා) ඒ වගේම අවශ්‍ය පෝෂණය ලබාදෙන එකත්, වේදනාව පාලනය කරගන්න එකත් තමයි මෙහිදී කෙරෙන්න ඕනෑ. මේ ටික හරියට කෙරුණොත් “ස්වභාවික සුවවීමේ ක්‍රියාවලිය අනුව” නැවතත් අස්ථීය හාවෙනවා, මේ සඳහා ගතවන කාලය නම් වයස, රෝගී තත්ත්වයන්, අස්ථියේ ස්වභාවය අනුව එකිනෙකට වෙනස් විය හැකියි.

මේ ලිපියෙන් අපි කතා කරන්නට හදන්නෙ ප්ලාස්ටර් දැමීම වෙනුවට දරුණු අනතුරුවලදී ඇණ සහ ප්ලේට් යොදා කැඩුණු ඇට සවිමත්ව සවිකිරීම ගැනයි. එහිදී මතුවිය හැකි අවදානම් ගැනයි.

“ඇණ සහ ප්ලේට්” යෙදීමේ මේ ක්‍රමය ප්‍රධානව වැදගත් වෙන්නේ  සුවවීමේ ක්‍රියාවලිය ඉක්මන් කරන “අස්ථීයේ වෙන්වුණු මුහුණත් පුළුවන් තරම් නැවත ළං කරලා, අස්ථීයේ නියම හැඩරුවට සකසලා, ස්ථාවරව, නොසෙල්වී තියා ගැනීම සඳහායි. මේ සඳහා සිදුකරන්නට වන්නේ ශල්‍ය ප්‍රතිකාරයක් තමා. එය  කරන  ආකාර දෙකක් තිබෙනවා. ඒ තමයි External fixation (ඔය කතාබහේදී කියන්නේ ඇන්ටනාවක් දාල කියලා) සහ Internal fixation. කතාබහට පින් දාල, ප්ලේට් දාලා කියලා කියන්නෙ මේ ක්‍රමයටයි. මේ ආකාර දෙකේදීම සිදුකරන්නෙ අස්ථී බද්ධ සැත්කමක් නැතිනම් orthopedic operation එකක්.

දැන් බලමු මොකක්ද මේ EF එකක් නැතිනම් ඇන්ටෙනාව කියලා කියන්නෙ කියලා. මේකෙදි කරන්නේ පිටතින් සම්බන්ධ කළ ලෝහමය රාමුවක් බිඳුනු අස්ථීය හරහා යන ඉස්කුරුප්පුවලින් සවිකරන එකයි. ඒ විදියට එම අස්ථීය බිඳීනු තැන පිහිටීම නිවැරදි කර ස්ථාවරව තියාගන්නටත්, සමහර විට බිඳුණු අස්ථි මුහුණත් අතර පරතරය අඩුවන්නට යම් පීඩනයක් යෙදීමටත් මෙය යොදා ගන්නවා. ඒ වගේම පිටතින් තිබෙන ඉස්කුරුප්පුව පාවිච්චි කරමින් අවශ්‍ය තරමට නැවත තද කරමින් හෝ බුරුල් කරමින් සුවවීමේ කාර්යයට සහාය වන්නට මේ පද්ධතිය උදව් වෙනවා.

ඒත් පොඩි ප්‍රශ්න කිහිපයක් නැතිවා නොවේ. මේ ලෝහ රාමුව අස්ථිය විදල හයි කරලා තිබෙන නිසාත් එහි කොටස් සම හරහා බාහිරට ඇවිත් තිබෙන නිසාත්, හොඳට පරිස්සම් කර නොගත්තොත් විෂබීජවලින් ආසාදනය වීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා EF එකක් external fixation එකක් දාල තිබේ නම් එහි බාහිරින් ඇති ලෝහමය කූරු මතුවූ තුවාල බොහොම පිරිසිදුව තබාගන්නට ඕන. නැතිනම් මේ වෙලාවේ අස්ථීය ඇතුළට විෂබීජයක් ගියොත් Osteomyelitis කියන රෝගය හැදිලා ඒක සමහරවිට මුළු ජීවිතයම වෙනස් කරන සාධකයක් බවට පත් වේවි.

මේ ලෝහමය රාමුව තාවකාලිකයි. ඒක ටිකක් කරදරයි වගේම පොඩි කැක්කුමක් තියෙන්නත් පුළුවනි. කොහොමටත් යම් කාල සීමාවට පස්සේ (කාල සීමාව අස්ථි බිඳීම අනුව වෙනස් වෙනවා) මේ රාමුව අයින් කරල දාන නිසා, ඒ දවස් ටිකේ විතරක් දුෂ්කර ක්‍රියා කරන්නට වෙනවා.

ඊළඟට බලමු Internal fixation එහෙම නැත්නම් එළියට මතු නොවෙන විදියට අස්ථි හයි කරන ක්‍රමය ගැන. මේ සඳහා ඇණ (Pin), ඉස්කුරුප්පු ඇණ (Screw) වගේම ලෝහමය දඬුත් (Rod) යොදාගන්නව. මීට අමතරව ඔය ඇණ, ඉස්කුරුප්පුවල උදව්වෙන් ටයිටේනියම් වගේ ලෝහවල හදපු Plate එකකින් අර කැඩිච්ච තැන හා කරල තබා ගන්නත් පුළුවන්. මීට අමතරව කම්බිත් පාවිච්චි කරන්නට සිදුවෙන අවස්ථා තිබෙනවා. වැදගත්ම දේ මේ සියලු උපකරණ හදල තියෙන්නේ මළ නොකන ඒ වගේම සැහැල්ලු සහ ශක්තිමත් ලෝහ භාවිත කරමින් ඒ ටයිටේනියම් හෝ කොබොල්ට් මිශ්‍ර කළ ලෙසින් වන්නට පුළුවන්. අනෙක් දේ මෙම උපකරණ අස්ථීයට ඇතුළු කරන්නේ, සම්බන්ධ කරන්නේ විෂබීජ රහිත ශල්‍යාගාරයක් තුළ. ඒ නිසා මේ උපකරණත් එක්ක ඇඟ ඇතුළට විෂබීජ ඇතුළු වන්නට ඇති අවදානම ඉතාම අඩුයි. නිසි පහසුකම් යටතේ නිවැරදිව කෙරෙනවා නම් අවදානම බිංදුවයි කියන්න පුළුවනි.

මේ “ලෝහ කෑළි” අපේ ඇඟේ අනෙක් පටකවලට හානියක් කරන්නේ නැහැ. අසාත්මික වන්නට හැකියාවත් අඩුයි. කොහොම වුණත් මේ External fixation නම් සති කිහිපයකින් ඉවත් කරනවා. ඒත් Internal fixation ඉවත් කරන්න හෝ ප්‍රතිකාරය අනුව ජීවිත කාලයටම ඒකත් එක්ක ජීවත් වෙන්න සිදුවෙනවා. කොහොම වුණත් මේ ඕනම ප්‍රතිකාරයකදී යම්  යම් අහිතකර ප්‍රතිපල ලැබෙන්නටත් ඉඩක් තිබෙනවා. දැන් අපි බලමු අන්න ඒ විය හැකි සීමිත ඉඩක් ඇති අනපේක්ෂිත දේ මොනවද කියන එක.

ආසාදන:

මේ අතරින් ප්‍රධානම දේ තමා ආසාදන. (Infections) මේ සඳහා රෝගියාගේ පෞද්ගලික පවිත්‍රතාව වගේම මේ ප්‍රතිකාර කටයුත්ත සිදුකරන ආකාරයත් යොදාගන්නා උපකරණවල පිරිසිදු බවත් මූලික වැදගත්කමක් දරනවා. ඒ වගේම රෝගියාගේ පෝෂණ තත්ත්වය වගේම මානසික තත්ත්වයත් මේ ආපදා සීමා කරගන්නට උදව්වෙනවා. ඊළඟට මේ බිඳීම ආශ්‍රිතව නැවත ලේ වහනය වන්නට සහ ලේ කැටිති ඇතිවන්නට ඉඩ තිබෙනවා. මේ අවස්ථාවලදී ස්ථානිකව, ඒ කිව්වේ තැනින් තැන ඇතිවන තද වේදනාව වගේම මඳ උණ ගතියක්, තුවාලය ආශ්‍රිතව සමේ පාටේ වෙනසක්, කෑම අරුචියක් වගේ ලක්ෂණත් අමතරව එන්න පුළුවන්. කොහොම වුණත් මේ අවස්ථා දෙකම බොහෝවිට ඔබ රෝහල් පරිසරයේ ඉන්න දවස්වලම හඳුනාගන්නට හැකි නිසා ලොකු කරදරයක් නැතිව ප්‍රතිකාර ගන්නට හැකියි.

නිදන්ගත රෝග:

මෙන්න මේ අය වෙන අයට වඩා ටිකක් පරිස්සම් වෙන්න ඕන. ඒ තමයි දියවැඩියාවෙන් පෙළෙන අය, හෘදයාබාධවලට ලක්වූ සහ ඊට ප්‍රතිකාර ලබන අය, මීට පෙර ලේ කැටි ගැසීම සම්බන්ධ ගැටලු තිබුණු අය වගේම දුම්බීමට ඇබ්බැහි වෙලා සිටින අය. මේ අයට ආසාදන සහ වෙනත් සංකූලතා ඇතිවීමේ සම්භාවිතාව ඉහළයි.

පරිස්සම් වෙන හැටි:

දැන් කොහොමද මේ ප්‍රතිකාරයත් එක්ක පරිස්සම් වෙන්න ඕන කියල බලමු, ප්‍රතිකාරයෙන් පස්සේ ඔබ දින කිහිපයක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අධික්ෂණය යටතේ රෝහලේ රඳවා ගන්නවා. ඒ දින හතක් දහයක් වගේ කාල සීමාවකට. වෙනත් ප්‍රශ්නයක් නොආවොත් ගෙදර යන්න පුළුවන්.

ඒත් ඔය ඇන්ටෙනාවත් එක්ක ගෙදර යන්න ටිකක් ලියකියවිලි වැඩ ටිකක් කරන්න වේවි. මොකද ඔය උපකරණය මිලෙන් වැඩියි. ඒ වගේම එය නැවත පාවිච්චි කරන්නට පුළුවන්. ඒ නිසාම External fixation එකක් එක්ක ගෙදර යන්න ඉස්සර වෙලා රෝහලේ නීති රීති අනුව සාමාන්‍ය ලියකියවිලිවලට අමතරව තවත් දේ නැවත ලබාගන්නා මුදල් තැන්පතුවක්, නැත්නම් යම්කිසි විදියට ඇපවීම කරන්නට වේවි. පෞද්ගලික රෝහලක නම් මෙහෙම අවශ්‍ය වෙන එකක් නැහැ. (මම ඒ ගැන නම් දන්නේ නැහැ) .

රෝහලේ ඉන්න දවස් ටිකේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ උපදෙස් අනුව ඉන්න එක හරිම වැදගත්. නියමිත කාල සීමාවට පස්සේ ඇඳෙන් බහින එක, අතපයවලට ව්‍යායාම කරන එක, අකමැතිම වුණත්, වේදනාව ඇති වුණත්, ඇඳෙන් බැහැලා ඇවිදීම නොකළොත් තවත් කරදර මතුවෙන්න ඉඩ තිබෙනවා. ඒ වගේම බෙහෙත් ටික හරියට ගන්න එක වැදගත්. බොහොමයක් විට ගැඹුරු ශ්වසන ව්‍යායාමත් කරවාවි. ඒකත් ඉතාම වැදගත්.

අවදානම් ලක්ෂණ:

මෙන්න මේ වගේ ලක්ෂණ ඇති වුණොත් ඉක්මණින්ම ඔබේ ප්‍රතිකාරය සම්බන්ධ රෝහලට, සායනයට නැත්නම් වෛද්‍යවරයා හමුවන්නට ඕනේ. මොනවද ඒ අවදානම් ලක්ෂණ.

අදාළ තුවාලය අවට කැක්කුම හුඟක් වැඩිවෙනවා නම් ඒ එක්කම ගැහිල උණ ගැනෙන තත්ත්වයක් ඇති වුණොත්, ඒ කියන්නේ ආසාදනයක පෙරනිමිති. මේක බලාගෙන ඉන්න හොඳ තත්ත්වයක් නොවේ.

ඒ වගේම තුවාලයෙන් ලේ වහනය වීමක් (වැඩිවීමක්) සිදුවනවා නම්, නැත්නම් ප්‍රතිකාරයට අදාළ අත නැත්නම් කකුලේ හිරිවැටීමක්, පණ නැති ගතියක් දැනෙන්න පටන් ගත්තොත්, දෙන බෙහෙත්වලින් වේදනාව අඩුවෙන්නේ නැත්නම්, නැත්නම් වේදනාව වැඩිවෙනවා වගේ දැනෙනවා නම්... ඉක්මණින් ඔබේ වෛද්‍යවරයා හමුවීම වැදගත්.

මේ වගේ ලක්ෂණ එක්ක හෝ නැතිව මුත්‍රා දැවිල්ල, මුත්‍රා එක්ක ලේ පිටවීමක්, එහෙම නැත්නම් හුස්ම ගැනීමට අමාරු ගතියක්, “පපුවේ සෙම එකතු වෙලා“ වගේ, නැත්නම් මහන්සිය වැඩි බවක් දැනෙනවා නම් මේව ප්‍රතිකාරයෙන් පස්සේ ඇතිවන්නට පුළුවන් ද්විතීක ගැටලු වෙන්නට පුළුවන්. මේ හැමදෙයක් ගැනම දැනගෙන නිසි අවධානයෙන්, වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කළොත් ලොකු කරදරයක් නැතිව ඔබේ අස්ථි බිඳීම සුව කරගන්නට හැකියි.

- සුගත්

 

 

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30