2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

කන්තෝරුවට ගෝරි

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 1033

ඇමැතිකම් ලැබුණාට ඉන්න හිටින්න කන්තෝරු නැති ඇමැතිල දෙන්නෙක් ගැන සතියෙ මුලදි අපට අහන්න ලැබුණා. පුදුමෙ කියන්නෙ මෙයින් එක්කෙනෙක් කැබිනට් ඇමැති කෙනෙක්ලු.... අනෙක් එක්කෙනා රාජ්‍ය ඇමැති කෙනෙක් කියලයි ආරංචි....

දෙන්නම අත පාටියෙන් ආණ්ඩුවට සේන්දු වුණ ප්‍රබල චරිත... එක්කෙනෙක් රුහුණෙ.... අනෙකා රජරට. මේ විදියට අසාධාරණ ලෙස ඇමැතිවරුන්ගේ රාජ්‍ය ඇමැතිවරුන්ගේ කන්තෝරු ප්‍රශ්නය ඇතිකරල තිබෙන්නෙ පොහොට්ටුවෙ අයිතිකාරයො වගේ ඉන්න දෙතුන් දෙනෙක් කියලයි ආරංචි....

එයින් සමහරැන්ට කැබිනට් අමාත්‍යංශ තුන හතරක් එකතු කරල අමාත්‍යංශ හදල දුන්න අය... එයින් අමාත්‍යංශ තුනක් භාරව ඉන්න කැබිනට් ලොක්කෙක් එයින් එක අමාත්‍යංශයක රාජ්‍ය ඇමැති හැටියට පත්වුණ රජරට ලොක්කෙකුට තනතුරේ හැටියට ගැලපෙන කාමරයක් දුන්නෙ නැහැ කියල පැමිණිල්ලක් කරල කන්තෝරැවක් නැති නිසා තමන් ගෙදර ඉඳන් වැඩකරන වගත් ආණ්ඩුවේ ලොක්කන්ට දන්වලාලු...

ඊළඟට රැහුණෙන් ආපු විෂයන් ගණනාවක් භාර කැබිනට් ඇමැතිගෙ අමාත්‍යංශයේ ඇමැති කාර්යාල දෙකම රාජ්‍ය ඇමැතිල අල්ලගෙනලු...

එයාල පොහොට්ටුවෙ අයිතිකාරයො වගේ ඉන්න උදවිය බවයි ආරංචි. දැන් මේ ප්‍රශ්නය නිසා ඇමැතිතුමා බලවත් කනස්සල්ලෙන් ඉන්න බව ආරංචියි....

ඒත් රටේ වගකිවයුත්තන්ගෙන් දැඩි විනයක් බලාපොරොත්තු වන නව ජනාධිපතිතුමා මේවා ‍මෙහෙම වෙන්න ගියොත් දෙන්න යන විසඳුම සැර එකක් වෙන්න පුළුවන් බව තතු දත් අය කියනව.

කන්තෝරැ කාමරේ බෙදාගන්න බැරුව රටට වැඩ කරනවය කියන කටින් බතල හිටවන්නන් ගැන දැනටමත් දැඩි අවධානයක් යොමුවෙලා බවයි ආරංචි.