2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

දේශපාලන පිංවතා

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 675

අලි පෙරමුණේ මහරැස්වීමට ගෝල්ෆේස් එකට ලොකු සෙනගක් ආව.. ලංකාවෙ හැම පළාතකින්ම මේ සෙනග ඇවිත් තිබුණ බවත් ප්‍රසිද්ධ කාරණයක්.

උත්සව සංවිධාන කස්ටිය මේ ජනහමුව ලෑස්ති කරද්දි ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ඒ ඈත පළාත්වලින් එන ජනතාවට බස්වලින් ප්‍රවාහන පහසුකම් සැලසීම..

මේ වැඩේට බස් විශාල ගණනක් ඕනෑ බව ගණන් බලලා තිබුණා.. ඒවා ගමනට සූදානම් කරගත්තත් ඡන්දෙටත් සෑහෙන මුදලක් වියදම් කරන සමහර මැතිඇමැති ගොල්ලන්ට බස්වලට ගෙවන්න මුදල් සොයාගැනීම ප්‍රශ්නයක් වුණා කියලා ආරංචියි.
මුදල් නොගෙවා ආණ්ඩුවේ බස් ගැනීම නීතියෙන් තහනම් හින්දා සංවිධායකයො මුහුණ පෑවෙ ලොකු ප්‍රශ්නයකටයි.

කොහොම හරි මේ ගැන කතා කරන්න අලිපෙරමුණේ ලොක්කො පිරිසක් රුස්වුණා. බස්වලට ගෙවන්න තිබෙන මුදල රුපියල් දස ලක්ෂ ලොකු ගණනක් බවත් එතෙන්දි හෙළිදරව් වුණා. හැබැයි කවුරුවත් ඒ බර දරන්න සූදානම් බවත් පෙන්නුවෙ නැතුව එහාට මෙහාට ඇඹරෙන්න ගත්තෙ බිල හුඟක් විශාල නිසයි.

මෙන්න මේ වෙලාවෙ එකපාරටම තරගයේ වීරයා බිහිවුණා. උන්නැහේ නැගිටලා රැපියල් දස ලක්ෂගණන්වලින් ගණන් කළ හැකි බස් බිල තමන් ගෙවා දමන බව කියමින් අවශ්‍ය පොරොන්දුව දුන්න.. හැමෝම සැනසුම් සුසුම් හෙලුවෙ ඉන්පසුවයි.
ඉතින් හැමෝම කැමැති ඇති මේ දැවැන්ත බස් බිල ගෙවූ දේශපාලන පිංවතා කව්ද කියල දැනගන්න. ඒත් ඒ ගැන තමන්ට කිසිම ගෞරවයක් ඕන නැහැ කියපු මේ දේශපාලකයා විල්පත්තු පැත්තෙන් ගමේ යන්න පිටත්වුණා.

රැස්වීමේ හිටපු අය සතුටින් විසිර ගියා.