පැනමා ධජය යටතේ ක්‍රියාත්මක නිව් ඩයමන්ඩ් නෞකාව බොරතෙල් ප්‍රවාහනයේ පළපුරුදු යාත්රාවකි. කුවේටයේ මීනා අල් අහමඩ් වරායේ සිට ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ පිහිටි පරදිප් වරාය දක්වා බොරතෙල් මෙට්‍රික් ටොන් 270,000ක් රැගෙන ගමන් අරඹා වැඩි දිනක් නොවීය. ඉකුත් 3 වැනිදා අලුයම වෙද්දී නිව් ඩයමන්ඩ් නෞකාව ලංකාවට නැගෙනහිර මුහුදේ යාත්‍රා කරමින් තිබිණි. නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරය තුළ නැගෙන සුපුරුදු හඬ මොහොතකට වෙනස්ව ගොස් සැණෙකින් පිපුරුම් හඬක් සමඟ දුම් වළාවක් නැග ඒ අතරින් ගිනිදළු නැග්ගේ කාටත් කිසිවක් සිතාගැනීමට අවස්ථාවක් ඉතුරු නොකරමිනි.
පිපිරැම සිදුව තිබුණේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ බොයිලේරුව ආශ්රයෙනි. එම ස්ථානයේ සේවය කරමින් සිටි පිලිපීන ජාතික නාවිකයකු මරණයට පත්වූයේ පිපිරැමේ ප්‍රබලත්වය නිසාය. ක්ෂණයකින් නැගුණු ගින්න සමඟ ආසන්නයට පැමිණ සහාය ලබාදීමට ඉදිරිපත්ව තිබුණේ යාත්‍රා කරමින් තිබූ වෙළෙඳ නෞකාවක් වූ Helan M ය. එහි කාර්ය මණ්ඩලය ප්‍රථමයෙන් සිදුකර තිබුණේ ගිනි ගැනීමට ලක්වන නෞකාවේ කාර්ය මණ්ඩලය මුදාගැනීමය. එහි ග්‍රීක හා පිලිපීන ජාතිකයන් 23 දෙනකු සිටි අතර මියගොස් සිටියේ පිරිසෙන් කෙනෙකි.
ඉකුත් 3 වැනිදා පෙරවරු 7.45ට පමණ නිව් ඩයමන්ඩ් හෙවත් නව දියමන්තිය නෞකාවේ පිපිරීම සිදුව තිබුණේ නැගෙනහිර වෙරළේ සංගමන්කන්ද තුඩුව සිට මුහුදු සැතපුම් 38ක් ඈතිනි. එම නෞකාවේ සහායට පැමිණ තිබූ Helan M නෞකාවේ කිසිවකුටත් ගින්නට එරෙහි පිළියමක් කිරීමට හැකිව නැත. එම තත්ත්වය වටහාගත් ඔවුන් කොළඹ පිහිටි සමුද්‍රීය ගලවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) වෙත ක්ෂණික ආපදා සංඥාවක් නිකුත් කොට තිබිණ. ඊට වහා ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාව සහන සැලසීම සඳහා විශේෂ නෞකා කණ්ඩායමක් එම මුහුදු ප්‍රදේශයට පිටත් කර යැවිණ.
එතැන් සිට ක්‍රියාත්මක වූයේ නිව් ඩයමන්ඩ් නෞකාව මුදාගැනීමේ මෙහෙයුමය. විසල් අහස යට ඉමක් කොණක් නැති මහා සාගරය පමණය. නිව් ඩයමන්ඩ් නෞකාවේ පසුපස කොටසේ පිහිටි යන්ත්‍ර කාමරය අසලින් නැගෙන ගිනිදැල් පරදමින් දුම්රොටු අහසට නැගෙමින් තිබිණ. උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ කිසිවකුටත් ගිනිගෙන දැවෙන යාත්‍රාවට ගොඩවීමට අවස්ථාවක් නොවීය. ඒ වන විටත් එම නැවෙන් මුදාගෙන සිටි කාර්ය මණ්ඩලය Helan M නෞකාවෙන් ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාව වෙත බාර දී තිබිණ.
ශ්‍රී ලංකාවේ පශ්චාත් කොවිඩ් වසංගත සමය තුළ විදේශිකයන් ඇසුරු කිරීම තබා කාර්යාලයක හෝ නිවැසියන් එකට ආශ්‍රය කිරීමද සීමාසහිත විය යුතුය. එවැනි අවදානමක් සෞඛ්‍ය අංශ පෙන්වා තිබියදී විදේශීය නෞකාවක විදෙස් කාර්ය මණ්ඩලය මුදාගෙන ඔවුන් නිරුපද්‍රිතව රඳවාගෙන තිබුණේ කොවිඩ් 19 මාර්ගෝපදේශ අකුරටම පිළිපදිමිනි. ඒ සමඟම අනතුරින් බේරාගත් නාවික පිරිසට ඔවුන්ගේ ළඟම ඥාතීන්ට දුරකතන මගින් අමතා අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව සලසා දී තිබුණේ ඔවුන්ගේ කැළඹුණු මානසිකත්වය යථා තත්ත්වයට පත්කිරීමේ අදහසිනි.
මේ අතර රණරිසි නෞකාව ආපදාවට පත් නෞකාව අසලට ගොස් නාවික හමුදා මුදවාගැනීමේ කණ්ඩායම් නිව් ඩයමන්ඩ් නෞකාව වෙත ගොඩබස්වා එහි තුවාල ලබා සිටි පිලිපීන ජාතිකයකු මුදාගෙන තිබිණ. ඔහු නෞකාවේ තෙවැනි ඉංජිනේරු නිලධාරියාය. එසැණින් එම රෝගියා ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා කල්මුණේ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනිණ. ලංකා මුහුදු සීමාව නිසා ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකය පුරා කියැවුණු ප්‍රවෘත්තියක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීමට සම්බන්ධ නාවික මෙහෙයුම පිළිබඳ අදහස් දක්වන නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා මෙලෙස පැවසීය.
“සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 38ක් දුරින් වූ අනතුර දැනගත් වහාම අපි අවශ්‍ය මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කළා. පැනමා ධජය යටතේ INO-9191424 අංකයෙන් ලියාපදිංචි වෙලා තිබුණු නෞකාව තුළ බොරතෙල් මෙට්‍රික් ටොන් 270,000ක් තියෙන බව දැනගත්තා. ඒ වගේම නෞකාවේ භාවිතය සඳහා පමණක් අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් 1700ක් ගබඩා කර තිබෙන බවද දැනගත්තා. ඒ නිසා තත්ත්වය බැරෑරුම් බව අවබෝධ කරගෙන කටයුතු කළා. කොවිඩ් අවදානම නිසා සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් අනුගමනය කරමින් මුදාගැනීමේ කටයුතු කළා. ඔවුන් නිරුපද්‍රිතව මුදාගැනීමෙන් පසුව ගොඩබිමට රැගෙන ආවා. අනතුරුව අවශ්‍ය ප්‍රතිකාරවලට පස්සේ හුදෙකලාව තැබීමට අවශ්‍ය පියවර ගත්තා. ආපදාවට ලක්වූ නෞකාවට සහාය වීම සඳහා නාවික හමුදා නෞකා 3ක් සමඟ වේග ප්‍රහාරක යාත්‍රාවක් යෙදවූවා. ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ටග් යාත්‍රා දෙකක් යොදවන්න කටයුතු කළා. ඒ සමඟ සැපයුම් කටයුත්තක් සඳහා හම්බන්තොට වරායට පැමිණ තිබූ රැසියානු සමූහාණ්ඩුවට අයිති යුද නෞකා දෙකක් මෙහෙයුමට සම්බන්ධ වුණා. ඊට අමතරව ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයිති (සෞර්යා) නෞකාව ගින්න නිවීමේ මෙහෙයුමට සම්බන්ධ වුණා. ඊට අමතරව ඔවුන්ගේ තවත් නෞකාවක් සමඟ ඉන්දීය නාවික හමුදාවට අයිති යුද නෞකා 3ක් සහන සැලසීමට, ආපදා කළමනාකරණයට හා මුදාගැනීම සඳහා දායක වුණා. තත්ත්වය බරපතළ නිසා අපි ශ්‍රී ලංකා ගුවන් හමුදාව දැනුම්වත් කරලා අවශ්‍ය ගුවන් සහාය ඉල්ලුවා. අන්තර්ජාතික සම්මුතීන් යටතේ ඇති ජාත්‍යන්තර බැඳීම් අනුව ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදාගැනීමේ කලාපය තුළ මෙවැනි මෙහෙයුම් කිරීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරිලා තිබෙනවා. ගින්න පාලනය කිරීමට අවශ්‍ය සිසිලන ආවරණ ලබාදීම සඳහා යාත්‍රා කිහිපයක් කටයුතු කළා. මේ ආකාරයට නාවික යාත්‍රා 9ක් ඒකරාශි වෙලා ගින්න නිවීමට අවශ්‍ය පියවර ගත්තේ ගොඩබිමට නාවික සැතපුම් 40ක් පමණ ඈත මුහුදේ සිටයි. එම ප්‍රදේශයේ හටගත් අධික සුළඟ නිසා මුහුදේ රළු බව මෙහෙයුමට බාධාවක් වුණා. මේ නිසා නෞකාවේ ඇතුළත වූ ගිනිපුපුරු හා රත්වීම නිසා පාලනය කර තිබූ ගින්න යළිත් ඇවිළුණේ 7 වැනිදා. මේ මෙහෙයුමේදී අපේ ශක්තියට ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුල සිටම එක්ව සිටියා. මේ සියලු මෙහෙයුම් නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් මත සිදු කළා.”
නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පාලනය සඳහා නෞකා 9ක් සමඟ ටග් යන්ත්‍ර 5ක් යොදවා තිබුණු අතර ගින්න පාලනය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිදුකළ මෙහෙයුම විශේෂය. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ සහ ගුවන් හමුදා මෙහෙයුම් අධ්යක්ෂ එයාර් මාර්ෂල් රවී ජයසිංහ මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකළ මෙකී මෙහෙයුම ගුවන් හමුදා ඉතිහාසයේ සුවිශේෂී ක්‍රියාන්විතයකි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ග_ප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා මෙලෙස අදහස් දැක්වීය.
“ගුවන් හමුදාව වෙත අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලැබුණු පසුගිය 3 වැනිදා ගුවන් හමුදාවේ අංක 03 සමුද්‍රීය බලගණයට අයත් බීච් කින් 200 (Beech King 200) ගුවන් යානය යොදවලා අනතුර සම්බන්ධයෙන් නිරීක්ෂණය කළා. එම යානය මගින් ගිනිගන්නා යාත්‍රාව වීඩියෝ සහ ඡායාරූපගත කළා. ප්‍රථමයෙන්ම දකින්න ලැබුණේ එන්ජින් කාමරයේ ගින්න එහි කවුළුවකින් එළියට එන බවයි. ඒ වෙද්දී නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ගින්න නිවීමට සහාය වෙමින් හිටියා. ඊට පස්සේ අපේ ගුවන් හමුදාවට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටරයක් මගින් බැම්බි බකට් එක ආධාරයෙන් වතුර ඉසීම කළා. පළමු දවසේ වතුර ලීටර් දස දහසක් ඉසීමට හැකි වුණා. මේ බැම්බි බකට් එක්ක වතාවකට වතුර ලීටර් 2500ක් ගෙනියන්න පුළුවන්.
නැවත පසුවැනිදා 4 වැනිදා නැවත මෙහෙයුම පටන් ගත්තා. එදා උදේ බීච් කින්ග් 200 නිරීක්ෂණ යාත්‍රාවට අමතරව Y-12 නිරීක්ෂණ යාත්‍රාවත් මාරුවෙන් මාරුවට දවස පුරාම යෙදවූවා. ඊට පස්සේ MI-17 හෙලිකොප්ටරයෙන් නැවත වතුර ලීටර් 155000ක් දැම්මා. ඒකට ගුවන් මෙහෙයුම් 62ක් කළා. මේ දිනයේ ගුවන්යානා 3ක් මෙහෙයුමට දායක වුණා. 5 වැනිදා MI-17 යානාවෙන් වතුර ඉසීම් වාර 70ක් සිදු කළා. එදා වතුර ලීටර් 175,000ක් දැම්මා. මේ දිනයේත් ගුවන් අධීක්ෂණය සඳහා යානා දෙකක් නිරතුරුවම යොදා තිබුණා. නැවේ ගින්න පාලනය වන බවක් පෙනෙන්න නොවුණු නිසා ගුවන් හමුදාපතිතුමා, ගුවන් මෙහෙයුම් අධ්යක්ෂතුමා සහ ගුවන් හමුදා ප්‍රධාන ගිනි නිවීම් බාර නිලධාරී එක්ව විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී තීරණය කළා විශේෂ රසායන ද්‍රව්‍යයක් ගින්න සහිත නෞකාවට ඉසීමට. මේක වියළි රසායන ද්‍රව්‍යයක්. ඒක පසුවැනිදා 6 උදේ ක්‍රියාත්මක කළා. එදත් ගුවන් නිරීක්ෂණ යානා දෙක ක්‍රියාත්මක වෙද්දී අංක 07 හෙලිකොප්ටර් බලගණයට අයත් බෙල් 212 හෙලිකොප්ටරය මගින් ඩ්‍රයි කෙමිකල් පවුඩර් කිලෝ 500 බැගින් දෙවතාවක් දැම්මා. MI-17 යානය මගින් එදා වතුර ලීටර් 100,000 දාන්නත් ක්‍රියා කළා. මේ වෙද්දී වතුර ලීටර් 440000ක් දමා තිබුණා. මේ කෙමිකල් නැවට වැටුණාම රත්වුණු තහඩුවල කෙමිකල් ඇලෙනවා. එතකොට කාබන්ඩයොක්සයිඩ් නිපදවෙනවා. ඒත් සමඟම ඔක්සිජන් සමඟ පවතින සබඳතාව බිඳෙනවා. එදා හවස ගින්න පාලනය වන බව දැක්කා. එදා ගින්න නිවා දැමුවාට 7 වැනිදා නැවත ගින්න ඇතිවුණා. එදත් ඩ්‍රයි කෙමිකල් පවුඩර් කිලෝ 3000ක් දැම්මා. බෙල් 212 සහ MI-17 ගුවන් යානා අම්පාර කඳවුරේ තිබෙනවා. නාවික හමුදාවේ දැනුම්දීම මත ඕනෑම මොහොතක මෙහෙයුම් සඳහා දායක වීමට එම යානා සූදානමින් සිටිනවා. ගින්න සම්පූර්ණයෙන් නිවෙන තෙක් ගුවන් හමුදාව මෙහෙයුමේ නිරතව සිටියා. ඒ සඳහා ගුවන් නියමුවන් සහායකයන් ඇතුළු කාර්ය මණ්ඩල සක්‍රීයව දායක වුණා.”
මේ අතර ගින්න හටගත් නෞකාවේ සිට කිලෝමීටරයක් පමණ ඈත මුහුදට ඉන්ධන පැල්ලමක් නිරීක්ෂණය කළ ගුවන් යානා එය පැතිරීම වැළැක්වීම සඳහා රසායන ද්‍රව්‍යයක් ඉසීමට පියවර ගැනිණි.
මෙහෙයුම සඳහා නාවික හමුදාව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, ගුවන් හමුදාව, ඉන්දීය නාවික හමුදාව, සමුද්‍රීය පරිසර අධිකාරිය ඇතුළු අංශ ගණනාවක දායකත්වය ලැබී තිබිණ. ඒ අනුව ගින්න හේතුවෙන් සමුද්‍ර දූෂණයක් සිදුව ඇත්දැයි සෙවීමට ජාතික ජලජ සම්පන් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනය ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හා රැහුණු විශ්වවිද්‍යාලයට අයත් පරිසර නිලධාරී කණ්ඩායමක් එම මුහුදු ප්‍රදේශයට ගොස් ජල නියදි ලබාගැනීමට කටයුතු කළහ. වැඩිදුර පරීක්ෂණ සඳහා ඒවා රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇත.
මේ අතර ආපදා තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කිරීමෙන් පසුව ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥ පුහුණුව ලැබූ නාවික හමුදා කණ්ඩායමක් නිව් ඩයමන්ඩ් නෞකාව වෙත ඇතුළු වී නැවත පැමිණි බව නාවික හමුදාව අවධාරණය කළේය.
සමන්ත ප්‍රදීප් විල්තෙර
සේයාරූ අනුග්‍රහය - නාවික හමුදාව හා ගුවන් හමුදා මාධ්‍ය අංශ