2018 ජුලි 07 වන සෙනසුරාදා

දකුණු අප්‍රිකා තරග දැවැන්ත අභියෝගයක්

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 175

දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකකින්, එක්දින තරග පහකින් සහ විස්සයි20 තරගයකින් සමන්විත දීර්ඝ තරග සංචාරයකට සහභාගි වීම සඳහා පසුගිය සඳුදා ශ්‍රී ලංකාවට පැමිණියේය. දකුණු අප‍්‍රිකානුවන් මෙම තරගාවලියට ශාරීරික යෝග්‍යතාවයෙන් සිටින සියලුම ප‍්‍රබලයන්ගෙන් සන්නද්ධව පැමිණීමෙන් ශ්‍රී ලංකාවට ඉදිරි මාසයක පමණ කාලය වඩාත් අමාරු වනවාට සැක නැත.  

දිනේෂ් චන්දිමාල් ප‍්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට කොදෙව් සංචාරය අවසන් කළ වහාම දැවැන්ත අභියෝගයක් බාරවී තිබේ. මෙහිදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වඩාත් බරපතළම ගැටලුව බවට පත්ව ඇත්තේ ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැසක් ආබාධයකට ලක්ව සිටීමය.

ශ්‍රී ලංකා පිලේ ප‍්‍රබලතම සහ ජ්‍යෙෂ්ඨතම පන්දු යවන්නා වන දඟපන්දු යවන රංගන හේරත්, කොදෙව්හිදී ආබාධයකට ලක්විය. ඒ හේතුවෙන් රංගනට අවසන් ටෙස්ට් තරග දෙක අහිමිවූ අතර දකුණු අප‍්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියේදී රංගනගේ පන්දු යැවීම තීරණාත්මක සාධකයක් වනවාට සැක නැත. කෙසේ වෙතත් රංගනට ඉදිරි ටෙස්ට් තරගාවලියට සහභාගි වීමේ හැකියාව තිබේද යන්න සැකසහිතය. එසේ වුවහොත් ඩිල්රුවන් පෙරේරාට දඟපන්දු යැවීමේ අංශයේ බර කරට ගැනීමට සිදුවනු ඇත.

තුන් ඉරියව් ක‍්‍රීඩක අසේල ගුණරත්න ආබාධය සුවවීමෙන් පසුව සාර්ථක නොවූ අතර ඔහු මෑතකදී ‘ඩෙංගු’ උණ වැළදී සුවවීමෙන් පසුව විවේක ගෙන සිටියි. වේගපන්දු යවන්නන් වන නුවන් ප‍්‍රදීප්, දුෂ්මන්ත චමීර සහ ළහිරු ගමගේ ආබාධයන්ට ලක්ව සිටින අතර ඔවුන් මෙම තරගාවලියට සහභාගිවිය හැකි ශාරීරික යෝග්‍යතාවයක පසුවන්නේ දැයි තවම තීරණයක් නැත.

තරග කාලසටහන

♦ ජූලි 12 සිට 16 - පළමු ටෙස්ට් තරගය ගාල්ල ක‍්‍රීඩාංගණයේදී 
♦ ජූලි 20 සිට 24 - දෙවැනි ටෙස්ට් තරගය එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී
♦ ජූලි 29 - පළමු එක්දින තරගය දඹුල්ල ක‍්‍රීඩාංගණයේදී (දිවා)
♦ අගෝ. 01 - දෙවැනි එක්දින තරගය දඹුල්ල ක‍්‍රීඩාංගණයේදී (දිවා/රාත‍්‍රී)
♦ අගෝ. 05 - තෙවැනි එක්දින තරගය පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී (දිවා)
♦ අගෝ. 08 - සිවුවැනි එක්දින තරගය පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී (දිවා/රාත‍්‍රී)
♦ අගෝ. 12 - පස්වැනි එක්දින තරගය ආර්. රේමදාස ක‍්‍රීඩාංගණයේදී (දිවා/රාත‍්‍රී)
♦ අගෝ. 14 - විස්සයි20 තරගය ආර්. ප්‍රේමදාස ක‍්‍රීඩාංගණයේදී (රාත‍්‍රී)

ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් බංග්ලාදේශ සංචාරයට සහභාගි වී සිටින අතර දිමුත් පළමු තරගයේදී ශතකයක් රැස්කරමින් ලකුණු අතරට පැමිණ සිටීම එක අතකින් වාසියක් බවට පත්ව තිබේ. ඇන්ජලෝ මැතිව්ස් පෞද්ගලික හේතුවක් මත කොදෙව් සංචාරය අතරතුරදී නැවත ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහු ඉදිරි සංචාරය සඳහා සූදානම්ද යන්න තවමත් ප්‍රශ්නයකි.

දකුණු අප‍්‍රිකානු සුපිරි වේගපන්දු යවන ක‍්‍රීඩක ඩේන් ස්ටේන් පාදයේ ආබාධයකට ලක්ව මාස හයකට ආසන්න කාලයක් ක‍්‍රීඩාවෙන් ඉවත්ව සිට මෙම සංචාරයේදී නැවත ටෙස්ට් පිටියට පැමිණීමට සූදානමින් සිටියි. ස්ටේන් නැවත පන්දුව අතට ගැනීම ශ්‍රී ලංකා පිතිකරුන්නට එතරම් සුබදායි පණ්වුඩයක් නම් නොවේ. දකුණතින් වේගපන්දු යවන ස්ටෙන් මේ වනවිට ටෙස්ට් තරග 86 කදී කඩුලු 419 ක් ලබා සිටින අතර දකුණු අප‍්‍රිකානු ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වීමට ස්ටේන් තමත් කඩුලු 3 ක් පමණක් පිටුපසින් සිටියි. හිටපු වේගපන්දු යවන ක‍්‍රීඩක ෂෝන් පොලොක් කඩුලු ටෙස්ට් තරග 108 කදී කඩුලු 421 ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලාභී වාර්තාවට හිමිකම් කියයි.

ප‍්‍රබල වේගපන්දු යවන ක‍්‍රීඩක වර්නන් පිලෙන්ඩර් සහ 22 හැවිරිදි දකුණතින් වේග පන්දු යවන ලුන්ගි න්ගිදි ද මෙම සංචාරයට එකතුව සිටිති. ජ්‍යෙෂ්ඨ දඟපන්දු යවන්නකු වන වමතින් දඟපන්දු යවන කෙෂාව් මහරාජ්ට අමතරව කෝඩුකාර වමතින් චයිනමන් පන්දු යවන්නකු වන තබ්රිෂ් ශම්සි ද මෙම සංචාරයේදී එකතුව සිටියි.

දකුණු අප‍්‍රිකාව පිතිකරු අංශයෙන් ද වඩාත් ප‍්‍රබල යැයි කිව හැකිය. ඩීන් එල්ගර් සහ එඩ්න් මාර්ක්රන් ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කිරීමට බොහෝදුරට ඉඩ තිබේ. ශ්‍රී ලංකාවට එරෙහිව වඩාත් සාර්ථක පිතිකරුවකු වන හෂීම් අම්ලා අංක තුන ස්ථානයේ පන්දුවට පහර දෙයි. තවත් ප‍්‍රබල පිතිකරුවකු වන නායක ෆෆ් ඩූ ප්ලීසිස් අංක පහ ස්ථානයට පැමිණීමට සැළසුම් කර තිබේ. හිටිහැටියේ සමුගත් ප‍්‍රවේගකාරී පිතිකරු ඒ. බී. ඩිවිලියස්ගේ ස්ථානයට මෙම සංචාරයේදී හෙන්රිච් ක්ලාසෙන් ඇතුළත්කර තිබේ.

ශ්‍රී ලංකාවට සත්කාරත්වයේ වාසිය ලැබුණ ද මෙම තත්ත්වය හමුවේ දකුණු අප‍්‍රිකාවෙන් ටෙස්ට් ජයග‍්‍රහණයක් උදුරා ගැනීම එතරම් පහසු නොවනු ඇත. ශ්‍රී ලංකාවට වසර කීපයක සිට ක‍්‍රීඩකයන් ආබාධයන්ට ලක්වීම දැඩි අර්බුදයක් බවට පත්ව ඇති අතර දැනට ආබාධයන්ට ලක්ව සිටින ක‍්‍රීඩකයන්ගෙන් බහුතරයක් යථා තත්ත්වයට පත්වුවහොත් හිස එසවීමේ අවස්ථාව තිබේ.    

♦ යොහාන් භාසුර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00