2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

විජේවීරට තෙලිතුඩින් පණදුන් සිත්තරා

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 203

රුවින් ඔහු නාඳුනන කෙනෙක් නැත. හේ මහින්ද පතිරගේ නම් රංගවේදියාය. මෑතක ඔහුගේ මිතුරෙකු විසින් මුහුණු පොතේ තබා තිබුණු සටහනින් ඔහුගේ ජීවන වෘතාන්තයේ තවත් පැතිකඩක් පිළිබඳ කතිකාවක් නිර්මාණ වී තිබුණි. ජනතා විමුක්ති පෙරමුණේ නායක විජේවීර ෙග් සුප්‍රකට සිතුවම ඇඳ ඇත්තේ ඔහුය. ඉදින් පතිරගේ නම් රංගධරයාගේ යටගියාවේ සිත්තර දිවිය පිළිබඳ මතකයන් අවදි කරන්නට දේශයේ අපටද සිත්විය. අප ඔහු සමඟ සංවාදකට එළඹියේ මෙය නිමිති කොටගෙනය. එය රසවත් අතීතාවර්ජනයක් විය. ඒ අනුව අප මෙම සංවාද සටහන තබමු.

මහින්ද පතිරගේ රජරට පුත්‍රයෙකි. අනුරපුර ගම කොටගෙන උපන් හේ එකොළොස් දෙනෙක් සිටි පවුලක දරුවෙක් වූයේය. පියා අනුරපුරයේ පින්තූර රාමු කිරීමේ ව්‍යාපාරයක් කරගෙන ගොස් තිබේ. සිත්තර කලාවේ උපන් හපන්කම් පතිරගේ සතුවිය. වියළි කලාපයේ කර්කශ පොළොව මත හැදී වැඩුණු පතිරගේ වෘත්තීය සිත්තරකු වන්නේ දෛවෝපගත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙසිණි. එකල හේ වයස අවුරුදු දහසයක දහහතක තරම් වූ ගැටවරයෙකි. අදරුති පියා දිවි ගමනෙන් නික්ම ගියෙන් පවුලේ බර සිය දෙවුර මතට ගන්නට හේ තීරණය කළේය. පවුලේ කිසිවකුත් මේ වියෝව සමඟින් ඉදිරි දිවි රංගයට පණපොවන්නට සූදානම් වී නොසිටියෝය. පියා සතුවූ පින්තූර රාමු කිරීමේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම පතිරගේට පැවරී තිබුණි. එනමුදු එය වූයේ සාර්ථක අඩියක නොවේ. තෙළිතුඩින් දිවිගමනට පණ දෙන්නට ඔහු තීරණය කරන්නේ ඒ අනුවය.

මගේ ඉස්කෝලේ යාළුවෙක් හිටියා සිනමා ශාලාවල අයිතිකරුවෙක්ගේ මස්සිනා කෙනෙක්. නිව් විජේන්ද්‍රා කියන සිනමා ශාලාවේ. එයා හෝල් එකේ අයිතිකාරයාට කියලා මෙන්න මෙයාට චිත්‍ර අඳින්න පුළුවන් කියලා. මුල්ම චිත්‍රය ඇඳලා මට පෙන්නන්න සිද්ධවුණා. මට පුළුවන් කියලා. ඒ අනුව මං ඉස්සෙල්ලාම ඇන්දේ ලස්සන දවසක් කියන චිත්‍රපටයේ ප්‍රචාරක පුවරුව.

හැත්තෑව දශකයේ මැද භාගයේ තිරගත වූ ලස්සන දවසක් සිනමා පටයේ ප්‍රචාරක පුවරැව අඳිමින් පතිරගේ සිය සිත්තර වෘත්තීය දිවිය අරඹයි. එකල ඔහු යාන්තම් වයස 17 වූ ගැටවරයෙකි. මහින්ද පතිරගේ නම් රංගවේදියාගේ සිත්තර දිවියේදී අනුරපුරයේ ප්‍රකට වන්නේ ටී.පී. මහින්ද යන නමිනි. ඔහුගේ වදනින්ම එම කාලය කටුක කර්කශ යුගයකි. ඒ අනුව අනුරපුරයේ ප්‍රකට විජේන්ද්‍රා, නිව් විජේන්ද්‍රා, සිතම්පලම් නම් සිනමා ශාලවල ප්‍රචාරක පුවරු ඇඳීම ටී.පී. මහින්දගේ වෘත්තිය වූයේය. අවසායේ ටී.පී. මහින්ද දක්ෂ සිත්තරෙක් විය. අදද අනුරපුරයේ ටී.පී. මහින්ද  භූමිකාව පිළිබඳ මතක ඇත්තෝ බොහෝය. අප කතාවට නිමිති වූ මුහුණු පොතේ සටහනත් එයට ඇතැමුන් පළකර තිබූ අදහසුත් ඊට සාක්ෂි දරයි.

මහින්ද පතිරගේ පිටුපස සැබෑ මිනිසුන්ට හිමි කතාවක් වන බව මේ සංවාදයේදී අපට අවබෝධ විය. ගම්ගොඩැලිවල සිට පැමිණ කලාවේ කිරැළු පලන් පසු අතීතය වළ දමා ඒ මත සත්මහල් ප්‍රාසාද තනන්නෝ බොහෝය. පතිරගේ එවැන්නෙක් නොවේ. අතීතයේ කටෝර මතක එකින් එක ගොඩගෙන රටට හෙළිකරන්නට හේ නිර්ලෝභී විය. විජේවීරගේ ප්‍රකට සිතුවම පිටුපස වූ කතාව අපි ඔහුගෙන් විමසුවෙමු.

අනුරපුරයේ ටී.පී. මහින්ද ප්‍රකටවන වනවිට පක්ෂ බේදයකින් තොරව දේශපාලකයෝ ඔහු සොයා පැමිණියහ. එකට ඩිජිටල් කටවුට් ආදීය නොවුණි. අනුරපුරයේ නිල්, කොළ, රතු ප්‍රබලයන් කොයි කාගේත් සිතුවම් ප්‍රචාරක පුවරැව ඇන්දේ ඔහුය. ඒ වනවිට අසූ අටේ භීෂණ සමය අවසන් වී තිබුණි. විජේවීරගේ සිතුවම සොයාගත නොහැකි විය. සිතුවමක් පින්තූරක් තබා ඊට සමාන යමක් ළඟ තබාගැනීම මරණ වරෙන්තුවක් හා සමාන විය. පක්ෂ සිතුවමක අවශ්‍යතා තිබුණද සිතුවමක් නිර්මාණය කිරීමට පින්තූරයක් පවා සොයාගත නොහැකි විය. එවන් පසුබිමක ටී.පී. මහින්දට මෙම රාජකාරි පැවරිණි.

ඒ වෙනකොට චිත්‍රයක් අඳින්න පින්තූරක් නැති නිසා පින්තූරයක් හොයන්න සිද්ධවුණා. ඒ හොයාන යනකොට මට ඒ පින්තූරය සෝමවංශ සහෝදරයා ප්‍රංශයේ ඉඳලා වෙන කෙනෙක් අත එවලා තිබ්බා ලියුම් කවරෙක දාලා මුද්දරක් වගේ පොඩි පිංතූරයක්. ඒක බලාගෙන තමයි ඇන්දේ. ඇත්තටම ඒක හයයි හතරේ වගේ ලොකු පින්තූරයක්. අද ජනතා විමුක්තිය පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ගහලා තියනවා. ඒ ගොල්ලන්ගේ හැම සමුළුවකටම මේ චිත්‍රය අරන් යනවා මං දැකලා තියෙනවා. නමුත් ඒ  චිත්‍රය ඇන්දේ මම කියලා හුඟදෙනෙක් තබා පක්ෂයේ අයවත් දන්නේ නැතුව ඇති.

අද මහින්ද පතිරගේ මේ කතාව අපට කියයි. එහිදී අපට හැඟුණු කරැණු දෙකකි. සිනහා මුසුව ඔහු කී විස්තර අනුව අදද මේ පුවත රටට හඬගා කියන්නට මේ අව්‍යාජ මිනිසාට අවැසි නැති සෙයකි. සෑම සිත්තරෙක්ම අවසානයේ සිය අත්සන සිතුවම මත තබයි. නමුත් එදා තිබුණු සමාජ දේශපාලන පසුබිම මත ඔහු තීරණය කළේ එය එසේ සිදු නොකිරීමටයි. ඒ තීරණය නිසාම අද සූජීවත්ව මහින්ද පතිරගේ නම රංගවේදියා අපට ඉතිරිව සිටී.

පතිරගේ යනු වමේ මිනිසෙක් බව අප මෙහිලා ලියා තැබිය යුතුය. පතිරගේ නම් කලාකරැවා මතින් දේශපාලන පක්ෂයක සලකුණුක් තබන්ට අපි උකටලී වෙමු. ඔහු තුළ දේශපාලනයක් වූ බව සැබෑවකි. කුඩා කාලයේ ඔහු කොමියුනිස්ට් පක්ෂයේ රැස්වීම්වලටද සහභාගී වී තිබේ. කොමියුනිස්ට්වාදය පිළිබඳ ළැදියාවක් ඔහු තුළ වූ බව නොවලහා ඔහු අපට කියයි. එනිසා දේශපාලන වශයෙන් ඔහු වාම දේශපාලනයේ නියුතු පාර්ශවයන්ට උපකාර කරන්නට පෙළඹුවේය. එය පක්ෂ සාමාජිකයකු ලෙසින් කළ දෙයකට වඩා බාහිරින් සිට කළ දෙයකි. තවද 1979 දී ටී.පී. මහින්ද රජරට සේවයට සම්බන්ධ වෙයි. එයද සුවිශේෂී සිදුවීමකි. ගුණදාස කපුගේ ශූරීහුද ඉන්පසුව රජරට සේවයට සම්බන්ධ වෙයි. කාලානුරූපීව විප්ලවීය කලාකරැවකු බිහිවන්නේ මේ පසුබිම තුළය.

පණ්ඩිත් අමරදේව ශූරීන්ගේ මෙරට අතිශ්‍ ය ප්‍රකට සිතුවමද පතිරගේ නම් සිත්තරාගේ නිර්මාණයකි. අප සංවාදයේ දී එම පුවත මතුවී ආවේය. එම සිදුවීම සිදුවූ වකවානුව ඔහුට හරිහැටි මතක නැත. කෙසේ නමුත් ඒ පුවත මෙසේය.

එකල යොවුන් නිකේතනයේ මහජන බැංකුව විසින් සංවිධානය කළ අමරදේව ශූරීන්ගේ ඒකපුද්ගල ප්‍රසංගයක් පැවැත්විණි. මෙම ප්‍රසංගයේ ප්‍රචාරක කටයුතු අතරතුරදී ටී.පී. මහින්දයන් හට අපූරු සිතුවිල්ලක් පහළ වෙයි. ඒ සිය හැකියාවෙන් අමරදේවයන් හට උපහාර දක්වන්නයි. ඒ නිසාවෙන්ම හේ ප්‍රසංගයට පෙර මේ සිතුවම නිමවයි. ඉන් අනතුරැව මහජන බැංකුවේ කළමනාකාරතුමාට ඔහු මේ පිළිබඳ පවසා තිබේ. සිතුවමේ වූ සුවිශේෂී බව නිසාම ප්‍රසංගය අතරතුර එය ප්‍රදානය කිරීම ඔහුට අවකාශ උදාවිය.

දැන් මම රසිකයෙක් විදිහට ප්‍රසංගය බලනවා. එතකොට එනවුසර් කිව්වා අමරදේව මහත්තයාට පොඩි තිළිණයක් ප්‍රදානය කරන්න චිත්‍ර ශිල්පියෙක් සූදානම් වෙලා ඉන්නවා කියලා. දැන් අමරදේව මහත්තයා මේ මොකවත් දන්නේ නෑ. මම පින්තූරය ගෙනිච්චා වේදිකාවට. පින්තූරේ හරවාගෙන තිබ්බේ ප්‍රේක්ෂකාගාරයට. එතුමා ඉන්න පැත්තට මම පින්තූර හැරෙව්වා. හැරෙව්ව ගමන් එතුමා එකපාරටම අතින් සංඥා කළා පිංතූරේ මොහොකට හරි හේත්තු කරන්න කියලා. එකපාරටම එයා ගීතයක් පටන් ගත්තා. සඳකඩ පහනේ නිහඬ කලාකරැවාණනි* කියන ගීතය එතුමා ගායනා කළා මට උපහාරයක් විදිහට. එතකොට ඒක එතුමාගේ ගීත ඕඩරේ තිබ්බේ නෑ. දැන් වාදක මණ්ඩලයේ ඔක්කොම කලබලවෙලා නොටේශන් තෝරනවා. ඩී.ඩී. ගුණසේන මහත්තයාට විතරයි ඒක ඩයිහාඩ් ගහන්න පුළුවන්කම තිබ්බේ. එතුමා වයලින් එකෙන් සපෝට් කළා.

සිත්තර ජීවිතයේ නොමැකෙන මතකයක් ඔහු මෙලෙසින් අපට කියයි. අප සංවාදය බොහෝදුර ගියේය. පාසල් කාලයේ චිත්‍ර ප්‍රදර්ශනයක මතකය තුළින් සිහින් වේදනාවක්ද ගලා ආවේය. දේශපාලන වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දෙකඩ වීමේදී ඔහුට දැනුණු කනගාටුවට ගැන තතු කියවිණි. ඔහුට අනුව ප්‍රහසන රංගනයට ලාංකීය කලාව තුළ විසල් අසාධාරණයක් වී තිබේ. එය ඉතා සංවේදී කතාවකි. තවද එදා ඔහු වේදිකා පසුතල නිර්මාණය කළ අයුරු ගැන අප කතා කළෙමු. අදද ඔහු සිය ඇඳුම් පැළඳුම් පවා බෙදා හදාගන්නා වාම දේශපාලන ක්‍රමයේ යාවජීව සමාජිකයෙකි. එහෙත් කලාකරුවා යනු පොදු මිනිසෙක් බව ඔහුගේ විශ්වාසයි. දේශපාලන පක්ෂ මත සීමානිර්ණයක් තබා පතිරගේ චරිතය විග්‍රහ කිරීමට අප මැලි වූයේ එබැවිණි.
අනුරපුරයේ තිබ්බා විජේන්ද්‍රා, නිව් විජේන්ද්‍රා, සිත්තම්පලම් කියලා හෝල් තුනක්. ඒ හෝල් තුනේ චිත්‍ර ඇඳපු එක තමා මම කළේ. පසුකාලීනව ඩිජිටල්කරණය වෙලා අතින් අඳින පින්තූරවලට අවස්ථාව නැතිවෙලා විනාඩියන් එළියට එන පිංතූර බිහිවුණ නිසා. මගේ ඒ වෘත්තීයට කණකොකා හැඬුවා. හොඳ වෙලාවට තව ආදායම් උපයන්න පුළුවන් රුකියාවක් තිබ්බා මට. ඒ තමා රංගනය.

අවසානයේදී සිහිවූයේ ඔහු රාජ සභාවේ පුරෝහිත ලෙසින් අප හඳුනාගත් ප්‍රහසන රංගධරයා‍ බවය. වේදිකා ජයගත් මහින්ද පතිරගේද ඔහුය. මේ දිනවල ඔහුගේ අල්ලයි නැට්ට නම් වේදිකා නාට්‍යයක් සමඟ රටපුරා යයි. අද වනවිට ඔහුගේ තෙලිතුඩට විරාම ලබා වසර තුනක් වෙයි. ඉදිරියේදී යළි ඔහු ඊට පණදෙනු ඇත. එය බලාපොරොත්තුවකි. එහෙත් මහින්ද පතිරගේ තුළ වන ගැඹුර අප හඳුනාගෙන නැතැයි සිතේ. ඉදින් ඔහු කියූ දෑ බොහෝය. ඒ සියල්ල මෙහි ලියා තැබීමට ඉඩ නැත. පොතක් ලිවිය යුතු මිනිසෙක් ගැන ලිවූ ලිපිය අප මෙසේ නිමා කරමු. ඔහු සැබෑ මිනිසෙකි.

 සංවාදය සටහන - චමිඳු නිසල්