2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

පොලිස්පති සී.අයි.ඩී.යේදී හෙළිකළ රහස්

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 66

මෙරට ප්‍රථම සහ අසාර්ථකම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය ලෙස ඉතිහාස ගතවන්නේ 1962 දී සිරිමාවෝ මැතිණියගේ ආණ්ඩුව පෙරළා හමුදා පාලනයක් යටතට ගැනීමේ කුමන්ත්‍රණයයි. 1962 ජනවාරි 27 සෙනසුරාදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති එස්. ඒ. දිසානායකට කුමන්ත්‍රණකරුවන්ගෙන් තොරතුරු ලැබෙන්නේ එදින රාත්‍රීයේ ආණ්ඩුව පෙරළා දමන බවය.

පසුව දිසානායක විසින් මේ පිළිබඳව  ශ්‍රීලනිපයේ ලේකම් පී.ද.එස්. කුලරත්නට දන්වා සිටින්නේ මැතිනියට දැනුම් දෙන ලෙස දන්වාය. ඒ අනුව මේ පිළිබඳ තොරතුරැ නියෝජ්‍ය පොලිස්පති දිසානායකත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජෝන් ආටිගලත් ගොස් මැතිනියට දන්වනු ලබන්නේ සියලු තොරතුරැ හෙළිදරව් කරමිනි.

ඒ අනුව මැතිනිය වහාම බම්බලපිටියේ යුධෝපකරණ ගබඩාවට සීල් තබයි. එපමණක් නොව එවකට පොලිස්පති අබේකෝන්ට ද දන්වා සිටින්නේ පොලිපතිවරයාගේ නියෝග හැර වෙනත් කිසිවකුගේ නියෝග ලබා නොගන්නා ලෙසය.

පසුව නාවික හමුදාපති රාජන් කදිරගාමර්, යුධ හමුදාපති මේජර් ජනරාල් විජේකෝන්, පොලිස්පති අබේකෝන් ඇතුළු නිලධාරීන් කැඳවා මෙය මැඩ පවත්වන ලෙස දන්වන අතර පසුව මෙම කුමන්ත්‍රණයේ මහ මොළකරු වූ නියෝජ්‍ය, පොලිස්පති සී. සී. දිසානයක අත්අඩංගුවට ගනු ලැබුවේය. ඊට අමතර එස්. අයි. ජෝන් පුල්ලේ ද ආයුධ ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන බන්ධනාගරගත කරනු ලබන්නේය.

මේ අතර මැතිනිය අදාළ කුමන්ත්‍රණය ගැන සොයා බැලීම සඳහා එවකට අමාත්‍යවරයකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරානායක කැඳවා ඔහුම පරික්ෂණය ලබාදෙන අතර ඔහු පෞද්ගලිකවම එයට මැදිහත් වී සැකකරැවන්ගෙන් ප්‍රශ්න කරනු ලබන්නේ අරලිය ගහ මන්දිරයේ තබාගෙනය.

අවසානයේ මෙම කුමන්ත්‍රණයේ මහ මොළකරැවන් ලෙස ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල්වරයකු වූ ෆෙඩ්රික් ද සේරම්, නියෝජ්‍ය පොලිස්පති සී. සී. දිසානයක, හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී කර්නල් මොරිස් ද මෙල්, රියර්  අද්මිරාල් රොයිස් ද මෙල්, ලංකා සිවිල් සේවයේ නිලධාරියකු වූ ඩග්ලස් ලියනගේ ඇතුළු නිලධාරීන් 31 දෙනකු චෝදනාවට ලක්ව සිරගත විය. එහෙත් අවසානයේ මෙරට උපරිමාධිකරණය වූ බ්‍රිතාන්‍ය ප්‍රිවිකවුන්සලය හරහා ඔවුන්ව නිදහස් කරනු ලැබීය. මෙය ‘කර්නල් කුමන්ත්‍රණය’ ලෙස ද නම් පට බැඳී ඇත.

කෙසේ වෙතත් මෙහි හොඳම කතාව 1966 අප්‍රේල් 13 වැනිදා පිලිප් ගුණවර්ධන මහතා විසින් රටට නිරාවරණය කරන්නේය. ඒ මේ සිද්ධිය පිටුපස විපක්ෂ නායක ඩඩ්ලි සේනානායක මහතා සිටින බව කියාය

මේ එදා හමුදා කුමන්ත්‍රණය ගැන කතාය. අද ජනපති ඝාතනය කුමන්ත්‍රණයේ කතාය. එදා මැතිනියගේ ආණ්ඩුව පෙරළන්නට බැරි වුණත් අද ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය හරහා ආණ්ඩුව පෙරළා දැමීමට හැකිවිය. එපමණක් නොව එදා පිලිප් ගුණවර්ධන රාජ්‍ය කුමන්ත්‍රණය ගැන හෙළිදරව් කළත් අද පිලිප් වෙනුවට ඉන්නේ නාමල් කුමාරය. එදා හමුදාවේ සමාජිකයන් සිටියත් අද කතාවට අනුව විශ්‍රාමික හමුදා නිලධාරින් සිටින්නේය. එදා යුද හමුදාව බලය ඩැහැ ගැනීමට උත්සාහ කළත් අද කුමන්ත්‍රණයට අනුව බලය තවත් පක්ෂයක් විසින් ඩැහැ ගැනීමක් බව චෝදනා එල්ල වේ. එදා මෙන්ම අදත් එජාපය. 

කෙසේ වෙතත් මේ ජනපති ඝාතන කුමන්ත්‍රණයට අදළලව පසුගියදා පොලිස්පතිවරයාව රහස් පොලීසිය විසින් කැඳවා තිබුණි. ඒ පසුගිය 25 වැනි ඉරිදාය. උදෑසන 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීය. එදින පැය හතරක්  පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර ඔහුගෙන් සැලකිය යුතු සාක්ෂියක් එහිදී අනාවරණය නොවුණු බව වා‍ර්තා වේ. ගැලවීමේ න්‍යාය අනුගමනය කරමින් "පහත් තැනින් යයි ගලා බසී" ක්‍රමවේදය අනුගමනය කළ බවඳ සඳහන් වේ. ඇතැම් පුද්ගලයන්ගේ නම් ගම් ප්‍රකාශ කළත් ඒවා පරීක්ෂණයට අදාළ නොවන නම් ගම් බව සඳහන් වේ. කෙසේ වෙතත් අවසානයේ  ඔහුගෙන් ප්‍රශ්න කිරීම අවසන් කර ඇත.

අවසානයේ පොලිස්පතිවරයාට වෙනත් දිනක පැමිණෙන ලෙස දන්වා ඇත. ඒ පසුගිය බ්‍රහස්පතින්දාය. එහෙත් ආවේ නැත. ඒ වෙනුවට මේ ලිපිය ලියන දින, සිකුරාදා දහවල් පොලිස්පතිවරයා රහස් පොලිසිය වෙත පැමිණෙන බව දන්වා තිබුණි.
කෙසේ වෙතත් මේ සියල්ල අතරතුර සරත් ෆොන්සේකා මහතා පසුගියදා පාර්ලිමේන්තුව තුළ තදබල ප්‍රකාශයක් කළේය. ඒ තමන් මෙම  ඝාතන කුමන්ත්‍රණය පිටුපස සිටින බවට ජනාධිපතිවරයා විසින් විදෙස් මාධ්‍ය හමුවේ කී බවට දන්වමිනි. එසේම තමන් එවැනි දේකට කිසිම සම්බන්ධයක් නොමැති බව ඔහු කීවේය. ඒ නිසා මෙය තවත් මඩ ගැසීමක්  බව ඔහු සඳහන් කෙළේය.

කෙසේ වෙතත් ඔහු කියූ  පරිදි ජනාධිපතිවරයා පසුගියදා විදෙස් මාධ්‍ය හමුවේ ඊට අදාළව කතා කළේය. ජනාධිපතිවරයා පවසා සිටියේ තමා ඝාතනය කිරීමට පැමිණි අය සමඟ ආණ්ඩු කිරීමට කිසිම අපේක්ෂාවක් තමන්ට නැති බවයි. එසේම රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධූරය ලබා නොදෙන බවත් ඔහු මෙහිදී කියා සිටියේය.

මේ අතර මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් වූ සිසුන් 11 දෙනකු පැහැරගෙන ගෙන ගොස් අතුරැදන් කිරීමේ සිද්ධියේදී ඊට සම්බන්ධ සැකකරුවකු වූ නේවි සම්පත් රටින් පැනයාමට උදව් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවී විජේගුණරත්න මහතා පසුගියදා අධිකරණ නියෝග පරිදි රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගත්තේය. එම අත්අඩංගුවට ගැනීමට පෙර රවී සහ රහස් පොලීසිය අතර නොසිතූ ගැටුමක් හටගත්තේ රවී විසින් පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කරන ලද ලිපියක් නිසාය. ඒ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නිශාන්ත සිල්වා සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශයක් නිසාය. ඒ නිශාන්ත එල්. ටී. ටී. ඊ. සංවිධානය සමඟ ගනුදෙනු කරන බවට තොරතුරැ ලැබී ඇතැයි රවී විසින් පොලිස්පතිවරයා වෙත දැනුම් දීම නිසාය.

අවසානයේ පොලිස්පතිවරයා රහස් පොලීසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාට ලිපියක් මගින් දැනුම් දුන්නේ මේ ගැන සොයා බලන ලෙස කියාය. එම ලිපියේ පහලින් තව කොටසක් ද තිබුණේය. ඒ ජනාධිපතිවරයාගේ නියෝග පරිදි ඔහුව මීගමුව කොට්ඨාසයට මාරු කරන බවය. එහෙත් මෙය එළියට ආ අතර අවසානයේ නිශාන්තගේ මාරුවීම අවලංගු කෙරිණි.

කෙසේ වෙතත් රවීගේ මේ උපක්‍රමය හෙළිදරව් කරමින් එම ලිපි සියල්ල අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එසේම නිශාන්ත එල්. ටී. ටී. ඊ. සංවිධානය සමඟ ගනුදෙනු කරන බවට කිසිදු සක්ෂියක් නොමැති බව අයත් ලිපියක් ද එහි ඇතුළත් විය. අවසානයේ නීතිගරුක නිලධාරීන්ට වරද්දන්න ගොස් රවීට වැරදි ගියේය.

කෙසේ වෙතත් ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ කතා, වෙනත් කතා නිසා අවසානයේ ආණ්ඩුව පෙරළි ගියේය. එහෙත් තවම රට අස්ථාවරය. මේ සියලු සිද්ධිවල අවසානය මෙවැනි අස්ථාවරත්වයක් ද යන්න සැකයක් ඇත. එය එසේ නම් කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ ඉෂ්ඨ වී ඇතුවා නොවේද?

 ගයාන් ගාල්ලගේ