2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

ප්‍රශ්න හතර

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 43

1. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ කතාවට ඉන්දියාවත් පටලැවිලා. මේ ප්‍රශ්නයේ කෙළවර මොකක් වෙයිද?

2. අයවැයේදී ආණ්ඩුව පෙරළන්න සූදානමක් තිබෙන බවට ආරංචි වෙනවා.

3. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය බදු දීම සම්බන්ධව කැබිනට් රැස්වීමේදී විශාල මතගැටුමක් ඇතිවෙලා තියෙනවා. මෙහෙම ගැටුම් ඇතිවෙද්දී කොහොමද ආණ්ඩුවක් ඉදිරියට යන්නේ?

4. පළාත් සභා ඡන්දය අවශ්‍යයි කියලා හැමෝම කියනවා. නමුත් මේක කෙරෙන පාටක් නැහැ. ඇත්තටම ඡන්දයට බය ආණ්ඩුවද? විපක්ෂයද?

අයවැය පරද්දන කතාව කෙප්පයක්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

1. ඒ ගැන මම දන්නේ නැහැ. මම ඕවා කතා කරන තැන්වල හිටියෙත් නැහැ. ඒ ගැන මට අවබෝධයක් ඇත්තෙත් නැහැ. මාධ්‍යවලින් විතරයි ඒක දැක්කේ. ඒ මත පදනම්ව උත්තරයක් දෙන්න තරම් අවබෝධයක් නැහැ මට.

2. සාමාන්‍යයෙන් අයවැයක් කිට්ටු වෙනකොට ඔය වගේ කතා එනවා ඉතින්. ඒ වුණාට 113ක් හොයාගන්න එපැයි. ශ්‍රීලනිපයයි, පොහොට්ටුවයි දෙකම එකතුවුණත් 96යි ඉන්නේ. තව 17ක් අඩුයි. ඒක නිසා මේක මිත්‍යාවක්.

3. ඔව් ඉතින් ආණ්ඩුව කකුල් දෙක දෙපැත්තේ තියන් ගියොත් රටට අවාසියි. පාඩුයි. මොකද හේතුව දැන් ආණ්ඩුවට අනිත් දේවල්වලට වඩා ප්‍රමුඛ වෙන්න ඕන රට. ඒ නිසා ඒ අර්බුද මැද ගියොත් රටට දියුණුවක් වෙන්නේ නෑ කියන එක තමයි මගේ අදහස.

4. විපක්ෂය තමයි ඡන්දයට බය. මොකද මැතිවරණය තිබ්බොත් මේ විසිරිලා තියෙන පළාත් සභාවල ඒ ගොල්ලන්ට 50%ක් ගන්න බෑ කියලා රටට ඔප්පු වෙනවා. එජාපයේ නිල මතය තමයි පළාත් සභා ඡන්දය මනාප ක්‍රමයට තියන්න ඕන කියලා. දැන් ඒකාබද්ධයට පුළුවන්. පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන් වාක්‍ය දෙකක වගන්තියක් මේ ඡන්දක්‍රමයේ තියෙන අවුල් විසඳගන්නකම් මෙතෙක් තිබුණු විදියට මැතිවරණය තියන්න කියලා. එහෙම කිව්වොත් අපි අත්දෙකම උස්සල ඡන්දය දෙනවා.

හන්දියක් ගානේ අද කියවෙන්නේ මෙහෙම ගියොත් රට ඉවරයි කියලයි
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල (ඒකාබද්ධ විපක්ෂය)

1. මේක බොහොම සංකීර්ණ ප්‍රශ්නයක්. මේ සංකීර්ණ ප්‍රශ්නය දිහා බලපු විදිහ හරි පුදුමසහගතයි. නාමල් කුමාර සහ නාලක සිල්වා කරපු ප්‍රකාශවල හඬ පට ගැලපෙනවා කියලා පේන්න තියනවා. ඒ වගේම මේවගේ ඝාතන කුමන්ත්‍රණයන් පිළිබඳ කියවෙනවා. හැබැයි නීතිය හා සාමය සහ රජය ඉතාමත් සරලව තමයි මේ කතාන්දරය ගන්නේ. අද වෙනකනුත් මේක වෙනස් කරලා නැහැ. හැබැයි පැහැදිලිව පේනවා යම්කිසි විදිහේ කුමන්ත්‍රණයක් හෝ ඊට සමාන වැඩ පිළිවෙළක් යම්කිසි තැනක තිබුණා කියන එකනම්.

2. විපක්ෂයක් හැටියට විපක්ෂයේ ප්‍රධාන අරමුණ තමයි මේ රට ඉතාම කාලකණ්නි විදියට, අභාග්‍යසම්පන්න විදිහට තල්ලු කරගෙන යන රජයක් පෙරළා දැමීමේ මූලික අරමුණ ඉටු කර ගැනීම. ඒ නිසා එන සෑම අවස්ථාවකම ඒ වෙනුවෙන් කතා කිරීම ස්වභාවිකයි. ඒ පමණක් නෙවෙයි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයි. ඒ ගැන තර්කයක් නැහැ. ඒ නිසා අයවැයේදී ද ඊට පෙරද නැත්නම් ඊට පසුව ද කියන එක කියන්න බැහැ. හැබැයි අද මිනිස්සු හන්දියක් ගානේ කතා වෙන්නේ මේ අයට මෙහෙම යන්න තිබ්බොත් රටේ ඉතුරු වෙන්න දෙයක් නැති වෙයි කියලා. ඒ නිසා විශාල ඉල්ලීමක් තියනවා. මේක පෙරළන්න මොන විදිහෙන් හරි කටයුතු කරන්න කියලා.

3. හම්බන්තොට වික්කා. ඩොලර් බිලියන 1.2ක් ගත්තා. ණය අඩු වුණාද මේ රටේ? නෑ. පසුගිය ආණ්ඩුව පාලන බලයේ සිටි කාලයේ ගත්ත ණයට සමාන ණය මුදලක් මේ අවුරුදු තුනේ අරගෙන තියනවා. මොනවද මේවගෙන් කරන්නේ? රුපියල පාලනය කරන්න බැහැ. මේ රටේ විශාල ආර්ථික සමාජීය විශාල විනාශයක් වෙමින් පවතිනවා. වේදිකාව උඩ කියන දේ ක්‍රියාවට නංවන්නේ නැහැනේ.

4. විපක්ෂය ඇයි ඡන්දයට බය? හෙට ගේන්න කියන්නකෝ. අපේ ඉන්න හැත්තෑවම අපි අත උස්සනවා. එදා ඉඳන්ම අපි තමයි මේ සටන ගෙනිච්චේ. ඒ අය කියන්නේ බොරු කතාන්දර. එහෙම නැතුව ගේන්න කියන්න මැතිවරණයක්. ගෙනෙයිද එහෙම කරන්නේ නැහැ. මේක අමූලික පට්ටපල් බොරුවක්නේ.

මේ පාලකයෝ ඡන්දෙකට යන්න බයයි
ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

1. මේ ගැන මාධ්‍යවල එක එක දේවල් ප්‍රචාරය වෙනවා. එක එක්කෙනා එක එක දේවල් කියනවා. නමුත් ඒ කොයි එක හරිද කියලා අපිට කියන්න බැහැ. මේකට හොඳම දේ තමයි ඒ පිළිබඳ පරීක්ෂණය කඩිනම් කරලා අවසන් කරන එක. නැත්නම්, මෙය දුරදිග යනවා. විවිධ අය විවිධ අර්ථකථන දෙනවා. නැති ප්‍රශ්න ඇතිවෙනවා. ඒ නිසා මේකට හොඳම උත්තරය තමයි මේ පිළිබඳ පරීක්ෂණය කඩිනම් කර ආණ්ඩුවක් විදිහට රටට ඇත්ත පෙන්වා දීම. ඒක තමයි කළ යුත්තේ.

2. මේ ආණ්ඩුව රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න සමත් නැහැ. මේ ආණ්ඩුව ගෙදර යවලා ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවගන්න ඕන. ඒ ගැන කතා දෙකක් නැහැ. මෙදා අයවැය කොයිවගේ වෙයිද කියලා තවම කියන්න බැහැ. දැන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය අනුව මේ අයවැයෙනුත් බදු බර වැඩිවෙනවා. බඩු මිල වැඩි වෙනවා. තවත් ජනතාවට එන ණය කන්ද වැඩි වෙනවා. ඒක ස්ථිරයි. ඒ නිසා මේ අයවැයෙනුත් ජනතාවට සහන ලැබෙන්නේ නැහැ. ඉතින් එවැනි ජනතාවාදී නොවන ආණ්ඩුවක් ගෙදර යවන්න ඕනේ. ඉතින් අයවැය තුළ එහෙම තත්ත්වයක් ඇතිවේද කියන එක අපි බලමු.

3. ආණ්ඩුව ඇතුළේ කිසි දේකට එකඟතාවයක් නැහැ. තීන්දු තීරණ ගන්නේ නැහැ. දෙපැත්තට අදිනවා. මේ තියෙන්නේ රාජ්‍යය සම්පත් විකිණීම පිළිබඳ ප්‍රශ්නයක්. නැගෙනහිර ජැටිය වේවා බටහිර ජැටිය වේවා වරාය ගුවන් තොටුපොළ විකුණන් කන තත්ත්වෙට මේ ආණ්ඩුව බංකොළොත් වෙලා. විකුණන් කෑමේදී කාටද දෙන්නේ කියන එකට තමයි ඔය මත ගැටුම් ඇතිවෙලා තියෙන්නේ. මේ රණ්ඩුව ඇති වෙලා තියෙන්නනේ විකුණන්න එපා කියලා නෙවෙයි. විකුණන්නේ කාටද කියලා.

4. ආණ්ඩුව පැහැදිලිවම බොරැ හේතු දක්වලා රණ්ඩු පෙන්නලා පරණ ක්‍රමයෙන් අලුත් ක්‍රමයෙන් ඡන්දය කල් දානවා. ඒ ඡන්දය ආණ්ඩුව තමයි කල්දාන්නේ. ආණ්ඩුව තමයි මේ ඡන්දයට බය.ඡන්දෙට ගියොත් ආණ්ඩුව කුජීතයි.

පෝය දෙකෙන් පෙරළනවා කිව්වා කෝ කළාද?
සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් ඉෂාක් රහුමාන්

1. ඒ අදාළ සිදුවීම සම්බන්ධව මේ වනවිට නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නේ රජය විසින්. ඒ අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කරලා තියෙනවා මේ වනවිට. කොහොමත් මේ විදිහට රාජ්‍යය නායකයන් ඝාතනය කිරීමට දැරූ ඒ උත්සාහය ගැන නීතිමය පියවර ගනියි. මේ විමර්ශන කඩිනමින් සිදුකර අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග රජයක් විදිහට ඉටු කරයි.

2. ආණ්ඩුව පෙරළනවා පෙරළනවා කියලා ඔය විපක්ෂයේ කණ්ඩායම් මේ රජය බලයට පත් වූ දා පටන්ම කියනවා. දැන් කලින් හිටපු ජනාධිපතිවරයා පෝය දෙකකින් මේක පෙරළනවා කිව්වා. කළාද? නැහැනේ. ඒ නිසා කිසිම අයකුට මේ රජය 2020 වනතුරු වට්ටන්න බැහැ. මේ රජය තමයි යන්නේ.

3. නැහැ. ආණ්ඩුව ඇතුළේ එවැනි මතගැටුමක් නැහැ. මේ රජයේ ඉන්නේ විවිධ පක්ෂවල මැති ඇමැතිවරු. ඉතිං සමහර අවස්ථාවල විවිධ මත පළවෙනවා. නමුත් ඒවා කැබිනට් රුස්වීම අවසන් වෙද්දී අවසාන වෙනවා. එහෙම නැතුව කිසිදු ගැටුමක් ආණ්ඩුව ඇතුළේ නැහැ.

4. සීමා නිර්ණය වාර්තා ආපු ගමන් මැතිවරණය පැවැත්වීමට රජය සූදානමින් සිටින්නේ. ආණ්ඩුව කවදාවත් මැතිවරණවලට බය නැහැ. ඉතා ඉක්මනින් පළාත් සභා මැතිවරණය තියන්න අපි කටයුතු කරනවා.

ඡන්දෙට ගියොත් ආණ්ඩුව කුජීතය
ජාතික නිදහස් පෙරමුණ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර

1. ඇත්තටම ලැජ්ජයි මේ රටේ පාලකයෝ ගැන. ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීම ගැන කුමන්ත්‍රණයක් තමයි මේ විදිහට එළිවෙන්නේ. දැන් මේකේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ සම්බන්ධතාවයක් තියනවා කියලා පැහැදිලියි. ලංකාවේ පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේකට සම්බන්ධ බවට සාක්ෂි ලැබිලා තියනවා. නමුත් තවමත් අනාවරණයක් නෑ. මේ ගැන පරීක්ෂණයක් නැහැ. අද මේ රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටිලා. ඒ නිසා රටට වෙච්ච  විනාශය එක්ක බලපුවහම මේ පාලකයන්ට ඒ ගැන කිසිදු වගකීමක් නෑ කියලා තමයි පේන්න තියෙන්නේ.

2. කරන්න පුළුවන් රට ගැන හිතන දේශමාමක මහජන නියෝජිතයන් නම් පාර්ලිමේන්තුවේ ඉන්නේ. රටේ අනාගතය පිළිබඳ දකින්න පුළුවන් මාතෘ භූමියට ආදරය කර ඒක කරන්න පුළුවන්. රට අද තියන තත්ත්වය මහජන නියෝජිතයන් තේරුම්ගත යුතුයි. මේ රටේ ජනතාව අගාධයට වැටුණු වෙලාවක මහජන නියෝජියන්ට මේ විදිහට ඉන්න පුළුවන්ද? ඒ නිසා ඔවුන් රට ගැන ජනතාව ගැන හිතනවානම් ඉදිරි අයවැයේ ඡන්ද විමසීම තමයි එයට හොඳම වෙලාව.

3. ආණ්ඩුව ඇතුළෙම මත ගැටුම් ඇතිවීම ස්වභාවිකයි. රටේ ජාතික සම්පත් විකිණීමට විරුද්ධ ආණ්ඩුව ඇතුළේ මත දරන අය ඉන්නවා. අපි දැන් ඔවුන්ට කියන්නේ දැන් කාලය හරි කියලා. ඒ වගේම ඔවුන්ගෙන් අපි ඉල්ලන්නේ මේ රට වෙනස් කරන ගමනට එකතු වෙන්න කියලා.

4. පළාත් සභා ඡන්දය කොහොමත් මේ අය කරන්නේ නෑ. මොකද ආණ්ඩුව ඡන්දවලට බයයි. අනිවාර්යයෙන් මේ ආණ්ඩුව ඡන්දවලට ආවොත් කුජීත වෙනවා. ඒ නිසා මොවුන් කිසිවිටෙකත් දැන්ම මැතිවරණය ගේන්නේ නැහැ. ඔවුන් බලන්නේ ජනාධිපතිවරණයක් එනකම් මේ සියලු දේ කල්දාන්න.

ආණ්ඩුව ඇතුළේ මත ගැටුම් ප්‍රචාර බොරු
ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්

1. මෙරට තියෙන නීතියට අනුව පියවර ගනී කියලා හිතනවා. කොහොමත් මෙම සිදුවීම සුළුවෙන් තකන්න බැහැ. මේක පිටිපස්සේ කුමක් හෝ බලවේගයක් ඇති කියලා අපිත් හිතනවා. මෙහි ඉදිරි කටයුතු සම්බන්ධව මෙරට ආරක්ෂක අංශ පියවරක් ගනියි.

2. වර්තමාන යහපාලන රජය තනි පක්ෂයකින් හැදුණ එකක් නෙවෙයි. පහුගිය අයවැය වෙලාවෙත් එය පරාජයට පත්කරන්න විපක්ෂයේ කණ්ඩායම් සූදානම් වුණා. නමුත් ඒක සාර්ථක වුණාද? නැහැනේ. ඒ වගේම අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙනාවා. ඒකත් පරාජයට පත් වුණා. මේ ආණ්ඩුව පෙරළන්න විපක්ෂයේ කණ්ඩායම් කොතරම් උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. ඒ නිසා අපි මේ ගැන කලබල විය යුතු නැහැ කියන එක තමයි මගේ අදහස.

3. විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම්වලට ජනතාවට කියන්න දෙයක් නැති වුණාම තමයි මේ විදිහට කැබිනට් එකේ රජයේ මතගැටුම් තියනවා කියන්නේ. නමුත් කිසිම මතගැටුමක් කැබිනට් මණ්ඩලයේවත්, රජය තුළවත් නැහැ කියලා අපි දන්නවා. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය කාරණයක්.

4. ආණ්ඩුව, විපක්ෂය ඡන්දයට බයද නැද්ද කියන එක අපි දන්නේ නෑ. ඒ වුණාට අපි කියන්නෙත් පක්ෂ හැටියට ඉතා ඉක්මනින් මැතිවරණය පැවැත්විය යුතුයි කියලා. ඒ මතයේ අපි ඉන්නවා.

 

 

 

 

 

 

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00