2018 ජුලි 14 වන සෙනසුරාදා

කඳුළින්ම නිමා වූ ගායිකා ප්‍රියානිගේ ජීවිතය

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 325

සුන්දර හදකට දී පෙම්වරම්
කඳුළ නිවන්නම් නෙත නොතෙමනවා නම්
අලුත් සඳ ඇවිත් අහසට

ඇතුළු ජනප්‍රිය ගී රැසක් ශ්‍රී ලාංකීය ගීත කලාවට දායාද කළ ජනප්‍රිය ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මිය පසුගියදා සිය ජීවන ගමනට සමුදුන්නාය. සැබැවින්ම ඇය දිවියට සමුදුන්නා නොව ඇගේ ස්වාමියා විසින් ඇගේ දිවිය තොරකර දමනු ලැබීය.

මම සාලයේ ටීවී බලමින් හිටියා. ඒ වෙද්දි අම්මයි තාත්තයි කාමරේ කතාවක හිටියේ. එකපාරටම කෑගැහිල්ලක් ඇහුණා. අනේ රෂිනි මාව බේරගන්න කියලා අම්මා කියනවා ඇහුණා. ඒත් එක්කම මම බයවෙලා දුවගෙන ගිහින් අල්ලපු ගෙදර ඇන්ටිට කියලා ගෙදර ආවා. එද්දි අම්මා ගෙදර ඇඳේ ලේ ගොඩක් මැද වැටිලා හිටියා.

ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ ලේලිය වන රෂිනි තක්ෂිලා ෆොන්සේකා හැඬූ කඳුළින් පැවසුවේ ඇය දුටු දසුන පිළිබඳවය.

පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි වී සිටි ප්‍රියානි ජයසිංහ මහත්මිය ගායිකාවක් වශයෙන් ක්ෂේත්‍රයේ නමක් දිනා සිටියද ඇයගේ දක්ෂතාවයට හෝ එකී කටයුතු සඳහා ඇයගේ ස්වාමියාගෙන් කිසිදු සහායක් ලැබී නැතැයි කියති. මේ නිසා ගී ප්‍රසංග සහ වෙනත් කලා කටයුතුවලට සම්බන්ධ වෙමින් තම දරැ දෙදෙනා පෝෂණය කරමින් ඔවුන්ගේ වගකීම් ඉටුකළ ඇයට ස්වාමියාගෙන් එල්ල වූ තාඩන පීඩන හා පහරදීම්වලින් අඩුවක් නොවීය. මේ අයුරින් ස්වාමියාගේ පහරදීම හා බැණවැදීම සාමාන්‍ය වන තරමට දෙදෙනා අතර කලක පටන් පවුල් ආරවුල් පැවැති බවට තතු දන්නෝ පවසති.

දිනෙන් දින වර්ධනය වන පවුල් ආරවුල් හේතුවෙන් කලා කටයුතු පවා අඩාල වෙමින් පැවැති බැවින් යම් සහනයක් පතා ඇය පොලීසියේ සහාය පතා තිබුණි. ඒ අනුව පවුල් ආරවුල් පිළිබඳ පානදුර දකුණු පොලීසියේ පැමිණිලි කීපයක් සටහන් කළද සුළු පැමිණිලි අංශය විසින් දෙපාර්ශ්වය කැඳවා ගැටලු සමථයකට පත්කර නැවත යවා තිබුණි. එවැනි පැමිණිලි දහයක් පමණ පොලීසියට වාර්තා වී තිබුණු අතර ස්වාමියා විසින් ඇයට පහරදුන් බව සඳහන් අවසන් පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ මීට වසර එකහමාරකට පමණ පෙරය. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පොලීසිය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යන චෝදනාව යටතේ ඇගේ ස්වාමිපුරුෂයාට එරෙහිව අධිකරණයට කරුණු වාර්තාකර එහි නඩු විභාගයෙන් නියම කර තිබුණේ සැමියාට සිය බිරියගේ නිවසට යාම ඒම සහ වාසය කිරීම වසරක් පුරාවට තහනම් කිරීමය. අදාළ තීන්දුව ප්‍රකාරව ප්‍රියානි ජයසිංහ මහත්මියගේ සැමියාට පැනවූ නීතිය අනුව ඔහු වසර පුරාවට නිවසට පැමිණ තිබුණේ නැත.

මේ ආකාරයට ගතවූ වසරක කාල සීමාව ගෙවී අවසන් වී තිබුණේ මාස කීපයකට ඉහතදීය. ඉන්පසුව ස්වාමිපුරැෂයා යළිත් බිරිය වෙසෙන නිවසට ඒමට පටන්ගෙන ඇතිමුත් පෙර සිටම පැවැති දෙදෙනාගේ විරසකකම් අඩුවී නොමැත. මේ හේතුව නිසා මහත් සිත් පීඩාවෙන් කලකිරී කල් ගෙවමින් සිටි ප්‍රියානි මහත්මිය ඊට නිසි විසඳුමක් නොමැතිකම නිසා සිත ලිහිල්කර සන්සුන් කරගැනීම සඳහා භාවනා කිරීමේ නිරතව සිට ඇත. ඒ සඳහා ඇය ආරාමයක් තෝරාගෙන තිබුණු අතර විටෙක එහි දින දෙක තුනක් නැවතී භාවනාවේ නිරතව සිටියාය. මෙය ඇය විසින් පුරුද්දක් වශයෙන් සිදුකළ බව ඇගේ ඥාතීහු පවසා සිටිති.

මෙසේ ඇය අවසන් වතාවට ආරාමයට ගොස් නැවත පැමිණ තිබුණේ පසුගිය 8 වැනිදා පස්වරුවේය. එදින ඇගේ සැමියා ප්‍රියානි මහත්මිය සමග බහින්බස් වීමක් ඇති කරගෙන තිබුණි. එම අවස්ථාවේ වූ සිදුවීම පිළිබඳ ප්‍රියානි මහත්මියගේ ලේලිය රෂිනි මෙසේ පැවසුවාය.

මම ටී වී බලන අතරේ අම්මයි තාත්තයි දෙන්නා කාමරේ කතා කරමින් හිටියා. මගේ දරුවාත් අම්මා සමඟ හිටියා. මේ වෙලාවේ මගේ මහත්තයා කඩේට ගිහින් හිටියේ. එකපාරටම ඇහුණා අනේ රෂිනි මාව බේරාගන්න කියලා අම්මා කෑ ගහනවා. කළින් මට අම්මා කියලා තිබුණේ මොනවා හරි දේකදි ඉස්සරහා ගෙදරට කියන්න කියලා. මම දුවගෙන ගිහින් ඇන්ටිට කියලා ආවා. මහත්තයාට කෝල් කළා. කාමරයට ගිහින් බලද්දි අම්මා ඇඳේ ලේ ගොඩක් මැද වැටිලා හිටියා. මහත්තයයි ළඟ අන්කල් කෙනෙකුයි එක්ක අම්මා රෝහලට ගෙන ගියා. ඒ වෙද්දි තාත්තා ගෙදර හිටියේ නෑ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රියානි මහත්මියගේ පුත්‍රයා වන ලෝචන නිමුන් ඊටන් මහතා, මම කඩේට ගිහින් හිටි වෙලාවේ වයිෆ් කෝල් කරලා තාත්තා අම්මාට ගහනවා කියලා කිව්වා. මම ඉක්මනට ගෙදර ආවා. ඒ වෙද්දි අම්මා ලේ පෙරාගෙන වැටිලා හිටරියා. තාත්තා නම් පේන්න හිටියේ නෑ. ඉක්මනට අම්මා රෝහලට ගෙන ගියා. මගදි තමයි අම්මා නැතිවුණේ.

ප්‍රියානි මහත්මිය සිය දරුවාගේ තුන්මස් බිළිඳිය ඇඳේ තබා සුරතල් කරමින් සිටියදී ඇගේ ස්වාමියා විසින් උල් කතුරක කොටසකින් ඇනීම නිසා තුවාල ලබා අධික රුධිරය පිටවීමෙන් මරණයට පත්ව තිබුණි. සැකකාර සැමියා කුෂන් වැඩපලක අත්උදව්කරුවෙකි. ඔහු ලද අවස්ථාවලදී පෞද්ගලිකවත් එම කටයුතුවල නිරත වූවෙකි. සේවය කරන ස්ථානයෙන් ඉවත ලන ඇතැම් උපකරණ කැබලි රැගෙන විත් ඔහු සිය අවශ්‍යතා සඳහා යොදාගැනීම පුරුද්දකි. ඝාතනය සඳහා යොදාගත් කතුරු කැබැල්ල එවැනි එකකි. එය සේවා ස්ථානයේ රෙක්ෂින් කැපීමට යොදාගත් එකකි. එහි තලය දෙපස තියුණු ලෙස කැපෙන පරිදි සකසාගෙන තිබුණේ රැකියාවේ පහසුවටය. ඉන් සිදුකළ පහරදීමෙන් ප්‍රියානි මහත්මියගේ ගෙල, පපුව, උදරය, නිකට, ඔළුව, පෙනහැල්ල ඇතුළු ස්ථාන අටක බරපතළ තුවාල අටක් සහ තවත් කැපුම් තුවාල පහක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධියෙන් පසුව පලා යමින් සිටි ප්‍රියානි ජයසිංහ මහත්මියගේ සැමියා පානදුර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ පානදුර දුම්රියපොළේ රුඳී සිටියදීය. ඔහු සිදුවීම පිළිබඳව කළ පාපොච්චාරණයේ මෙසේ කියවේ.

මට මගේ බිරිය ගැන විශාල සැකයක් තිබුණා. ඇය මම කියන දෙයක් ඇහුවෙම නෑ. සමහරදාට භාවනා කරන්න යනවා කියලා ගිහින් දින ගණන් එන්නේ නෑ. කෝල් ගත්තාට කතා කරන්නේ නෑ. අනිත් අය එක්ක කතා කරනවා. කෝල් එකක් ආවාම මගෙන් ඈතට ගිහින් කතා කරනවා. මේ සැකය නිසයි මම කතුරෙන් ඇන්නේ.

සිද්ධියට අත්අඩංගුවට ගත් සැමියා ලබන 23දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණ. කිසිවෙකුත් නොසිතූ ලෙස අවසන් ගමන් ගිය ජනප්‍රිය ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ ඝාතනය පිළිබඳව පානදුර පොලිස් අධිකාරි ක්ලෙමන්ට් ප්‍රනාන්දු, පානදුර දකුණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා, අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී. රෝහණ සිල්වා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර