2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

ප්‍රශ්න හතර

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 41

1. පසුගිය සතියේ ජනාධිපතිවරයා සෝභිත හිමියන්ගේ ගුණානුස්මරණ උත්සවයේදී අර්බුදකාරී කථාවක් කළා. ඇතැමුන් කියන්නේ ඒ කථාවෙන් පෙනුණේ සම්මුතිවාදී ආණ්ඩුවේ සම්මුතිය ඉවරයි කියලයි. ඇත්තටම සම්මුතිවාදී ආණ්ඩුවේ සම්මුතිය ඉවරයිද?

2. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අනුරාධපුර රැලියේදී කියලා තියනවා දේශපාලන නායකයන් එක්ක ඩීල් නැහැ. ඩීල් තිබෙන්නේ ජනතාව එක්ක කියලා. මේ ඩීල් දේශපාලනය තවමත් සිදු වෙනවාද?

3. ඉදිරි පළාත් පාලන ඡන්දයේ ගැසට් එක පිටවෙලා තියනවා. ඒ අනුව තෝරාගන්නා සභිකයන් මෙවර කලින් වතාවත්වලට වඩා දෙගුණයකින් වැඩිවෙලා. මෙච්චර සභිකයන් ප්‍රමාණයක් පත් කිරීමේ තේරුමක් තියනවද?

4. ආණ්ඩුකම ව්‍යවස්ථාවක් මේ වේලාවේ අවශ්‍යය නෑ කියලා දකුණේ විශාල මතවාදයක් පවතිනවා. ඇත්තටම ව්‍යවස්ථාවක් අවශ්‍යද? නැද්ද?

අාගමික නායකයොත් ආණ්ඩුවට විරුද්ධයි!

එක්සත් ජනතා නිදහස් සන්ධාන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන

1. මේ සම්මුති ආණ්ඩුව කියන්නේ එළ හරකයි මී හරකයි වගේ එකක්. ඉතිං ඕවා අද ඊයේ නෙවෙයි කලින් ඉඳලම දැක්කා. මේ සම්මුතිය කියන වචනය පාවිච්චි කරන එකත් වැරදියි. ඇත්තටම මෙතන සම්මුතියක් නැහැ. මේ දෙගොල්ලෝ එකිනෙකාගේ පිහිටෙන් තමයි මේ ගමන යන්නේ. කිසිම හැඟීමක් නැති විවාහයක් වගේ තමයි. මේ ආණ්ඩුවත් පොරොන්දම් ගැලපෙන්නේ නැති වුණාම ඒ විවාහයත් කැඩෙනවා. මේක තමයි දැන් වේගෙන යන්නේ.

2. දැන් එක එක කටකතා යනවා එජාපය එක්ක ඩීල් දානවා. මෛත්‍රී ජනාධිපතිතුමා එක්ක ඩීල් දානවා කියලා. නමුත් මේ අයම තමයි මේ ප්‍රචාරයන් කරන්නේ. එජාපයේ ප්‍රතිපත්ති ගැලපෙන්නේ නැති නිසා තමයි එතුමා මෙහෙම ඩීල් දාන්න ගන්නේ නැත්තේ. ඒ අය එක්ක ඩීල් දානවට වඩා ජනතාව එක්ක ඩීල් දාන එක හොඳයි කියලා තමයි එතුමා කියන්නේ.

3. ඇත්තටම ජනතාව මේවා කරන්න නෙවෙයි මේ ආණ්ඩුව පත් කළේ. දැන් සමහර ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරු හිටපු ගාණට වඩා දෙගුණයකින් වැඩි වෙනවා. මේ අයට ප්‍රතිපාදන වෙන් කරන්න නාස්ති වෙන්නේ මහජන මුදල්. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට තියන ගෞරවයන් අඩු වෙනවා. මේ මන්ත්‍රීවරු වැඩි කරන එකට අපි දැඩිලෙස විරුද්ධයි.

4. අපේ රටේ ව්‍යවස්ථාවල් හදනවා සංශෝධනය කරනවා. අලුත් කරනවා. නමුත් මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ ව්‍යවස්ථා හදන අයම මේවා උල්ලංඝනය කරනවා. මේ ව්‍යවස්ථාව නිසා රටේ ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා. මේ නිසා තමයි ආගමික නායකයන් පවා නැගී සිටින්නේ. ඒ නිසා මේ වේලාවේ ව්‍යවස්ථාවක් අවශ්‍යය වෙන්නේ නැහැ.

කව්ද කියන්නේ සම්මුතිය ඉවරයි කියලා

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ

1. නැහැ. එහෙම සම්මුතියක් නැහැ. නමුත් මෙතනදී ජනාධිපතිතුමා ඒ ප්‍රකාශය කරලා තියෙන්නේ යම්යම් ආණ්ඩුවේ ඉන්න මැති ඇමැතිවරු වැරදි කරනවා ඒ අය ගැන තමයි ඒ විදිහට ඉඟිකරලා තියෙන්නේ. ආණ්ඩුව වෙනස්වීමක් ගැන නෙවෙයි.

2. එජාපයේ අපි කවදාවත් ඩීල් දාලා නැහැ. මෙවර පළාත් පාලන මැතිවරණයට අපි එජාපයෙන් ඉදිරිපත් වෙනවා. ශ්‍රීලනිපය අතෙන් ඉදිරිපත් වෙනවා. හිටපු ජනාධිපතිතුමාගේ ඒකාබද්ධ විපක්ෂය පොහොට්ටුවෙන් ඉල්ලනවා. ඒ නිසා මේකෙන් ඩීල් දාන්න දෙයක් නෑ.

3. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු කාලයේ තමයි දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවකින් තමයි මේ පළාත් පාලන ක්‍රමය වෙනස් වෙන්න ඕන කියලා කිව්වේ සියලුම පක්ෂ යෝජනා සම්මත කරලා හදපු යෝජනාවක්.

4. අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාව සංශෝධනය විය යුතුයි. මොකද අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි. මේ සම්මුතිවාදී ආණ්ඩුව බලයට පත්වෙනකොට ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරලා තිබුණා විධායක බලතල අඩු කරනවා කියලා. එතකොට එතුමාගේ තියන විධායක බලතල අඩු කරලා ඒක පාර්ලිමේන්තුවට ලබා දෙනවා කියලා එතුමා එවැනි ප්‍රකාශයක් කරපු එක ගැන අපි සතුටු වෙන්න ඕන.

ජනාධිපතිතුමාට හදිසියේම හොරු එළවන්න මතක් වෙලා 

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

1. ඇත්තටම ආණ්ඩුව ඇතුළේ තිබෙන බලවත් ගැටුම එළියට පැමිණීමක් විදියට තමයි එය දකින්නේ. අපි දන්නවා මහ බැංකු බැඳුම්කර වංචාව සිදු වූ අවස්ථාවේ සිට ජනාධිපතිවරයා කටයුතු කළේ එය සම්පූර්ණයෙන් වහන්න. බැඳුම්කර හොරුන් රකිමින් වසර දෙකක් හිටිය ජනාධිපතිතුමාට හදිසියේම හොරු එලවන්න ආපු අය හොරකම් කරන බව සිහිපත් වන්නේ ගැටුම තීව්‍ර වීමෙන් බවයි අපේ විශ්වාසය.

2. ජනතාව සමඟ ඩීල් දැමීම සෑම දේශපාලකයෙකුම කරන දෙයක්. ඩීල් කියන වචනය බොහෝ අය වැරදියට තේරුම් අරන් තියෙන්නේ. ඩීල් කියන්නේ එකඟතාවයක් ඇති කර ගන්නවා කියන එකනේ. ජනතාව එක්ක ඩීල් දාන්නේ නැහැ. මේ ඩීල් දාන්නේ විදේශීය නායකයන් එක්ක කිව්වනම් තමයි ඇත්තටම අපි කලබලවිය යුත්තේ.

3. ඇත්තටම සභිකයන් වැඩි කිරීමට මමත් විරුද්ධයි. කොට්ඨාසවල ප්‍රමාණය ඉහළ නංවා කොට්ඨාස ගණන අඩුකිරීමෙන් සිටින මන්ත්‍රීවරුන්ගෙන්ම හෝ මන්ත්‍රීවරු සුළු සංඛ්‍යාවක් ඉහළ නැංවීමෙන් නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමට ඕන තරම් අවශ්‍යතාව තිබුණා. මෙලෙස මන්ත්‍රීවරුන් වැඩි කිරීමෙන් එක පැත්තකින් සියලුම නගර සභා ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරු නඩත්තු කරන්න විශාල පිරිවැයක් යනවා.

4. රටට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන එක කිසිම විවාදයක් නැහැ. නමුත් මේ අවස්ථාවේ ව්‍යවස්ථාවක් හැදුවොත් එය හදන්නේ රටට වින කරන බෙදුම්වාදී බලවේග හා ජ්‍යාත්‍යන්තර බලවේග. අන්න ඒ නිසා තමයි අද මහා සංඝරත්නයත් රටේ වැඩි බහුතරයත් දේශප්‍රේමී බලවේගයත් මේ වේලාවේ රටට ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ කියන්නේ.

අලුත් ව්‍යවස්ථාවක් අනිවාර්යයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිශාම් කාරියප්පර්

1. මම එහෙම දකින්නේ නැහැ. සම්මුතිවාදි ආණ්ඩුවේ එකඟතාවය මත තවදුරටත් යහපාලන ආණ්ඩුව කරගෙන යාමක් තමයි මම දකින්නේ. ජනාධිපතිවරයා ඒ වෙලාවේ කියපු කතාවෙන් ඔප්පු වෙන්නේ නැහැ ආණ්ඩුව කරගෙන යන මේ සම්මුතිය ඉවරයි කියලා. යමෙක් එසේ හිතන් ඉන්නව නම් එය වැරදි වැටහීමක්.

2. ඒක එතුමාගෙන්ම තමයි අහන්න ඕන. දේශපාලනයේ කා එක්කද ඩීල් දැම්මේ කියලා එතුමා දන්නවා ඇති. අපේ අතීතයේ දේශපාලනය දිහා බලපුවහම ඩීල් දාපු නායකයන් තමයි ඉන්නේ.

3. මේක ගෙනාවේ ගිය ආණ්ඩුවෙන් සියයට හැත්තෑවයි. සියයට තිහයි කියලා. අලුත් ක්‍රමයක් හඳුන්වා දීපු අවස්ථාවේදීම සමහරු ඒ ගැන කතා කළේ නෑ. ඊට අමතරව කාන්තා නියෝජනය ලබා දෙන්න වැඩිවීමක් වුණා. මමනම් දකින්නේ ගම් මට්ටමේ නියෝජිතයන් වැඩිවීම හොඳයි කියලා. මොකද එතකොට ගමට සේවයක් කරන්න හොඳම කෙනා තෝර ගන්න පුළුවන්නේ අපිට.

4. අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා තමයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පසුගිය මැතිවරණයේදී ප්‍රකාශ කළේ. ඒකට අවස්ථා දෙකේදීම ජනවරම හිමි වුණා. මොකද මේ ව්‍යවස්ථාවේ ආරවුල් ගොඩක් තියන නිසා දේශපාලන අවශ්‍යතා මත තමයි මේ ව්‍යවස්ථාව තියෙන්නේ. එහෙම නැතුව ජනතාවගේ කථිකාවන් මත ලැබුණු අවස්ථා නෙවෙයි. ඒ නිසා අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි අනිවාර්යයෙන්ම.

මහින්ද මහත්තයට ඩීල් නැතුව පවතින්න බැහැ

ජනතා විමුක්ති පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති

1. මේ සම්මුතිය ඉවර නැහැ. කවදාවත් ඉවර වෙන්නෙත් නෑ. මේ සම්මුතියෙන් කැඩිලා වත්මන් ජනාධිපතිවරයාට තනිවම පවතින්න බැහැ. ඒ වගේම තමයි මේ සම්මුතියෙන් කැඩිලා අග්‍රාමාත්‍යවරයාට පවතින්නත් බැහැ. ඒ නිසා මේ දෙපිරිසම සම්මුතියේ ඉන්නේ ජනතාවගේ හා රටේ ප්‍රශ්න විසඳන්න නෙවෙයි. තවදුරටත් ඉතිරි කාලය බලයේ ඉන්න තමයි මේ අය මේ සම්මුතියේ ඉන්නේ.

2. මහින්ද රාජපක්ෂ මහත්තයා හැමදාම කළෙත් දැන් කරන්නෙත් දේශපාලනය ඩීල් එකක්. 2005 ආණ්ඩුවේ බලය ගත්තෙත් එජාපයේ බොහෝ මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද දීලා. චන්ද්‍රිකාගේ කැබිනට් එකේ කාලයේ ඉඳන්ම එතුමාට ඩීල් සබඳතා තිබුණා. අදත් ගිය ආණ්ඩුවේ මහ පරිමාණ දූෂණ වංචා යට ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ ඩීල් නිසා. ඩීල් නැතුව මහින්ද රාජපක්ෂ මහත්තයට පවතින්න බැහැ.

3. ගමේ ජනතාවගේ සංවර්ධන කටයුතු නිසි ආකාරයට සිදු කරන්නනම් ගමට වැඩ කරන මහජන නියෝජිතයෙක් අවශ්‍යයි. ඒ නිසා මේ මන්ත්‍රීවරු වැඩි වීමේ වාසිය ජනතාව ගන්න ඕනනම් කළයුතු එකම දෙයයි තියෙන්නේ. ඉදිරි මැතිවරණයේදී ගමට වැඩක් කළහැකි අයකු ප්‍රාදේශීය සභාවට යැවීම පමණයි.

4. මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් පොදු අපේක්ෂකයා වෙන්නේ විධායකය අහෝසි කරන්න. ඒ සඳහා අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. දැන් එපා කිව්වට රාජපක්ෂ කල්ලියත් මෙයට එකඟ වුණා. මේ නව ව්‍යවස්ථාව තමන්ට හොඳ නැත්නම් එය පරාජය කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරැ කරලා තියනවා. නව ව්‍යවස්ථචාවක් හදලා ඒක සම්මත කරනවනම් එය මේ රටේ ජනතාවගේ කැමැත්තට ඒ කියන්නේ ජනමත විචාරණයකට අනිවාර්යයෙන්ම යොමුකළ යුතුයි කියලා.

පළාත් සභාවලට බලතල මදි!

ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද

1. ඒ කතාව ගැන විවිධ අය විවිධ කථාබහ කරනවා. පහුගිය දවස්වල නමුත් මේ සම්මුතිවාදී රජයේ සම්මුතිය ඉවරයි කියලා අපි හිතන්නේ නෑ. ඒ සම්මුතිවාදී ආණ්ඩුව 2020 වෙනකම් බලයේ ඉඳීවි කියලා අපි හිතනවා.

2. දේශපාලනයේ ඩීල් දාන එක සිදුවුණේ අද ඊයේ නෙවෙයි. ඉස්සර ඉඳලම මේ ඩීල් දේශපාලනය තිබුණා. කවුද ඩීල් දැම්මේ කවුද ඩීල් නොදැම්මේ කියලා ජනතාව දන්නවා. කොහොමත් මේ ඩීල් දේශපාලනය තවමත් පවතිනවා. ඉතින් මේ දේශපාලනය පවතින කල්ම ඩීල් තියනවා. ඒක නැතිවෙන්නේ නැහැ.

3. ඇත්තටම මේක අලුත් අත්දැකීමක් වෙයි. බොහෝ ජනතාවට පහුගිය කාලවලදී තමන්ගේ ප්‍රදේශයේ සිටිය ඒ මන්ත්‍රීවරයා තමන්ගේ ගමට වැඩක් කරලා නැත්නම් ගමට වැඩ කරන මන්ත්‍රීවරයෙක් පත්කර ගන්න ජනතාවට ලබාදුන්න තීන්දුවක් වෙයි කියලා හිතනවා. මේක මේ විදියටත් කරලා බලමු කොහොම වෙයිද කියලා.

4. ඇත්තටම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. මේක අපි ඉල්ලන්නේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න පදනම් කරගෙන විතරක් නෙවෙයි. දකුණෙත් අනෙකුත් ජනතාවගේ මතයක් තියනවනේ මෙය වෙනස්විය යුතුයි කියලා. දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන්නම් අපි කියන්නේ දැනට පවතින පළාත් සභා ක්‍රමය ශක්තිමත් කළ යුතුයි. ඒ විසඳුමට අවශ්‍ය දේ දිය යුතුයි කියලා තමයි අපේ ස්ථාවරය.

සංස්කරණය : හසිත් අංජන
සේයාරූ / අන්තර්ජාලයෙනි

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00