2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

ජීවිතේ හැමවිටම “රී චාර්ජ්” කරගන්න

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

“යහපැවැත්ම” යන වචනය කොතරම් හුරුපුරුදු වචනයක් වුවද අද වෙද්දී බොහෝ මිනිසුන් තුළ සෞඛ්‍ය ගැටලු බොහෝමයක් පවතී. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලැබෙනුයේ යම් කිසි කෙනෙකු තමන්ගේ යහපැවැත්ම පිළිබඳව සැලකිලිමත් වීම තුළිනි. යහපැවැත්ම අපි විසින් ඇතිකර බලාගත යුතු පැතිකඩයන් කිහිපයක්ම ඇත. 

බුදුන් වහන්සේ දේශනාකොට වදාළ “ආරෝග්‍යා පරමා ලාභා” ධම්ම පදය මේ සඳහා හොඳම නිදසුන වේ. අපි සැවොම ලාභ සෙවීමේ වටපිටාවක ජීවත් වෙමු. ලාභය කොටස් දෙකකට බෙදිය හැක. එනම් ආර්ථික ලාභය හා ජීවිතේ සාර්ථකත්වයයි.

කෙනකු සාර්ථක වීම තුළ යහපැවැත්ම නැතිවූ විටදී කිසිදු පලක් නොමැත. කෙනකුට ලැබිය හැකි ඉහළම ලාභය වන්නේ යහ පැවැත්මයයි. බොහෝ දෙනෙකුගේ නිවෙසේ කුමනාකාරයේ හෝ රථයක් පවතී. මෙම වාහනයට අවශ්‍ය සේවා සැපයුම නොකොට උදේ සවස නොනවත්වා ධාවනය කළවිට එම වාහනය ඉතා ඉක්මනින් දුර්වල වේ. දුබල වේ.
අපගේ බාහිරව පෙනෙන භෞතික ශරීරය පමණක් නොව භෞතික ශරීරය, මානසික ශරීරය, අධ්‍යාත්මය වැනි සියලුම දේ පිළිබඳව අප විසින් සැළකිළිමත් විය යුතුය. විවිධ දාර්ශනික මට්ටමින් අප විසින් මේ පිළිබඳව දැනුවත් වී සිටියද මෙය ප්‍රායෝගිකව නොකිරීම තුළින් බොහෝ සෞඛ්‍ය ගැටලු ඇතිවේ.

මෑතකදී බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවක සඳහන් වූ පරිදි ලෝකය පුරා කළ සමීක්ෂණයකට අනුව අවසානයේදී ලැබුණු නිගමනය වන්නේ ලෝකයේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින ඉහළ නිලධාරීන් යොදවා කළ සමීක්ෂණයකට අනුව මොවුන් අතරින් සියයට හැටක් සෞඛ්‍ය සම්පන්න නොමැති බවය.

මෙයින් පෙනී යන්නේ දැන සිටීම පමණක් යහපැවැත්ම සඳහා ප්‍රමාණවත් නොවන බවයි. ක්ෂේත්‍රයේ සිටින සෑම කෙනකුම සෞඛ්‍ය ගැන දැන සිටින නමුත් එය යහපැවැත්ම සඳහා ප්‍රමාණවත් නොවේ.

යහපැවැත්ම රැක ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද...?

නැවත වතාවක් ඔබගේ නිවෙසේ ඇති වාහනය ගැන මඳකට සිතන්න. ඕනෑම වාහනයක් යම්කිසි කාලයක් ධාවනය කොට එම එන්ජිම රත්වන විට එන්ජිම නිවෙන තුරු වාහනය නතර කර තිබිය යුතුවේ. ඒ ලෙසින්ම අපගේ ශරීරයද යම්කිසි කාලයක් රත්වූ එන්ජිම නිවෙන්නට තිබිය යුතුවේ. අප විසින් ශරීරය විවේකය ගැන්විය යුතුය.

විවේකය දෙආකාරයයි. එනම් අපි විසින් අවදියෙන් සිටිමින් ගනු ලබන විවේකය සහ නින්ද තුළින් ගනු ලබන විවේකයයි. අපි විසින් අවදියෙන් සිට ගනු ලබන විවේකය යන්නෙන් අදහස් කරන්නේ ශරීරයට මහන්සියක්, තෙහෙට්ටුවක් දැනුණු විට කෙටි විවේකයක් ගැනීමට පුරුදු වීමය. මෙම මහන්සිය පාඩම් කොට ඇතිවන මහන්සියක්, යම් වැඩක් කොට ඇතිවන මහන්සියක් වන්නට පුළුවනි. මෙවැනි ඕනෑම මහන්සියක් තමනට දැනුණු විට හැකි ඉක්මණින් කරන වැඩකටයුතු මඳකට නතරකොට විනාඩි පහක් හෝ විනාඩි දහයක කෙටි විවේකයක් ලබා ගන්න. 
නින්ද පිළිබඳ වර්තමානයේදී සැළකිළිමත් වීම ඉතා අඩුය. නින්ද පිළිබඳව මහා අවබෝධයක් තිබීම අවශ්‍යයි. නින්ද තුළින් අපි නැවතත් ආරෝපණය වන්නෙමු. එය ඔබ නිවසට ගොස් ඔබේ ජංගම දුරකථනය නැවතත් චාජ් කරන්නා සේ අපගේ ශරීරය ආරෝපණය කරනු ලබන්නේ නින්ද මඟිනි. මෙම නින්ද නිසියාකාරයෙන් ලබාගැනීම ඉතා වැදගත් වේ. මෙම නින්දෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට නම් හැකිතරම් මධ්‍යම රාත්‍රියට පළමුව නිදාගත යුතු බව පරීක්ෂණවලින් ඔප්පු වී ඇත. එනම් ඔවුන් නින්දට සුදුසුම කාල වේලාව ලෙස සඳහන් කරනුයේ රාත්‍රී දහයයි. මෙය බොහෝ දෙනකුට අපහසු වේලාවක් වුවද ඔබ උත්සාහ කළයුතු වන්නේ. මධ්‍යම රාත්‍රියට පළමුව නිදා ගැනීමයි. එලෙස මධ්‍යම රාත්‍රියට පළමුව නින්දට ගොස් හිරැ නැගෙන්නට පළමුව අවදි වීමද ඉතා වැදගත්වේ. එවිට ශරීරය තුළ අවශ්‍ය ශක්තිය හා ප්‍රබෝධය රඳවා ගතහැකිය.

නින්දට යන්නට පළමුව අඩුම තරමේ පැය දෙකකට පළමුව රාත්‍රී ආහාරය ගන්නට අමතක නොකරන්න. එයට හේතුව වන්නේ ආමාශය ආශ්‍රිතව ආහාර සමඟ නිදාගැනීම එතරම් යෝග්‍ය නොවීමය. ඔබේ වාහනයේ එන්ජිම නතර නොකොට ගරාජයට දමා ගරාජය වසා තැබීම මෙන් ක්‍රියාවලියකට එය සම කිරීමට පුළුවනි. 

විවේක නින්දක් ලබන්නම නම් අඩුම තරමේ නින්දට පැය බාගයකට පෙරවත් ජංගම උපකරණ, පරිගණකය, රූපවාහිනිය, අන්තර්ජාලය, ගුවන්විදුලිය වැනි විද්‍යුත් උපකරණ සියල්ලම නතර කර ඒ සියල්ලෙන්ම ඈත් වෙන්න. වාහනයට අවශ්‍ය කරන ඉන්ධන නිසි පරිදි ලබා දීමට අපි අමතක නොකරමු. ඉන්ධන නොමැතිව වාහනයක් ධාවනය කළ නොහැකි බව අප දැන සිටීම ඊට හේතුවය. එමෙන්ම ශරීරයට අවශ්‍ය ඉන්ධන හෙවත් ආහාර නිසි පරිදි ශරීරයට ලබා දීමට අවශ්‍යය.

යහපැවැත්ම වෙනුවෙන් කළයුතු දේ ගැන ලබන සතියෙන්

♦ දිශානි ජයමාලි කරුණාරත්න

 
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00