2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

සෙල්ලිපියට කොන්ක්‍රීට් දැමූ පින්වතුන්!

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 309

ශ‍්‍රී ලංකාව තුළ ඉදිකරන ලද ප‍්‍රථම දාගැබ ලෙස සැලකෙන ථූපාරාමයේ තොරතුරු අඩංගු සෙල්ලිපිය වසා දමා කොන්ක‍්‍රීට් බැම්මක් ඉදිකිරීමේ සිද්ධිය ඉකුත් සතියේ ආන්දෝලනාත්මක තත්වයක් මතු කළේය. අනුරාධපුර මහමෙව්නා පුදබිමේ පිහිටි ථූපාරාමයේ නම සඳහන් ආදිතම සෙල්ලිපිය වසා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙසේ කොන්ක‍්‍රීට් බැම්මක් ඉදිකර තිබීම පිළිබඳව ප‍්‍රදේශවාසී ගැමියන් හෙළිදරව් කරන ලදුව මාධ්‍ය ඔස්සේ වාර්තා විය.

අනුරාධපුරය, ත‍්‍රිකුණාමලය ප‍්‍රධාන මාර්ගයේ කහටගස්දිගිලිය, මැකිච්චාව මංසන්ධියෙන් මීටර් 130 ක් පමණ දුරින් පිහිටි පාලු මැකිච්චාව ගමේ වැවේ පිටවානේ වාන් ගලක මේ සෙල්ලිපිය කොටා තිබී ඇත. මේ වැව සහ ඒ යටතේ ඇති කූඹුරුයාය අස්වද්දා ඉන් ලබාගන්නා ධාන්‍ය ථූපාරාමවාසී භික්ෂුන්වහන්සේලාට සිවුපසය සඳහා ලබාදීම එසමයෙහි සිදුව ඇති බව මේ සෙල්ලිපිය මගින් සනාථ කර ඇති බව පුරාවිද්‍යා නිගමනයයි. අදින් වසර 1800 ක් පමණ පැරැණි ගාමිණි අභය හෙවත් ගජබාහු (කි.ව.114 – 136) රජු සමයේ කොටා ඇති මේ සෙල්ලිපිය පේලි හයකින් සමන්විතව ඇත. කොන්ක‍්‍රීට් බැම්ම ඒ මතින් ඉදිකිරීම හේතුවෙන් එහි පේලි පහක් සම්පුර්ණයෙන්ම කොන්ක‍්‍රීට් බැම්මට යටවී ඇති අන්දම දැකගත හැකි බව ප‍්‍රදේශවාසීන් කියති.

මේ සෙල්ලිපිය දිගින් අඩි 08ක් වන අතර, අඟල් 4 සිට 7 දක්වා උසකින් යුක්ත වේ. අඟල් 2 සිට 5 දක්වා පුළුල් වන සේ මෙහි අකුරු කොටා තිබේ. දෙවැනි ශතකයට අයත් අක්ෂර හා ඊට පැරැණි අක්ෂර මේ සෙල්ලිපියේ දක්නට ඇති බව පුරාවිද්‍යා විශේෂඥයින්ගේ අදහසයි.

දේවානම්පියතිස්ස රජතුමා විසින් බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කර ඉදිකරවූ ථූපාරාමය අටමස්ථානයට හා ලක්දිවට අයත් වෙහෙර විහාර අතරින් පැරණිතම දාගැබ වේ. රුවන්වැලි මහා සෑයට යාර හාරසියයක් පමණ උතුරු දෙසින් බසවක්කුලම වැව ආසන්නයේ පිහිටා ඇත. දාගැබ ඉදිකර එයට ආසන්නව ආරාමයක් තැනවූ බැවින් ථූපය පෙරටුකොට ආරාමය යන අදහසින් ථූපාරාමය ව්‍යවහාරයට එක්ව ඇති බව කියැවේ.

දේවානම්පියතිස්ස රජතුමාට පසු රජවූ රජවරුන් ථූපාරාම දාගැබට පේකඩ සහිතව අටපට්ටම් ගල්කණු මත ධාතු ගෘහයක් ඉදිකළ බවත්, රන් රිදීයෙන් ස්ථූපය ආවරණය කළ බවත්, වටදාගෙයට රන් උළු සවිකළ බවත්, දොරවල් රනින් සෑදූ බවත් ථූපවංශයේ දැක්වේ. 

වර්තමානයේ දී අපට දක්නට ලැබෙන්නේ 1842 වර්ෂයෙන් පසු ප‍්‍රතිසංස්කරණය කළ ථූපාරාම චෛත්‍යයයි. අද වනවිට දාගැබේ උස අඩි 63 කි. විෂ්කම්භය අඩි 59 කි. පිහිටි පොළොවේ සිට අඩි 11 ක් උසින් වේදිකාවක් මැද ස්ථූපය පිහිටා ඇත. ස්ථූපය වටා ගල්කණු 176 ක් පමණ යොදා ඉදිකළ ථූපඝරයක් සාදා ඇත. මෙම ගල්කණු 176 න් 42 ක් අද වනවිට දක්නට නොමැති අතර, ඉතිරි 134 න් බොහෝමයක් කැඩී බිඳී ගොස් ඇත.

ථූපාරාමවාසී භික්ෂුන් උදෙසා සිවුපසය සාක්ෂාත් කරනු වස් කහවනු 5000 ක් වියදම් කොට පාලු මැකිච්චාව වැව ප‍්‍රතිසංස්කරණ කොට ඇත. ඒ බව කොන්ක‍්‍රීට් මගින් වසා දැමුණු සෙල්ලිපියේ දැක්වෙන බව විශ්ලේෂකයින් පවසති. මේ සා ඓතිහාසික වශයෙන් වටිනාකමක් සහිත සෙල්ලිපියක් වගකීම් විරහිතව වසා දැමීමට කටයුතු යෙදීම පිළිබඳව ප‍්‍රදේශවාසීහු විමතිය පළ කරති.

පුරාවිදුබිමක කිසියම් ඉදිකිරීමක් හෝ අලුත්වැඩියාවක් සිදුකිරීමේදී ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ගත යුතුව ඇත. එහෙත් මෙහිදී එවැන්නක් සිදුවීද යන්න සැක සහිතය. ධජ පතාක බැඳ රක්ෂා කළ යුතු ඓතිහාසික වශයෙන් ඉමහත් වටිනාකමක් ඇති ස්ථානයක් සුරක්ෂිත කිරීමේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිය යුතුකම නිසි ලෙස ඉටුකොට ඇද්ද යන්නද විමසිය යුතුව ඇත. විමසිලිමත් ප‍්‍රදේශවාසීන් නොවන්නට සිදුව ඇති විනාශය තවදුරටත් රහසක් විය හැකිව තිබිණි. එහෙත් එමගින් සිදුවූ අනර්ථයට සාධාරණයක් සිදු නොවන බව නම් පැහැදිලිය.

සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් සපයන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රශාන්ත මණ්ඩාවල මහතා වෙත දන්වා ඇති බව වාර්තා වේ. පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාගෙන් කැඳවා ඇති වාර්තාවට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අශෝක සිරිවර්ධන මහතා මගින්ද තවත් වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැඳවා තිබේ.

 සටහන හා ෙස්යාරූ - 
තඹුත්තේගම ප‍්‍රදීප් රණතුංග

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00