2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

එදා රෙජිනා වලව්ව අද කොලේජ් හවුස්

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 7004

කොළඹ තුම්මුල්ල හන්දියෙන් තර්ස්ටන් පාරට පිවිසෙනවාත් සමඟ දැනෙන්නේ අමුතු ලොවකට පිය නැඟුවාක් බඳු හැඟීමකි. කොළඹ යනු හුදෙක් තවත් එක් නගරයක් පමණක් නොව සියවස් ගණනාවක මිහිරි අමිහිරි මතකයක් රඳවාගත් හුස්ම වැටෙන ජීවමාන තැනක් ලෙස කල්පනා කරන සෑම අයෙකුටම එම වෙනස දැනෙන බවට සැකයක් නැත. එදා තර්ස්ටන් පාර අද හැඳින්වෙන්නේ කුමාරතුංග මුනිදාස මාවත යනුවෙනි. එසේ නාම වෙනස්කරණයන්ට බඳුන් වූව ද මෙරට අගනගරය හා බැඳුණු ඉංග්‍රීසි උරුමය මුලිනුපුටා ඉවත්කිරීම කළ නොහැක්කක් බවට දෙස් දෙන කදිම සාක්ෂිය වන්නේ කොළඹ පුරා ඉදිවුණු එම යුගයට අයත් වික්ටෝරියානු ගොඩනැගිලි ය.

එවන් සුවිශේෂී මන්දිරයක් අප මේ ගමන් කරන්නට සැරසෙන තර්ස්ටන් පාරට මුහුණලා සිටී.‍  අද ‘කොලේජ් හවුස්’ නමින් හැඳින්වෙන එහි මුල් නම ‘රෙජිනා වලව්ව’ ය. 

සුන්දර රෙජිනා වලව්ව

විශාල මිදුලකින් සමන්විත මේ මන්දිරය දකින කාටත් නැවත වරක් හැරී ඒ දෙස බැලීමට සිත් යොමුවන්නේ එහි තේජාන්විත පෙනුම නිසාම ය. නොඑසේ නම් පෞරාණික සුන්දරත්වය නිසාය. දෙපසින් විහිදුණු ඕවලාකාර පර්යාය ගොඩනැගිලි දෙකත් ඒවා යාකරමින් මධ්‍යයේ නැඟුණු චතුරස්‍රාකාර ගොඩනැගිල්ලකිනුත් සමන්විත මේ මන්දිරයේ පෙනුමට වැඩි අලංකාරයක් එක් කරන්නේ ඉදිරිපස ඇති පෝටිකෝවය. බිත්ති කැටයම්වලින් පෝටිකෝවේ සුන්දරත්වය දෙගුණ තෙගුණ වෙද්දී පොළොවේ සිට පෝටිකෝව ඉහළට ඔසවා සිටින කෝපි පැහැය ගත් කුළුණු සමූහය මන්දිරයේ පෞරාණික සුන්දරත්වය තවතවත් ඉහළට ඔසවා තබයි. 

මේ මන්දිරය නිර්මාණය කරඇත්තේ වික්ටෝරියානු සහ ඉතාලියානු ගෘහ නිර්මාණ ශිල්පයේ මුසුවක් ලෙසින් බව සඳහන් වේ. පෝටිකෝව පසුකරමින් කොලේජ් හවුසියට ඇතුළු වනවිටම මුණගැසෙන්නේ දැවමුවා තරප්පු පේළියකි. මල් ලියකමින් සැරසුණු කළු පැහැයට හුරු තරප්පු පෙළත්, ඒ මත එළා ඇති රතු පළසත් අවට පවතින අඳුරැ ස්වභාවය හා එකට මුහුවෙමින් එක් කරන්නේ අමුතුම චමත්කාරයකි. ඊට තරප්පු පෙළෙහි බිත්තියට බද්ධ කර ඇති දැව තීරුවේ කැටයම් ද ලබාදෙන්නේ අනගි සහායකි.  

මේ සුවිසල් මන්දිරයේ ඇති තවත් සොඳුරු අත්දැකීමක් වන්නේ මුළු උඩු මහල වසා සිටිනා ඝන තේක්ක පොළොවයි. සමමිතික තේක්ක පටි විහිදී තිබෙන උඩුමහලේ පියවර තබන විට ද ඇතිවන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ අපූර්ව හැඟීමකි. 

උඩුමහලේ ඇති ගරාදි වැට ඉංග්‍රීසි “එස්” අකුරේ හැඩයට කලාත්මකව නිමවා කැටයම්වලින් හැඩගන්වා තිබේ. පහළ පෝටිකෝවේදී දුටු කෝපි පැහැ කුළුණු ගරාදි වැටෙහි ද ඉහළට එසවී ඔච්චම් කරමින් හිඳින්නේ ඉහළ මාලයේ සුන්දරත්වයෙන් වශී වන අයෙකුට නැවතත් තමන්ව සිහිපත් කරවන ලෙසිනි.  

සොයිසා පවුලේ මතක

කොලේජ් හවුස් (College House) නමින් අද හැඳින්වෙන මේ සුවිසල් මන්දිරය දශක ගණනාවකට පෙර හැඳින්වුණේ රෙජිනා වලව්ව ලෙසිනි. මන්දිරයට එම නම ලැබුණේ රෙජිනා පෙරේරා අබේවර්ධන ළමැතැනී නිසා ය. ගාල්ලේ සුප්‍රකට පෙරේරා අබේවර්ධන පවුලට අයත් වූ ඇය විවාපත් වූයේ 19 වැනි සියවසේ ලංකාවේ සිටි ධනවත්ම පුද්ගලයා ලෙස හැඳින්වෙන චාල්ස් හෙන්රි ද සොයිසාගේ කනිටු පුත් තෝමස් හෙන්රි ආතර් ද සොයිසා සමඟිනි. එය එවකට ලංකාව හෙවත් සිලෝනය තුළ කොතරම් වැදගත් පුවතක් වීද යත්  1899 වසරේ මාර්තු 02දා ලන්ඩනයේ ඩේලි ග්‍රැෆික් පුවත්පත ද මෙම සරණ මංගල්‍යය වාර්තා කර තිබිණි. De Soyza – Perera Wedding යන සිරස්තලය යටතේ ඩේලි ග්‍රැෆික් පුවත්පත විශාල ඉඩක් මේ ආසියානු ධනවතාගේ කනිටු පුතුගේ මංගලෝත්සවය වෙනුවෙන් වෙන් කරතිබුණි. 

එම පුවත්පත් වාර්තාවේ සඳහන් පරිදි තෝමස් ආතර් ද සොයිසාගේත් රෙජිනා පෙරේරා අබේවර්ධන ළමාතැනීගේත් සරණ මංගල්‍යය දින හතක් පුරා සමරා තිබේ. ඊට ද සොයිසා පවුලේ මුල් බිම වන මොරටුවේ හිතවතුන් ඇතුළු අති විශාල පිරිසක් එක්ව ඇති අතර ඒ කිසිවෙකුගෙන් හෝ ත්‍යාග ලබාගෙන ද නැත. 

ද සොයිසා පවුලේ රසබර මතකයන් අවදි කරගැනීමේ අටියෙන් චාල්ස් හෙන්රි ද සොයිසාගේ මී මුණුබුරෙකු හා මී මිණිබිරියක සොයා අපි කොල්ලුපිටියේ ආනන්ද කුමාරස්වාමි මාවතට ගොඩවීමු. ඔවුහු නමින් ලිලාමනී ගුණසේකර හා ලක්දාස හුලුගල්ලේ ය. ඔවුන් දෙදෙනාගේ මව තෝමස් ආතර් ද සොයිසාගේ දෙවැනි දියණිය වූ ලිලියන් ද සොයිසා වන අතර පියා වූයේ විසිවැනි සියවසේ මුල් දශකයේ සිට නිදහස ලබාගන්නා අවස්ථාව දක්වා ලේක්හවුසියට සම්බන්ධ වී වැඩ කළ මෙරට පුවත්පත් කලාවේ සුවිශේෂී චරිතයක් වූ එච්.ඒ.ජේ. හුලුගල්ල ය. ලිලාමනී සහ ලක්දාස යන දෙසොහොයුරන්ගේ එක් සොයුරියක විවාපත් වී සිටින්නේ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ දෙටු පුත් සරත් කුසුම් වික්‍රමසිංහ සමඟ ය. 

“අපි අහලා තියෙන විදිහට අපේ සීයාගේ තාත්තා ලංකාවේ හිටපු ලොකුම ධනවතෙක්. ඒ වගේම විශාල දානපතියෙක්”. දැනට අසූ හැවිරිදි වියේ පසුවන ලීලාමනී මහත්මිය තම හඬ අවදි කළේ එලෙසිනි. 

“අපේ සීයා ඒ කියන්නේ තෝමස් ආතර් ද සොයිසා තමයි රෙජිනා වලව්ව හැදුවෙ. ඒක එයා නම් කළේ බිරිඳ රෙජිනාගේ නමින්. හැබැයි ගෙදර වැඩ ඉවර කරන්න කලින් ඇය මරණයට පත්වෙලා. රෙජිනා වලව්ව පස්සෙ කාලෙක විකුණා දමන්න ඒකත් ලොකු හේතුවක් වෙන්න ඇති කියලයි මම හිතන්නෙ” ලක්දාස මහතා ද කතාබහට අවතීර්ණ වූයේය.

1912 දී පමණ ඉදිකිරීම් ආරම්භ කළ රෙජිනා වලව්වේ වැඩ කටයුතු නිමවූයේ කිනම් වර්ෂයකදී ද යන්න ගැන නිශ්චිත සාධක නැත. එසේ වුවද 1920 දී ලංකා යුනිවර්සිටි කොලීජිය වෙනුවෙන් මිලදීගන්නා අවස්ථාව වනවිට එහි ඉදිකිරීම් සම්පූර්ණ කර තිබුණි. එනිසා තිහේ දශකය තුළ ඉපදුණු ලිලාමනී ගුණසේකර මහත්මිය හෝ ලක්දාස හුලුගල්ලේ මහතා හෝ කිසිදිනෙක “රෙජිනා වලව්වට” ගොඩ වී නැත. ඔවුන් දැක්කේ කොලේජ් හවුසියයි. 

“මට මතකයි අපි පවුලේ කට්ටිය ඉතාලියට ගිය අවස්ථාවක එහේ තිබුණු ගොඩනැගිලි දැකලා අම්මාට රෙජිනා වලව්ව මතක් වුණා. ‘අපේ ගෙදරත් මේ වාගේ කැටයම්, මේ වාගේ කුළුණු තිබුණා” කියල අම්මා කියනවා මට මතකයි. හැබැයි එයා කවදාවත් ඒ ගේ ගැන හිතලා කණගාටු වුණේ නැහැ. ඒ කාලේ අපේ අම්මලාට ලොකු අල්මාරි හදලා දීලා තිබුණලු. අපේ සීයාගේ ලොකු දුවගෙ නම වයලට්. අපේ අම්මා ලිලියන්. තව දුවක් හිටියා පැන්ජි කියලා. ඒවා සේරම මල්වල නම්නෙ. ඉතින් එයාලගෙ අල්මාරිවල තමන්ට අදාළ මල කැටයම් කරලා තිබිලා තියෙනවා. පිරිමි ළමයින්ගේ අල්මාරිවල තිබිලා තියෙන්නෙ රේස් අශ්වයන්ගෙ රූප”. ලිලාමනී මහත්මිය කීවේ හිනැහෙමිනි. 

තෝමස් ආතර් ද සොයිසාගේ සමයේදී රෙජිනා වලව්වේ සිට ඇල්ෆ්‍රඩ් හවුස් හරහා බම්බලපිටිය මැජෙස්ටික් සිටි දක්වා ඉඩම් සියල්ල ද සොයිසා පවුලට අයත් විය. රෙජිනා වලව්ව අසල පිහිටා ඇති ‘සයිෆී විලා’ නම් සුවිසල් මන්දිරය ද චාල්ස් හෙන්රි සිල්වාගේ තවත් පුතෙකු වූ ඒ.ජේ.ආර්. සිල්වාට අයත් වූවකි. නමුත් පසුකාලීනව අශ්ව රේස් හා ව්‍යාපාර පාඩු ලැබීම් ආදිය නිසාම පවුලේ ධනය බොහෝ දුරට පිරිහී ගොස් තිබේ. සොයිසා පවුලේ ඇතැම් සහෝදරයින්ට එංගලන්තයේ පවා අශ්වයින් හිටි බව ද දැනගන්නට ලැබිණ. ලක්ෂෙට කොඩිය දමනවා යැයි අප අතරේ ප්‍රසිද්ධ කියමනක් තිබේ. අතීතයේ ද සොයිසා සහෝදරයින් අශ්වයින්ට ඔට්ටු අල්ලා ලක්ෂයක් දිනූ විට රෙජිනා වලව්වේ කොඩියක් එසවූ බව කියැවෙන මුත් එය තහවුරු කරන සාධක තවමත් හමුවී නැත. 

කොළඹ විශ්ව විද්‍යාලය

19 වැනි සියවසේ අග භාගයේ පටන් ලංකාව තුළ මෙඩිකල් කොලීජියකුත් නීති විද්‍යාලයකුත් ආරම්භ වී තිබුණ ද විධිමත් විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ඇරඹී නොතිබිණ. විසි වැනි සියවසේ මුල් භාගය වනවිට ලාංකේය විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීම ගැන සාකච්ඡා මතුවුව ද පළමු ලෝක යුද්ධයේ ආරම්භයත් සමඟ ඉංග්‍රීසී පාලකයින්ගේ අවධානය යුද්ධයටම සීමා විය. 

යුද්ධය අවසන් වීමත් සමඟ 1920 වසරේදී එවක මෙරට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ විලියම් හෙන්රි මැනිංගේ අනුග්‍රාහකත්වය යටතේ ලංකාවට යුනිවර්සිටි කොලීජියක් ඇති කිරීමට පිඹුරැපත් සැකසුණු අතර රෙජිනා වලව්ව මිලදීගැනීම එහි මුල්ම පියවර විය. ඒ සමඟම රාජකීය විදුහලට අයත්ව තිබූ විශාල ගොඩනැගිල්ලක් ද අලුතින් අරඹන්නට වන විශ්ව විද්‍යාලයට පවරාගැනුණි රෙජිනා වලව්ව තරම්ම ඉතිහාසයක් ඇති එම ගොඩනැගිල්ල අද කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයනාංශය ලෙස භාවිතා කෙරේ. 

කොලේජ් හවුස් හෙවත් රෙජිනා වලව්ව අද කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල වේ. උප කුලපතිවරයාගේ කාර්යාලයත් ලේඛකාධිකාරිවරයාගේ කාර්යාලයත් සෙනට් ශාලාවත් එහි පිහිටා තිබේ. 

“මම මගේ ජීවිතයෙන් අවුරැදු හතළිහකටත් වැඩි කාලයක් ගත කරලා තියෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලය තුළයි. මේ විශ්ව විද්‍යාලයේ හැම වැලිකැටයක්ම මට හුරැයි. ඒ නිසාම තමයි කොලේජ් හවුස් එක සංරක්ෂණය කරන වැඩපිළිවෙළකට මම යොමුවුණේ. මම උප කුලපතිවරයා ලෙස පත්වුණු ගමන් කළ කාර්යයක් තමයි කොලේජ් හවුස් එක වටකරලා හදලා තිබුණු යකඩ දැල ඉවත් කිරීම. ඒකෙන් මෙතැන සුන්දරත්වයට ලොකු හානියක් වුණා. තවත් දෙයක්. සර් අයිවෝ ජෙනිංග්ස් සෝල්බරි ව්‍යවස්ථාව හැදුවෙත් අද මම ඉන්න මේ උපකුලපතිවරයාගේ කාමරයේ ඉඳගෙන තමයි. 

ඒ වගේම මම ආධුනික කථිකාචාර්යවරයෙක් විදිහට සේවය කරද්දි තමයි එවකට උපකුලපතිවරයා වුණු මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාව ඝාතනය කෙරුණෙ. මම එතකොට හිටියෙ පාරෙන් අනිත් පැත්තෙ. සිද්ධිය දැනගත් වහාම මම කොලේජ් හවුස් එකට දුවගෙන ආවා. ඒත් පොලීසියෙන් අපිට ඇතුළට යන්න ඉඩදුන්නෙ නෑ. මට මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර එක්ක බොහොම කුළුපග මිත්‍රත්වයක් තිබුණා” කොළඹ විශ්ව විද්‍යාලයේ වත්මන් උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා කොලේජ් හවුසියට තමන් තුළ ඇති ආදරය සහ ඒ හා බැඳුණු තම අත්දැකීම් අප හා බෙදාගත්තේ එලෙසිනි. 

ඉදිරියේදී කොලේජ් හවුස් ගොඩනැගිල්ල තුළ කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය නිරෑපණය කරන කෞතුකාගාරයක් නිර්මාණය කිරීමේ සිහිනයක් ද උපකුලපතිවරයා සතු ය. එමෙන්ම කොළඹ නගරයේ ඇති ඉපැරුණි ගොඩනැගිල්ලක් වන කොලේජ් හවුසිය ගැන සමරු පුස්තකයක් (Coffee table book) නිර්මාණය කිරීමේ කාර්යයක් ද මහාචාර්ය දිසානායකගේ මාර්ගෝපදේශකත්වය යටතේ අරඹා ඇත. එම කටයුතු භාරව කටයුතු කරන කිහිපදෙනා අතර කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය සඳගෝමී කෝපරහේවා පෙරමුණ ගනී. 

“කොළඹ විශ්ව විද්‍යාලයට එක්වන්නට පෙර ඒ කියන්නේ රෙජිනා වලව්ව වශයෙන් පැවැති අවධිය, මෙහි ගෘහ නිර්මාණ ශිල්පය, කොළඹ විශ්ව විද්‍යාලයට එකතු වීමෙන් පසු මේ ගොඩනැගිල්ල වගේ විවිධ මාතෘකා කිහිපයක් යටතේ කොලේජ් හවුස් ඉතිහාසය ගවේෂණය කරන්නත් සමරැ පුස්තකයක් පිළියෙල කරන්නත් බලාපොරොත්තු වෙනවා. තවත් විශේෂ දෙයක් තමයි ලංකාවේ විශ්ව විද්‍යාලයේ ආරම්භය පේරාදෙණියෙ කියලා කිව්වට ඇත්තටම ඒ ගෞරවය ලැබෙන්න ඕනෙ කොළඹටයි. එදා එදිරිවීර සරච්චන්ද්‍ර, සිරි ගුණසිංහ වගේ පේරාදෙණියේ මහාචාර්යවරු පවා ඉගෙන ගත්තේ මෙතැන පිහිටලා තිබුණු ලංකා විශ්ව විද්‍යාලයේ කොළඹ මණ්ඩපයේයි” මහාචාර්ය කෝපරහේවා විස්තර කළේය. 

අවුරුදු සියයකට ආසන්න කාලයක් තිස්සේ විවිධ විපර්යාසයන්ට, වෙනස්කම්වලට බඳුන්වූ කොළඹ නගරය දෙස රෙජිනා වලව්ව තවමත් බලා හිඳින්නීය. බර කරත්ත ඇදුණු මාවත දිගේ මෝටර් රථ දිවෙන්නට පටන් ගත් ආකාරයත් එතැන් සිට දශක ගණනාවක් පුරා කොළඹ නගරය තුළ සිදුවුණු එකී මෙකී නොකී සියලු දෑ දෙස ඈ නෙත් යොමා සිටින්නීය. තවත් චිරාත් කාලයක් ඇයට එසේ හිඳීමට හැකිවේවා යන්න අපේ ප්‍රාර්ථනයයි. 

රජිත ජාගොඩ ආරච්චි 
සේයාරූ | සුමුදු හේවාපතිරණ