




ගිනි ගහන අව්වේ තැම්බෙමින් අධික පීඩාවට පත්ව සිටි අපහට එම බොරලැස්ගමුවේ පිහිටි ඒ නිවහනට පා තැබූ මොහොතේම දැනුණේ කෙම්බිමකට ඇතුළු වූවා වැනි හැඟීමකි. කසළ සම්බන්ධ හෝඩුවාවක්වත් නිවසේ නොතිබූ අතර බැලු බැලූ අතින් දැකගන්නට ලැබුණේ සාදාගන්නා ලද එක් එක් නිර්මාණයන් හා පොහොර වර්ගයයි. කසළ කළමනාකරණය සම්බන්ධයෙන් කතා කරන්නට සුදුසුම තැන මෙතැන යැයි අපට හැඟුණේ එම නිවස ඒ තරමටම කසළ කළමනාකරණය අතින් ඉදිරියෙන්ම සිටින නිසයි. ඇය කාංචනා වීරකෝන්ය.
ඇය මෙම කටයුත්ත සිදුකරගෙන එන්නේ දැනට වසර 16ක පටන්ය.
“මම වෘත්තිමය පරිසරවේදිනියක්. විවාහවෙලා ආව දවසෙ ඉඳලම මම උවමනාවෙන්ම මේ කටයුත්ත දිගටම කරගෙන ආවා. මගේ කසළ පිටට දෙන්නෙ නෑ කියන තීරණයේ තමයි මම හිටියේ. සුපර් මාර්කට් වලින් අනවශ්‍ය විදිහට ෂොපින් බෑග් දෙනවනෙ. මම නම් කවදාවත් එහෙම ගන්නෙ නෑ. මට අවශ්‍ය ප්‍රමාණයට ෂොපින් බෑග් කිහිපයක් බෑග් එකේ දාගෙන ඉන්නවා. ඉතින් මොනවා හරි ගන්න වුණොත් මම පාවිච්චි කරන්නේ ඒවා. මුල් අවුරුදු දෙකේදී විතර දිරන අපද්‍රව්‍ය කොම්පොස්ට් කරලා නොදිරන ද්‍රව්‍ය එකතු කරලා පිටට දීලා තියෙනවා. පස්සේ කරන්නට දෙයක් නැති තැන වත්තේ තියෙන සුළු ඉඩ ප්‍රමාණය ප්‍රයෝජනයට අරගෙන එක තැනක පොඩි වළක් කපලා ඒවා වැළලුවා. මේ වල වුණත් ලොකු කරදරයක් වුණේ නෑ. මොකද මම ෂොපින් බෑග් ගෙදරට ගේන්නෙ හරිම කලාතුරකින්නෙ.
මෙහෙම ඉන්න අවස්ථාවේදී තමයි මට ඉකෝබ්‍රික් (Ecobrick) කියන විසඳුම ලැබුණේ. පිලිපීනයේ හා ඉන්දුනීසියාවේ මෙම ක්‍රමය බහුලව භාවිත කරනවා. ඉතින් ඒ ඉකෝබ්‍රික් කටයුත්තේ නියැළෙන පුද්ගලයෙක් ලංකාවට ආව වෙලාවකදී මීට අවුරුදු පහකට කලින් මට ඒ ක්‍රමය ඉගෙන ගන්න ලැබුණා. ඉකෝබ්‍රික් එක එදා ඉඳලා මට හොඳ විසඳුමක්. තේ කොළ, කිරි පැකට්, බිස්කට්, කෝපි වැනි ද්‍රව්‍යවල හිස් පැකට් ෂොපින් බෑග් ආදිය ඉකෝබ්‍රික් ක්‍රමයේදී භාවිත කරනවා. මෙම ඉකෝබ්‍රික් ක්‍රමය හඳුනාගත්තට පස්සෙ මගේ ගෙදර යම් ආකාරයට කුණු නිපදවීමක් සිදු වුවත් ඒවා නිවසින් පිටතට යාම කිසිම විටෙක සිදුවන්නේ නෑ. මෙම ක්‍රමය උපයෝගී කරගන්නේ නොදිරන හා ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි කුණු සඳහායි.”
කාංචනා මහත්මිය පෙන්වා දෙන ආකාරයට ඉකෝබ්‍රික් ක්‍රමය යටතේ සිදු කෙරෙන්නේ ප්ලාස්ටික් මෙගා බෝතලයක් රැගෙන එයට ෂොපින් බෑග්, බිස්කට් දවටන, ලන්ච් ෂීට්, කිරිපිටි කවර ආදී ද්‍රව්‍ය ඊට ඇතුළු කර හැඳි මිටක් වැනි දෙයක් උපයෝගී කරගෙන ඒවා තද කිරීමයි. මෙම එක් බෝතලයක් පිරෙන්නට මාස හයක් පමණ ගතවන අතර බෝතල පිරීමෙන් පසු එවැනි බෝතල් කිහිපයක් උපයෝගී කරගෙන විවිධ නිර්මාණ සිදුකළ හැකිය. මෙහිදී මෙම බෝතලයට ඇතුළු කරන නොදිරන ද්‍රව්‍ය පිරිසිදු තත්ත්වයේ තිබිය යුතු අතර එසේ පිරිසිදු නැත්නම් හොඳින් සෝදා වේලීමට තබා භාවිත කළ යුතුවේ. කාංචනා මහත්මියගේ සාරි බෑගයද ඉතා අපූරු නිර්මාණයකි.



“අපි ඉවතලන සාරි උපයෝගි කරගෙන තමයි සාරි බෑග් එක නිර්මාණය කරලා තියෙන්නේ. මම බෞද්ධයෙක් විදිහට දන්නාව බුදුහාමුදුරුවෝ සිවුරට කරන්න කියපු දේ මොකක්ද කියලා. මුලින් සිවුර ඇඳලා, පරණ වෙද්දී අඳනයට ඇඳලා, පිසදැමීම් කටයුතුවලට භාවිත කරලා අන්තිමට පාපිස්සක් ලෙස අරගෙන ඉරුණට පස්සේ බිත්තිය තියලා මැටි ගහන්න කියලා. ඒ ක්‍රමවේදය තමයි දැන් ලෝකය අපට හඳුන්වලා දීලා තියෙන අප් සයික්ලිස් ක්‍රමවේදය. ඒක රීසයික්ලිස් වලටත් වඩා එහාගිය ක්‍රමවේදයක්. රීසයික්ලිස් වලදී කරන්නේ උණුකරලා කෑලිවලට කඩලා වෙනම නිෂ්පාදනයක් කිරීමයි. අප්සයික්ලිස් කියන ක්‍රමයේදී ශක්තීන් විනාශ වීමක් සිදුවන්නේ නෑ. යම් දෙයක් ඒ විදිහට තවත් දෙයකට භාවිත කරන්න පුළුවන්. මම සිදුකරන ඉකෝබ්‍රික් හා මේ සාරි බෑග් නිර්මාණ ආදිය අප්සයික්ලිස් ක්‍රමවේදයට අයත් වූවක්.”
සාරි බෑගයේ අපූර්වත්වය වන්නේ එය බැලූ බැල්මට කුඩා පොකට්ටුවක් මෙන් පෙනුණද දිගහැරීමේදී තරමක් විශාල බෑගයක් ලෙස දිස්වීමය. මෙම බෑගයේ විශාලත්වය අනුව එයට එළවළු, පළතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් දමාගත හැකිය. සිල්ක් සාරි නොදිරන බැවින් මෙවැනි ක්‍රම එවැනි ද්‍රව්‍ය පරිසරයට එක්වීම වැළැක්වීමට කදිම විසඳුම්ය.
“ඇත්තටම අපිට හරිම ලේසියි නගර සභාවට කියන්න අපි ටැක්ස් ගෙවනවා. ඔයාලා අපේ කුණු ගෙනියන්න කියලා. එතකොට කවදා වෙනකම් අපි ඔය දේ කරන්නද. අපි කුණු දෙන්න දෙන්න නගර සභාව ගිහිල්ලා කඳුවල දානවා. කුණු කඳු ගහන එක හරිම වැරදි දෙයක්. නිසි විදිහට කළමනාකරණය කළොත් ඔය විදිහට කඳු එකතු වෙන්නෙ නෑ. මේ හැම දෙයක්ම ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්නෙ. පුරවැසියගේ පැත්තෙන් අපේ වගකීම තමයි කුණු නිපදවන එක අඩු කරන එක. කසළ නිපදවීම අඩුකරනවා කියන්නේ හරියටම අපේ සම්පත් පරිභෝජනයයි. උදාහරණයක් විදිහට අපේ පවුලේ හතර දෙනෙක් ඉන්නවා. අපිට ඕනෙ සාමාන්‍ය ප්‍රමාණයේ ගොටුකොළ මිටියක් නම් ලාබ වුණ පලියට විශාල එකත් ගෙනාවොත් අනවශ්‍ය කොටස ඊට පස්සේ ඉදිලා යනවා. එතකොට මේ කසළනේ. මේ කොටස තමයි කොම්පෝස්ට් කරන්න වෙන්නේ. කොම්පෝස්ට් කරන්නේ නැති ගෘහණිය පළා ටික මල්ලක ගැටගහලා නගර සභාවට දෙනවා. මේ ආකාරයට හැම දෙයක්ම වැඩිදුර ගෙන ඒම හරහා ඒවා යන්නේ කසළ ගොඩට. ඒ විතරක්ම නෙවෙයි අපි උවනාවට වඩා වැඩි දෙයක් ගත්තම ඒ විදියට නාස්තිවෙලා යන්නෙ සල්ලි. මේ නිසා මේ දේවල් ගැන අපි හොඳින් අවබෝධ කරගන්න ඕනේ. නාස්තිය වැළැක්වීම හරහා මුදල් ඉතිරි වීමත් කසළ ප්‍රමාණය අඩුවීමත් සිදුවෙනවා.
අනෙක් දේ තමයි පොළට යද්දී මම වෙනම බෑග් එකක් භාවිත කරනවා. මාලු ගේන්න අවශ්‍ය නම් ඒ සඳහා භාවිත කරන්නේ ඇලුමිනියම් භාජනයක්. හැමෝටම මේ දේ කරන්න අමාරු ඇති. නමුත් පුළුවන්කමක් තියෙන අය හරි මේ විදිහට කරනවානම් ඒක පරිසරයට කරන විශාල සේවාවක් වෙනවා.”
නිවසට රැගෙන එන කඩදාසි, කාඩ්බෝඩ් ආදිය ඇය සම්පතක් කරගන්නේ ඒවා එකතුකර ප්‍රතිචක්‍රීකරණය සඳහා මුදලට ලබාදීම මගිනි. නිවසේ සාදා ගන්නා කොම්පොස්ට් පොහොර යොදාගනිමින්ම නිර්මාණය කරගන්නා ලද අපුරු ගෙවත්තක්ද ඈ සතුවන අතර මෙම ගෙවත්තේ දුර්ලභ ශාක වර්ග ගණනාවක්ම වගා කර තිබෙන ආකාරයක්ද අපිට දක්නට ලැබිණ. ඉවතලන කුඩා මාළු ඔළු හා සක්කර භාවිතා කරමින් සකසා ගන්නා ලද දියරයක් ශාක වගාවට අවශ්‍ය හෝමෝනයක් ලෙස භාවිතා කෙරන අතර ඉවතලන පළතුරැ කොටස් ආශ්‍රයෙන් සකසා ගන්නා ලද ගැලවිල් ද්‍රාවණයද ඇගේ ශාක වගාවන්ට හොඳ පොහොරකි.
ප්ලාස්ටික් බඳුන්, ටින් බෙලෙක්ක ආදියද ගබඩාවේ එක් පසෙකින් වෙන වෙනම තැන්පත් කර ඇති අතර ඒවා එලෙස තබා තිබෙන්නේ මුදලට අලෙවි කිරීමටය. නිවසෙහි එකතුවන පොල්කටුද වෙනම එකතුකර ඇති අතර හාල් උර ආදිය ඇය භාවිත කරන්නේ වගාවන් සිදුකිරීම සඳහාය. සැබැවින්ම මෙම නිවසේ කසළ කියා යමක් නොමැති අතර ඇත්තේ කුමන හෝ ආකාරයකින් භාවිත කළ හැකි ද්‍රව්‍යයන්ය.
වෛද්‍ය තුෂාර රණසිංහ මහතාගේ ආදරණීය බිරිඳ හා බුහුසුරු, නිපුණ යන දරුවන්ගේ මෑණියන් වන පරිසර හිතකාමී ස්වෙච්ඡා සංවිධානයේ ආරම්භක සභාපති කාංචනා වීරකෝන් මහත්මිය සැබෑ පරිසර හිතකාමී චරිතයක් වන අතර ඇයගේ නිවස තුළදීම කසළ කළමනාකරණ ක්‍රියාවලිය අනෙක් ගෘහණියන්ටද හොඳ ආදර්ශයකි.
“ඇත්තටම මම මේ දේවල් වලින් ලොකු සතුටක් ලබනවා. මගේ ගෙවත්තේ තියෙන ගහකොළ පවා මට දරුවන් වගේ. මම උදේ නැගිටලා පැය දෙකක් වත් මේ ගස් කොළං එක්ක ගත කරනවා. ඒක මනසට විශාල සහනයක්”
♦ හේමමාලා කුමාරි රාජකරුණා
සේයාරූ I සුමුදු හේවාපතිරණ