2017 මැයි 06 වන සෙනසුරාදා

මාසයක් තිස්සේ කුණු-කුණුවෙන කඩුවෙල

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 85

කුණු කසළ ගැටලුව මෙරට ප්‍රධානතම ගැටලුව බවට පත්වූයේ මීතොටමුල්ලේ ‍ඛේදවාචකයත් සමඟය. මීතොටමුල්ලට කුණු ගෙනයාම සම්බන්ධයෙන් නොයෙක් අවස්ථාවලදී එම ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතාවයන් එල්ල වුවද කුණු කන්දේ කොටසක් කඩාවැටෙන තුරුම බලධාරීන් හට ඒ සඳහා නිසි විසඳුමක් ලබාදෙන්නට නොහැකි විය. 

කෙසේ වෙතත් මෙම ඛේදවාචකයත් සමඟ මීතොටමුල්ලට කුණු ගෙන යාම අත්හිටවූ අතර, ඊළඟ තත්ත්වය නම් කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි තැනින් තැන මංමාවත් ගානේ කුණු කඳු ගොඩගැසීමයි. වි‍ශේෂයෙන්ම පිටකොටුව, කොටුව, බොරැල්ල, මරදාන, කොළොන්නාව, කෝට්ටේ නගර සභා බලප්‍රදේශය, බත්තරමුල්ල, පැලවත්ත ඇතුළු ප්‍රදේශ ගණනාවකම මෙම ගැටලුව උග්‍රව දක්නට ලැබුණු අතර එම ප්‍රදේශයන් වෙත පිවිසීම පවා දුෂ්කර වූයේ කුණුවලින් හමන දැඩි දුර්ගන්ධය නිසාය.

අවසන තාවකාලික කුණු බැහැර කිරීමේ ස්ථාන කිහිපයක් තෝරාගෙන ඒවා වෙත කොළඹ කුණු අදින්නට පටන් ගත් අතර දින ගණනාවක් පාරවල් ගානේ ගොඩගැසී තිබූ කුණු එම ස්ථානවලින් ඉවත් කෙරිණි.

කොළඹ කුණු මෙසේ ඉවත් කළද අගනුවරට තදාසන්න ප්‍රදේශයන්හි ප්‍රධාන මාර්ග, අතුරු මාර්ග ඇතුළු ස්ථාන බොහොමයකම තවමත් මෙම ගැටලුකාරී තත්ත්වය පවතින්නේ එම ප්‍රදේශයන්හි කුණු රැගෙන යාමට නගර සභාවලින් නොපැමිණීම නිසාය. මේ නිසා ඇතැම් ප්‍රදේශවල ජනතාවට නිවෙස්වලින් පිටකරන කුණු පාරවල්වල තබා පුළුස්සන්නටද සිදුවූ අතර ඇතැම් ප්‍රදේශයන්හි නිවෙස් ඉදිරිපිට කුණු මලු ගොඩගසා ඇති තත්ත්වයක්ද අපිට දක්නට ලැබුණි. මෙහිදී ද වැඩි වශයෙන්ම පීඩාවට පත්ව ඇත්තේ කඩුවෙල මහ නගර සභාවට අයත් බත්තරමුල්ල, කොස්වත්ත, පැලවත්ත ආදී ප්‍රදේශ ගණනාවක ජනතාවය. මේ සම්බන්ධයෙන් විමසා බැලීමකට අපි පසුගියදා මුලින්ම පිවිසුණේ කෝට්ටේ නගර සභා බලප්‍රදේශයටයි. මෙම ප්‍රදේශයේ පාරවල් කිහිපයක සංචාරය කළ අප හට නගර සභාවෙන් කුණු ඉවත් කිරීමට කටයුතු කර ඇති බව දක්නට ලැබුණු අතර පිටකෝට්ටේ බංගලා හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන තනූජ මහතා අප සමඟ පැවසූයේ මෙවැන්නකි.

“කුණු කන්ද කඩාවැටීමත් එක්ක මුල් දවස් ටිකේ කුණු අරන් ගියේ නෑ. ඒ නිසා සමහර තැන්වල කුණු ගොඩගැහිලා තිබුණා. ඒත් ඒ සිද්ධියෙන් දවස් හතකට පස්සේ දවස් දෙකකට සැරයක් කුණු අරන් ගියා. දැන් දිගටම අරන් යනවා.”
කෝට්ටෙන් නික්මුණු අප ඊළඟට පිවිසියේ බත්තරමුල්ල ප්‍රදේශයටයි. බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේ අතුරු පාරවල්වල නිවෙස් බොහොමයකම ඉදිරිපිට කුණු මලු විශාල වශයෙන් එල්ලා තිබෙන අයුරු දක්නට ලැබුණු අතර එහිදී අදහස් දැක්වූ විජේසේකර මහතා,

“කුණු කන්ද කඩාවැටුණට පස්සේ කුණු අරන් යන එක නවත්තපු ගමන් මේ වෙනකන් තවම කුණු අරන් ගියේ නෑ. දිගටම ඒක ඇණහිටියා. අපිට පුච්චන්න පුළුවන් කුණු ටික පුච්චනවා. එහෙම කරන්න බැරි කුණු මේ විදිහට තියාගෙන ඉන්නවා. කවදා හරි මේ අය එයි කියලා බලාපොරොත්තු වෙනවා. නගර සභාවට අපි මේ ගැන දන්වලා තියෙනවා. ඒ අය කියන්නේ කුණු දාන්න තැනක් නෑ කියලා. මොකද සමහර තැන්වල උද්ඝෝෂණ තියෙනවනේ ඒ පැතිවලට කුණු ගේන්න එපා කියලාත්. ඇත්තටම කියනවානම් ඒ අයට කුණු ගෙනියන්න තැනකුත් නෑ මේ ප්‍රශ්න නිසා. ඉතින් මේ පැත්තෙම කුණු එකතුවෙලයි තියෙන්නේ. දැන් කුණු එකතු කරනවානම් මේ ප්‍රදේශයේම ට්‍රැක්ටර් දාහක දෙදාහක කුණු එකතු කරගන්න පුළුවන් වෙයි. කඩුවෙල නගර සභාවෙන් හොඳ වැඩකුත් කරනවා. ඉඳුල් ගෙනියන්න ඒ අය වෙනම කට්ටියකට බාරදීලා තියෙනවා. ඌරු කෑමටයි මේවා අරන් යන්නේ. අද උදෙත් ඇවිල්ලා ඉඳුල් ටික අරන් ගියා. ඒක ලොකු දෙයක්. නැත්නම් ඉඳුල් තියාගෙන හිටියොත් පණුවෝ ගහලා ජරාවාස වෙනවනෙ. ඒ නිසා කඩුවෙල නගර සභාවෙන් එහෙම දෙයක් කරපු එක ගැන අපි සතුටු වෙනවා.”

එම ප්‍රදේශයේම පදිංචි විජේනායක මහතා

“ඇත්තටම මේ කුණු ප්‍රශ්නය නිසා අපි විශාල පීඩාවකට පත්වෙලයි ඉන්නේ. දැන් දවස් ගාණක ඉඳලා කුණු ගොඩගැහිලා. මේවට මැස්සො බෝවෙනවා. මදුරුවෝ බෝවෙනවා. අපේ ගෙදර අතදරුවෙකුත් ඉන්නවා. එයාව පරිස්සම් කරගන්න එක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. මොකද හැමතැනම විෂබීජයි මදුරුවොයි පිරිලා. නගර සභාවෙන් ඉඳුල් අරන් යන එකත් දවස ගානේ කරන්නෙ නෑ. අනිත් එක ඉඳුල් නරක් වුණාම අරන් යන්නෙත් නෑ. එතකොට අපිට ඒවා වළලන්න සිද්ධ වෙනවා. මේ තියෙන ඉඩත් එක්ක කොහොමද මේවා කරන්නේ.

ඇත්තටම මේක අපිට ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම මදුරු ප්‍රශ්නෙත් අපිට විශාල වශයෙන් බලපානවා. ඩෙංගු මදුරු පරීක්ෂාවට මඟට ආවත් මේ පැත්තට ආවෙ නෑ. ඉතින් අපිට කියන්න තියෙන්නෙ ඒ ප්‍රශ්නෙත් විසඳලා දෙන්න කියලයි.
බත්තරමුල්ල, කොස්වත්ත යන ප්‍රදේශයන් කඩුවෙල නගර සභාවට අයත් වන හෙයින් මෙම ප්‍රදේශයන්හි කුණු ඇදීම තාවකාලිකව නතර කිරීමට හේතු සාධක සොයාගෙන අප කඩුවෙල නගර සභාව වෙතද ගියෙමු. එහිදී අදහස් දැක්වූ නාගරික කොමසාරිස් විජිතා මායාදුන්නේ මහත්මිය,

කඩුවෙල නගර සභාවෙන් කුණු ගෙනයාම තාවකාලිකව නතර කරන්නට සිදුවුණේ කුණු දාන්න තැනක් නැති නිසයි. කුණු දැමීමට අපට තියෙන්නේ අක්කරයක විතර භූමි ප්‍රමාණයක්. දැන් ඒ මුළු ඉඩ ප්‍රමාණයම ආවරණයවෙලයි තියෙන්නේ. අනෙක් එක විධිමත් කසළ කළමනාකරණ අංගනයක් කඩුවෙලට නෑ. කඩුවෙල මහ නගර සභා බලප්‍රදේශයෙන් දිනකට කසළ ටොන් 100ක් පමණ එකතු වෙනවා. මම හිතනවා රජය මේ සම්බන්ධයෙන් ඉක්මනින්ම අවධානය යොමු කළ යුතුයි කියලා.” 

මිතොටමුල්ල කුණු කන්ද නායයාමත් සමඟ කිසිදු පළාත් පාලන ආයතනයකට එම පළාත් පාලන ආයතන බලප්‍රදේශයේ ජනනය වන අපද්‍රව්‍ය වෙනත් පළාත් පාලන ආයතන සතු කසළ අංගන වෙත බැහැර කිරීමට මේ වන විට හැකියාවක් නැත. වර්ෂ 2012 දී කඩුවෙල නාගරික බලප්‍රදේශය තුළ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිතව තිබුණත් මහජන විරෝධතා හේතුවෙන් එයද නතර කිරීමට සිදුවී ඇත. දැනට පවතින කසළ හුවමාරු මධ්‍යස්ථානයට එරෙහිවද ප්‍රදේශවාසීන් විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් අද කඩුවෙල මහ නගර සභාවට කුණු බැහැර කිරීමේ ස්ථානයක් නොමැත.

“ඇත්තටම මේක ජනතාව විසින්ම හදාගත්ත ප්‍රශ්නයක්. 2012 දී ආරම්භ කරන්නට සිටි අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියට ජනතාව ඉඩ දුන්නා නම් අද මේ තරම් ගැටලුකාරී තත්ත්වයක් මතුවන්නේ නෑ. කඩුවෙල මහ නගර සභාවේ මුළු නේවාසික ස්ථාන සංඛ්‍යාව 98387ක් වෙනවා. වාණිජ ස්ථාන 8567ක්, රාජ්‍ය ආයතන 440ක්, රජයේ පාසල් 34ක් හා පොළවල් 03ක් තියෙනවා. මේ හැම තැනකින්ම දිනපතා කසළ විශාල ප්‍රමාණයක් එකතු වෙනවා.
මෙලෙස කසළ විශාල වශයෙන් එකතු වීම වැළැක්වීමට අපි මේ වනවිටත් වැඩසටහන් රාශියක්ම ක්‍රියාත්මක කරලා තියෙනවා. නිලධාරීන් විදිහට අපිට කරන්න පුළුවන් හැමදෙයක්ම අපි කරනවා. මේ ක්‍රියාවලිය පටන්ගන්න ඕනෙ නිවසෙන්. ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නේ තමන් පාවිච්චියෙන් බැහැර කළ භාණ්ඩ එළියට දැම්මාම ඒක අයිති නගර සභාවට කියලා. ප්‍රශ්නය තියෙන්නේ මිනිස්සුන්ගේ ආකල්පවලයි. අපි මුලින්ම මේ ආකල්පවල වෙනසක් ඇති කරන්න ඕනෙ. දිරාපත්වන ද්‍රව්‍ය නිවසේදීම කොම්පෝස්ට් බවට පත්කිරීමේ පණිවුඩය අපි මේ වනවිටත් නිවෙස්වලට ලබාදෙන්නට කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම් කරනවා. ඒ වගේම සුපර් මාර්කට්වලට අපි දැන්වීමක් නිකුත් කරලා තියෙනවා පාරිභෝගිකයන් වෙත භාණ්ඩ නිකුත් කිරීමේදී භාවිත කරන ෂොපින් බෑග් වෙනුවට ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ද්‍රව්‍යයකින් සකස් කරන ලද බෑග් ලබාදෙන්න කියලා. ඊට අමතරව මෙවර කඩුවෙල මහ නගර සභා බලප්‍රදේශය තුළ වෙසක් උත්සවයට සමගාමීව පවත්වන දන්සල් සඳහා ලන්ච් ෂීට් හා ෂොපින් බෑග් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා.

නාගරික කොමසාරිස්තුමිය වැඩිදුරටත් අදහස් පැවසුවේ එසේය. දිනපතා කසළ එක්රුස් වීම වැළැක්විය හැකි කරුණක් නොවූවද එසේ එකතු වන කසළ ප්‍රමාණය අවම කරගැනීමට හැකියාව ඇත්නම් එය අප විසින් පරිසරයට කරන මහඟු මෙහෙවරකි. කෙසේ වෙතත් කඩුවෙල බලප්‍රදේශයේ ඇතැම් නිවෙස් ඉදිරිපිට මේ වනවිටත් විශාල වශයෙන් කුණු එක්රුස් වී ඇති අතර මේවා ඉවත් කිරීමට ඉක්මනින් කටයුතු කිරීමද නගර සභාවේ වගකීමකි.

 

♦ හේමමාලා කුමාරි රාජකරුණා

සේයාරූ : සුමුදු හේවාපතිරණ