2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

ජිනීවා සමුළුවේ මොකද වෙන්නේ?

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

ජිනීවා මානව හිමිකම් සහ උතුරේ විරෝධතා පිළිබඳ විශාල සංවාදයක් නිර්මාණය වී තිබේ. යුද්ධය නිමා වී දශකයක් ඉක්ම වුවද වසරකට වරක් දෙවරක් සමස්ත දේශපාලන ධාරාවම මෙම මාතෘකා මතින් උණුසුම් වෙයි. එම නිසාම වර්තමාන දේශපාලන වටපිටාව අල්ලා විද්වත් මත දෙකක් අපි ඔබ හමුවේ තබමු. සිය නැණ පමණින් විමසා අවබෝධ කර ගැනීම ඔබ සතුය.

බොරු ලේබල් - කෑගැසීම් වැඩක් වෙන්නෙ නෑ

මහාචාර්ය චන්ද්‍රගුප්‍ත තේනුවර 

ජාත්‍යන්තරය කියන්නේ අපිමයි. අපිත් එහි කොටසක්. එක් පසෙකින් අපි එක්සත් ජාතීන්ගේ සාමාජිකයෙක්. එම නිසා ඔවුන් මේ සාකච්ඡා කරන්නේ සාමාජිකයන්ගේ ගැටලු සම්බන්ධව. කවුරු හරි දුක්ගැනවිල්ලක් කිව්වොත් ඔවුන් ඒ පිළිබඳ සොයා බලනවා. දේශීයව විසඳෙන්නේ නැති ප්‍රශ්න සම්බන්ධව තමයි ජාත්‍යන්තරයේ පැමිණිලි කරනු ලබන්නේ.

යුද්ධයක් සම්බන්ධව අනුගමනය කළ යුතු කරුණු කාරණා තිබෙනවා. ඒ සම්බන්ධව කරුණු දැක්වීමටත් හැකියි. රජයකට ඒ සම්බන්ධව ඉතා පැහැදිලිව විවෘත කරුණු දැක්වීමේ හැකියාවක් තිබෙනවා අනෙක් පාර්ශ්වයන්ට වඩාත් වැඩියෙන්. රජයක් එකිනෙකාට දොස් කියමින් කටයුතු කළ යුතු නෑ. අදාළ විදිහට පෙනී සිටිය යුතුයි.  යුද්ධය පමණක් නොවෙයි ඊට පසුවත් විවිධ දෑ සිදුවිය හැකියි. දේශීයව මානව හිමිකම් සංවිධාන කොමිෂන් තිබෙනවා. නමුත් ඒ හරහා සාධාරණයක් නොවුණොත් ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම,   ජාත්‍යන්තර අධිකරණ ආදිය හමුවට යා හැකියි. ඒ සියල්ල තිබෙන්නේ ලෝකය වඩාත් යහපත් කර ගැනීමේ අරමුණින්. ඒ නිසා රටක් විදිහට මේවාට සක්‍රීයව සහභාගි වීම යහපත්.

මෙවන් අවස්ථාවල දේශානුරාගය, ජාත්‍යාලය වගේ දෑ කියමින් බොරුවට කෑ ගැසීමෙන් වැඩක් නැහැ. අපි දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ එතුමාට විරුද්ධ චෝදනා තිබුණා. එතුමා විදුලි පුටුවක් ගැන පපුවට අත තියාගෙන කතා කළාට වැඩක් වුණේ නෑ. ඔවුන් එකඟතාවයන්ට ආවා. ඒ ජනාධිපතිතුමාට උගත් පාඩම් සම්බන්ධයෙන් කොමිසමක් දැම්මා. මම හිතනවා ඒවා තමා යහපත් කාරණා. එබඳු මැදිහත් වීම තමා රජයක් විදිහට සිදු කළ යුත්තේ. බොරු ලේබල් ගැසීම්වලින්, කෑ ගැසීම්වලින් ඵලක් නැහැ.

පහුගිය කාලේ අතුරුදන්වූවන් පිළිබඳව කොමිසමක් පත් කළා, උතුරට විතරක් නෙවෙයි දකුණටත් අදාළව අතුරුදන්වූවන් පිළිබඳ සොයා බලන්න. ඒ දේවල් දිගටම සිදුවිය යුතුයි. එක වර්ගයකට හෝ ජාතියකට සීමා වූ ප්‍රශ්නයක් විදිහට නෙවෙයි. මේ සම්බන්ධව සොයා බලන්න ඕනෑ. යුද්ධය නිසා වගේම වෙනත් දේශපාලන කරුණු මත සිදුවුණු අතුරුදන්වීම් පිළිබඳවත් සොයා බැලිය යුතුයි. වෙන රටවල් නම් මේ වගේ අවස්ථාවලින් පාඩම් ඉගෙන ගත්තා. අපි එයින් පාඩම් ඉගෙන ගත යුතුයි. විශේෂයෙන්ම දකුණු අප්‍රිකාව වගේ රටක් උදාහරණයට ගත හැකියි. වර්ගවාදී පාලනයක් තිබුණු මර්දනයන් අතුරුදන් කිරීම් ඝාතන රැසක් සිදුවුණු රටක් දකුණු අප්‍රිකාව.  අවසානයේ ඔවුන් සත්‍ය කොමිසමක් ඇතිකර ගත්තා.
සමාජය තවදුරටත් වෛරී සමාජයක් විදිහට ඉදිරිය අරගෙන යන්න අපිට බෑ. සිංහල -  දෙමළ, සිංහල - මුස්ලිම් ප්‍රශ්න විතරක් නෙවෙයි, සිංහලයන් සිංහලෙන් අතරත් ප්‍රශ්න තියෙනවා. වෛරීව හැසිරෙන්නේ. මේ සමාජය යහපත් කළ යුතුයි. තමන්ගේ සියලුම පුරවැසියන්ගේ ගැටලු සම්බන්ධව රජයකට වගවීමක් තිබෙනවා. අදාළ ආයතන නීති සක්‍රීය කළ යුතුයි. එහෙම නැතුව මිනිස්සු තමන්ගේ ප්‍රශ්න කතා කළ පමණින් ඔවුන් රාජ්‍ය විරෝධීන් යැයි කීම සාධාරණ නෑ. මිනිස්සුන්ට මානව අයිතිවාසිකම් තිබෙනවා. මූලික අයිතිවාසිකම් තිබෙනවා. සංස්කෘතික අයිතිවාසිකම් තිබෙනවා. ඒවා මුළු ලෝකයම පිළිගන්නා කාරණා. අපි ඒවාට සවන් දීම අවශ්‍යයි.

මොළෙන් මිසක් ඇඟෙන් මේ ගැටලු විසඳන්න බෑ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - ධම්ම දිසානායක 

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශය
අපේ රටේ ප්‍රධාන ගැටලුවක් තමා අපි ජාත්‍යන්තරයත් සමඟ ජීවත් වෙනවා යන්න අපි හැම නිතරම අමතක කරනවා. ඊට ප්‍රධාන හේතුව අපේ රටේ ජාත්‍යන්තර සබඳතා මෙහෙයවීම පවත්වාගෙන යාම සඳහා පත් කරන නිලධාරීන් අති බහුතරයක් දේශපාලන හිතවතුන්, ඥාතීන් හෝ දේශපාලන පරාජිතයන් වීම, මේ අයට සැනසිල්ලේ ජීවත් වීම සඳහා අවකාශ නිර්මාණය කිරීම. එම නිසා විධිමත්ව ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වාගෙන යාමට හැකියාවක් තියෙන නිලධාරීන් දුලබයි. මෙහිදී පැහැදිලි වෙනවා අවුරුදු අනූවක්ම අපේ රටේ බහුතරයක් ආණ්ඩු ජාත්‍යන්තර සම්බන්ධතා අවතක්සේරු කරලා කියලා.

එම නිසා මම හිතන්නේ ජාත්‍යන්තරයෙන් අපිට එන තර්ජන හෝ කොන්දේසි අප විසින් නිර්මාණය කරගත් ඒවා. මේවාට හුදු ජාත්‍යන්තර සංවිධාන හෝ රටවල් පමණක් වගකිව යුතු නෑ. අපි දැනගත යුතුයි ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීම මූල්‍ය උපායිකව සිදු කිරීමට. නිරන්තරයෙන් සිදුවන ජිනීවා ගැටලු කියාපාන්නේ අපේ රට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විධිමත්ව අවධානය යොමු නොකිරීමේ සහ අවතක්සේරු කිරීමේ ප්‍රතිඵලයක්. 
අපි දැන් ජිනීවාවලට ගිහිල්ලා කුමක් කිව්වත් ඵලක් නෑ. අපි දැනගත යුතුයි අපේ රට තුළ වගේම ජාත්‍යන්තරයෙත් සිදුවෙන්නේ දේශපාලනයක්. දේශපාලන ක්‍රියාවලියක දී අප ගනුදෙනු කළ යුත්තේ උපක්‍රමශීලීව උපායිකව. පහුගිය දශක ගණනාවක් පුරා මෙරට රාජ්‍යතාන්ත්‍රික යැයි කියාගන්නා නිලධාරීන් කටයුතු කරලා තියෙන්නේ ජාත්‍යන්තරයට අභියෝග කරලා අපිට අපේ අභිමානය රුකගත හැකියි කියන පදනම තුළ. නමුත් සිදුවිය යුත්තේ ජාත්‍යන්තරය සමඟ මිත්‍රශීලීව අපි අපේ අභිමානය රැකගැනීම. මොකද හැමෝම ඉන්නේ දේශපාලන ක්‍රියාවලියක. 

මේ මොහොතේ ජිනීවා හමුවේ අපි අරක කළා මේක කළා කිව්වට ඵලක් නෑ. ඔවුන් ඔවුන්ගේ න්‍යාය පත්‍රය හදලා ඉවරයි. එවන් තත්ත්වයක් තුළ අපි කරුණු පැහැදිලි කිරීම වැදගත් නෑ. නමුත් ජාත්‍යන්තර මතයක් නිර්මාණය කිරීම වැදගත් වෙනවා. ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම හමුවේ එන ප්‍රශ්නවලට අපට ක්ෂණිකව මුහුණදීමේ හැකියාවක් නෑ. ඒ නිසා ජිනීවා ගිහිල්ලා ජාත්‍යන්තරය තුළ මාධ්‍ය තුළ බලවත් වෙන මතයක් නිර්මාණය කළ යුතු බවයි මගේ යෝජනාව. අපි මුහුණ දෙන අභියෝග, අපේ අනාගත වැඩපිළිවෙළ, අපි කොහොම ජාතික සමගියක් සහිතව ඉදිරියට යනවාද යන සැලැස්ම අපි පෙන්විය යුතුයි. එය හුදු කතා සංදර්ශනයක් ද නොවිය යුතුයි.

කෙටිකාලීන, මධ්‍යකාලීන, දීර්ඝකාලීන ලෙස කවුන්සිලය තුළ අපි යම්කිසි ප්‍රතිචාරයක් දැක්වුවහොත් ඊට කවුන්සිලයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණත් අපිට වාසිදායක ජාත්‍යන්තර මතයක් නිර්මාණය වෙන්න පුළුවන්. මං හිතන්නේ කරන්න තියෙන්නේ මෙච්චරයි මේ වෙලාවේ. වාර්ගික ප්‍රශ්නයකට වාර්ගික උත්තර නෑ. වාර්ගික ප්‍රශ්නයකට වාර්ගික උත්තර දෙන්න යනවා කියන්නේ වාර්ගික අර්බුදය තව තවත් වර්ධනය කරනවා කියන එක. මොකද හේතුව එක් පාර්ශ්වයක් සතුටු කරන්න යනකොට තවත් පා‍ර්ශ්වයක් විරසක වෙනවා. එම නිසා වාර්ගික අර්බුදයකට අවශ්‍ය වෙන්නේ වර්ගික නොවන උත්තර. එම නිසා අපි මේ ප්‍රශ්නය වෙනත් තැනකට රැගෙන යා යුතු වෙනවා.

 සංවාද සටහන : චමිඳු නිසල් ද සිල්වා 

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00