2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

දිනකට රුපියල් 180කින් ජිවත් වෙන්න පුළුවන්

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 150

රටේ ආර්ථික තත්ත්වය හා පුද්ගල ආර්ථිකය මැනීම සඳහා උපයෝගී කරගන්නේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිව් අවුරුද්දකට වරක් සිදුකරන සමීක්ෂණයකින් රැස්කර ගත් දත්ත පදනම් කරගෙන ගණනය කරන තොරතුරුය. ඒ අනුව මෙවැනි තොරතුරු අන්තිමට ප්‍රකාශ කර ඇත්තේ 2016 වසරේදීය. ඊළඟ සමීක්ෂණයේ ප්‍රතිඵල 2020 වසරේදී නිකුත් කිරීමට අපේක්ෂා කළද කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙතෙක් එය සිදුව නැත. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නියැදි සමීක්ෂණ අංශයේ සහකාර අධ්‍යක්ෂිකා සජීවා කොඩිකාර මහත්මිය පවසන්නේ දෙවැනි සමීක්ෂණයේ ප්‍රතිඵල ලබන මැයි පමණ වනවිට නිකුත් කිරීමට හැකිවන බවය. එතෙක් අපට පාවිච්චි කිරීමට සිදුව ඇත්තේ 2016 වසරට පෙර රැස්කර ගත් තොරතුරු මත පදනම් වූ සංඛ්‍යාලේඛනය.

එසේ වුවද 2016 දත්ත පදනම් කරගෙන ජීවන වියදම පිළිබඳ ඇස්තමේන්තු කළ අගයන් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ වනවිට නිකුත් කර තිබේ. එම තොරතුරු අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මෙම ඇස්තමේන්තු ගත වියදම අනාවරණය වෙයි. දිවයිනේ අඩු ආදායම්ලාභී පවුලක එක් පුද්ගලයකුගේ මූලික අවශ්‍යතා පමණක් සපුරාගෙන මසක් ජීවත්වීම සඳහා අවශ්‍ය වන අවම මුදල එයින් දක්වා ඇත. එහිදී පුද්ගලයකුට මසක් ජීවත්වීම සඳහා වැඩිම මුදලක් වැයවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම මුදල රුපියල් 5588කි. අඩුවෙන්ම වැයකරන දිස්ත්‍රික්කය මොනරාගල වන අතර එය රුපියල් 4846ක් වේ. කොළඹ ළඟට එක් පුද්ගලයකුට ජීවත්වීමට වැඩිම මුදලක් අවශ්‍ය වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එය රුපියල් 5475ක් වේ. ඊළඟට ගම්පහ දිස්ත්‍රික්කයේ කෙනෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාගෙන මාසයක් ජීවත්වීම සඳහා අවශ්‍ය වන මුදල රුපියල් 5418කි. මෙම වාර්තාව ප්‍රකාරව දිවයිනේ උතුරු සහ උතුරුමැද පළාතේ දිස්ත්‍රික්ක අතරින් අඩු ආදායම්ලාභියකුට වැඩිම වැය වාර්තාවන්නේ රුපියල් 5141 බව එම වාර්තාවේ දැක්වේ.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත්තේ දිනකට පුද්ගලයකුගේ සිරුරට ලබාගත යුතු 2030 වූ කැලරි ප්‍රමාණය ආවරණය කර ගනිමින් මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමට මෙම මුදලින් හැකි බවය. එහෙත් ඒ මූලික අවශ්‍යතා මොනවාද යන්න මෙහි දක්වා නොමැති නමුත් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ජනතා මූලික අවශ්‍යතා වැඩිවිය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. ආහාර, ජලය වැනි මූලික අවශ්‍යතා හැරුණු විට සෙසු අවශ්‍යතා ප්‍රදේශයෙන් ප්‍රදේශයට හා ජන සමාජය අනුව වෙනස්විය හැකි බව ඔවුන්ගේ අදහසය.

කෙසේ වුවද ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණ වාර්තා පදනම් වන්නේ නියැදි සමීක්ෂණවලින් ලැබෙන දත්ත මතය. එසේ ජනතාව සුලබ වශයෙන් පාරිභෝජනය කරන්නේ යැයි විශ්වාස කරන භාණ්ඩ වර්ග 10කින් සමන්විත වන භාණ්ඩ පැසක මිල අනුව මෙම දත්ත සකස් කෙරේ. කෙසේ වුවද මෙම භාණ්ඩ පැසට අඩංගු කළ ඇතැම් භාණ්ඩවල උචිත අනුචිතභාවය පිළිබඳ එදා සිට අද දක්වාම විවාදාත්මක තත්ත්වයක් පවතී.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තු අනුව සාමාන්‍යයෙන් එක් පුද්ගලයකුට දිනකට රුපියල් 180කට ආසන්න මුදලකින් ජීවත්වීමට හැකිවිය යුතුය. අද පවතින ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අනුව මූලික අවශ්‍යතාවලින් ආහාරවලට පමණක්වත් මෙය සෑහේද යන්න ගැටලුවක් බව පෙනෙන්නට තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හා මහා භාණ්ඩාගාරය වැනි ආයතන ජනතාවට මුදාහරින ඇතැම් සංඛ්‍යාලේඛන ප්‍රායෝගික නොවන වැරදි ඒවා බවය. එසේ වුවද සෑම අංශයකටම ඒ මත පදනම්ව ඉදිරි කටයුතු කිරීමට සිදුව ඇත්තේ එය වැරදි නම් ඒ සඳහා විකල්පයක් ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසාය. රජය දෙන තොරතුරු ගැන විශ්වාසය තබාගන්නට සිදුව ඇති නමුත් ඇත්තටම ඒවා වර්තමානයට ගැලපේද යන්න ගැටලුවක් බව ඔහු කියයි.

“උදාහරණයක් වශයෙන් පැවසුවොත් 2012 වසරෙන් පසු මේ රටේ ජන හා නිවාස සංගණනයක් සිදුව නැහැ. ඉතින් දැන් 2021 වෙලත් අපට තවම තීන්දු තීරණ ගන්නට සිදුව ඇත්තේ 2012 දී සොයාගත් කරුණු මතයි. අනික් අතට ගමකට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් 8-10 සිටිනවා. මේ කිසිවෙක් ගමකට ගොස් සංඛ්‍යාලේඛන ගන්නවා මා නම් දැකලා නැහැ. වත්තක පොල් කොච්චර කැඩෙනවාද? කිරි හරක් කී දෙනෙක් ඉන්නවද? බෝගවලින් ලැබෙන්නේ මොනවාද? ආදී ගණන් හරියට ගන්නේ නැහැ. ඔවුන් ඉදිරිපත් කරන ගණන් සියල්ල පුරෝකතන පමණයි.”

ඔහු පවසන්නේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ ඉදිරිපත් කර තිබෙන වියදම පිළිබඳ ගණන් මිනුම්ද යාවත්කාලීන නැති බවයි. මසකට රුපියල් 5147කින් එක් අයකුට වැයවෙනවා යැයි කීමද එවැන්නකි. මේ වනවිට අලුතින් කොතරම් දේවල් වියදමට එකතු වෙනවාද? කොරෝනාවලට මාර්ක් පාවිච්චි කිරීම, ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය හැදෑරීම, බෙහෙත් හේත් විශේෂයෙන් මිලට ගන්න සිදුවීමට ආදියට වැයකරන මුදල් අනිවාර්යයෙන්ම වියදමට අඩංගු කළ යුතු නමුත් එය සිදු නොවන බව ඔහු කියයි. අනිත් අතට ආහාරවලට වියදම් කිරීම සහ ලැබෙන ආදායම අතර අනුපාතයද පුද්ගලයාගේ සමාජ තත්ත්වය අනුව වෙනස් වෙයි. සියල්ලන්ම එක මිම්මකින් මැනීම වැරදි සහගතය යන්න ඔහුගේ අදහස වේ. ඒ නිසා මෙම සංඛ්‍යාවල විනිවිදභාවයක් නැතැයි හේ අවධාරණය කරයි.

ජනයාගේ අවශ්‍යතා සීඝ්‍රයෙන් වෙනස් වෙනවා
හිටපු ආණ්ඩුකාරවරයකු වන කීර්ති තෙන්නකෝන්

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ගණන් මිනුම් අනුව අපේ රටේ නම් කෙනෙකුට ඔය කියන මුදලෙන් ජීවත් වෙන්න බැහැ. ජන ජීවිතය පිළිබඳ සාමාන්‍ය හෝ අවබෝධයකින් තොරවයි මෙම සංඛ්‍යා ව්‍යාප්ත කර ඇත්තේ. සාමාන්‍ය කෙනෙකුට වුවත් කිව හැක්කේ පවුලක හතරදෙනකුට ජීවත්වීමට නාගරික ප්‍රදේශවල නම් මසකට රුපියල් පනස් දහසක් අවශ්‍ය අතර, ගම්බද ප්‍රදේශයක අවම වශයෙන් රුපියල් හතළිස් දහසක් පමණ අවශ්‍ය වෙනවා.

කෙනෙකුට වියදම් වෙන්නේ ආහාර සඳහා පමණක් නොවෙයි. එයට අමතරව කොතරම් අත්‍යවශ්‍ය වියදම් තියෙනවාද? සමාජ අවශ්‍යතා, අසනීප, අධ්‍යාපන, යුතුකම් ඉටුකිරීම් ආදී වශයෙන් කෙනෙකුට නොකර බැරි වියදම් තියෙනවා. සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කුමන දත්ත පදනම් කරගෙන මේ ගැලපීම් කළාද කියලා හිතන්න අමාරුයි. ඒ අය උපකල්පනය කරන හා ගොඩනගා ගන්නා සංඛ්‍යා දත්ත සත්‍ය ලොවට ගැලපෙනවාද යන්න ගැටලුවක්. එදාට වඩා ජනතාවගේ ප්‍රශ්න අද වනවිට සංකීර්ණයි. ඒ නිසා අවශ්‍යතාද වෙනස් වෙනවා. අද වනවිට මාස්ක් පැළඳීම විෂබීජනාශක පාවිච්චි කිරීම ආදිය රජය මගින් අනිවාර්ය කර තිබෙනවා. එසේම අද දරුවන්ගේ අධ්‍යාපනයේදී එදා පාවිච්චි කළ පොතපතට අතිරේක වශයෙන් තාක්ෂණ වියදම් කොතරම් ඕනෑද? අන්තර්ජාල පහසුකම්, ඔන්ලයින් අධ්‍යාපන ක්‍රම මේවා අත්‍යවශ්‍යම වෙලා තියෙනවා.

මේ වනවිට එදිනෙදා අවශ්‍ය කරන භාණ්ඩවල මිලෙහි අපගමනයක් හෙවත් වැඩිවීමක් සිදුව තිබෙනවා. භාණ්ඩ මිල අවම වශයෙන් සියයට 200කට වැඩිවෙලා. ඇතැම් භාණ්ඩ මෙම ප්‍රතිශතයද ඉක්මවා ගිහින්. රටේ භාණ්ඩ හිඟයක් තිබෙනවා. වෙළෙඳාම රජය අතට අරගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඉල්ලුමට සැපයුම දෙන්න අපහසුවෙලා තියෙනවා. ජනතාවට මිලදී ගැනීමේ හැකියාව අඩුව ඇත්තේ අතේ මුදල් හිඟකම නිසයි. මෙම පරිසරය තුළ ප්‍රකාශිත සංඛ්‍යාලේඛන අනුව ජීවත්වන්න පුළුවන්ද යන්න ගැන දෙවරක් සිතිය යුතුයි.

ජනතාව පිළිනොගන්නා සංඛ්‍යාලේඛන වැඩක් නැහැ

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසන්නේ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන ප්‍රායෝගික නොවන බවයි. අද පමණක් නොව අතීතයේ වුවද රජය නිකුත් කරන සංඛ්‍යාලේඛන ජනතාව පිළිගන්නේ නැත්තේ ඒවා බොරු බව දන්නා නිසයි. ජනතාව පිළි නොගන්නවා නම් රටේ පවතින තත්ත්වයට සැසඳෙන්නේ නැතිනම් කොතරම් සංඛ්‍යාලේඛන හැදුවත් ඒවා ලිපිගොනුවලට, පරිගණකවලට පමණක් සීමාවනවා ඇත යන්න ඔහුගේ මතය වේ. ඔහු මෙසේද පවසයි.

“මෙම සංඛ්‍යාලේඛන අනුව අප ඉන්නේ අවුරුදු 5-10කට පෙර බව සිතෙනවා. මෙයට පෙරද රජයේ වගකිවයුතු ඇමැතිවරයෙක් රුපියල් 2500කින් පවුලකට මාසයක් ජීවත්වීමට හැකිවේ යැයි පවසා ජනතාවගේ හාස්‍යයට ලක්වූවා අපට මතකයි.

රජයේ සංඛ්‍යාලේඛන යාවත්කාලීන (Update) වෙන්නේ නැහැ. එය උවමනාවෙන්ම කරන බවයි පෙනෙන්නට තිබෙන්නේ. දැනටමත් බොහෝදුරට සමගාමීව ඇත්තේ ඇතැම් පෞද්ගලික අංශවල සංඛ්‍යාලේඛනයි. අද පවතින ආහාර මිල අනුව එක් කෙනෙකුට තුන්වේල කෑමට සඳහා පමණක් දිනකට රුපියල් 1000ක් අවශ්‍යයි. ඇතැම් නේවාසික ස්ථානවල ලැගුම් ගෙන සිටින අයට දිනකට කෑම වේල් තුන සඳහා රුපියල් 400ක් පමණ අයකරන අවස්ථා තිබෙනවා. ඒවා කුස පිරෙන්නටවත් නොලැබෙන අතර ගුණාත්මක ආහාර නොවෙයි. බඩගින්නට මොනවා හෝ කන්න දෙනවා. ප්‍රධාන ආහාර වේල් තුන සඳහා පමණයි මෙතැන කියවෙන්නේ. එයට අමතරව කෙටි කෑම තේ ආදියට වැයවෙනවා.

කෙනෙකුට ජීවත්වීමට අවශ්‍ය පෝෂ්‍යදායක කෑම ගැන මෙහිදී කතා කළ යුතුයි. එවැනි කෑම නැතිවනවිට ජනතාව රෝගී වන අතර ඔවුන් බේරාගන්නට එයට වඩා වියදම් කිරීමට රජයට සිදුවෙනවා.

රජය කියන සංඛ්‍යාලේඛන වලට රජය ජනතාවට ආහාර පාන දෙනවා නම් එය වැදගත්. සහන වෙළෙඳසල් ඇතිකර අඩු ආදායම්ලාභීන්ටවත් ආහාර පාන දිය යුතුයි. එසේ කළ හැකිනම් මෙම සංඛ්‍යාලේඛන යම් පමණකට යථාර්ථවාදී යැයි කියන්න පුළුවන්.

කෘෂිභෝග මිල අඩුවෙනවා නම් ජීවන වියදම අඩුවෙනවා.
සමස්ත ලංකා ගොවිජන සේවා සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න

ජනතාවගේ ජීවන වියදමට විශේෂයෙන්ම බලපාන්නේ කෘෂිභෝගවල මිලයි. ගොවි නිෂ්පාදනවල මිල පහළ දමන්න පුළුවන් නම් ඔවුන්ගේ ආහාර පාරිභෝජන වියදම් අඩු කරන්න පුළුවන්. එහෙත් සිදු නොවෙන්නේම එයයි. පසුගිය කෙටි කාලය ගැන කතා කළොත් සහල්, එළවළු, තුනපහ, අල-පරිප්පු සහ කුසගින්නට ගන්නා ආහාර ද්‍රව්‍යවල මිල එකට තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. එම මිල අඩු කිරීම වෙනුවට ව්‍යාජ සංඛ්‍යාලේඛන එළිදක්වලා මෙච්චර මුදලකින් ජීවත්වෙන්න පුළුවන් යැයි පැවසීම විහිළුවක්.

සාමාන්‍යයෙන් පස් දෙනෙකුගේ පවුලකට අවම වශයෙන් බත්කෑමට හාල් තුන්වේලට කිලෝ 2ක් දිනකට අවශ්‍ය වෙනවා නම් මසකට හාල් කිලෝ 60ක් අවශ්‍ය වෙනවා. හාල් කිලෝව රුපියල් 100 යැයි ගණන් බැලූවිට සහල්වලට පමණක් රැපියල් 6000ක්වත් යනවා. එළවළු ග්‍රෑම් 750ක් යනවා නම් එළවළු වර්ග දෙකකට දින 30කට කිලෝ 22 ½ක් මසකට පාරිභෝජනය කරනවා. කිලෝව රුපියල් 100කට ගතහොත් එළවළුවලට වියදම රුපියල් 2250යි. සෙසු මස්, මාළු, කරවල ආදියට අවම වශයෙන් රුපියල් 3000 වැය කරනවා යැයි සිතූ විට මසක පවුලේ වියදම 11,250ක් වෙනවා ආහාරවලට පමණක්. එය අවම වශයෙන් එසේ වනවා නම් ආණ්ඩුව කියන වියදම ව්‍යාජ බව ඕනෑ කෙනෙකුට වැටහෙනවා. වෙනත් තව අත්‍යවශ්‍ය වියදම් කොපමණ තිබෙනවාද? එසේම ආහාර පිළියෙළ කිරීමේ ගෑස්, දර, විදුලිය ආදී වියදම අද අහස උසට නැග ඇති කුළුබඩු වර්ගවලට ගෙවිය යුතු මුදල් ආදිය මෙයට ඇතුළත් නැහැ.

සැබෑ ලොව දෙස නොබලා කෘත්‍රිම ලෝකයක් අනුව කරන මේ ගණන් බැලිල්ල තනිකරම ව්‍යාජ උත්සාහයක්. සියල්ල අතහැර දමලා ප්‍රමුඛත්වය දිය යුත්තේ භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළයාම වැළැක්වීමට බව අද කුඩා දරුවකුට වුවද වැටහෙනවා.

 යසවර්ධන රුද්රිගු

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00