2021 ජනවාරි 09 වන සෙනසුරාදා

කොවිඩ් වළක්වන අලුත් උපක්‍රම

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 16

කොරෝනා වෛරසයට එරෙහි මිනිස් සංහතියේ ප්‍රතිශක්තිකරණය සවිමත් කිරීම සමස්ත ලෝකයේම ඒකායන අභිප්‍රාය වී තිබේ. ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක වන එන්නත් වැඩපිළිවෙළහි මෙන්ම මෙරට නිතර ඇසෙන දේශීය ඖෂධ වර්ගවල ද අරමුණ වී ඇත්තේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමය. එහෙත් මිනිසාගේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම හුදු ඖෂධ වර්ගවලින් පමණක් සිදුකළ හැක්කක් නොවේ. සමබල ආහාර රටාව මෙන්ම යහපත් සෞඛ්‍ය පුරුදු ප්‍රතිශක්තිකරණය කෙරෙහි තීරණාත්මක ලෙස බලපාන බව ඔවුහු පැහැදිලි කරමින් සිටිති.

පසුගියදා ක්ෂණික ආහාර භාවිත අවම කරන ලෙස ශ්‍රී ලංකාවේ වෛද්‍ය අංශ වෙතින් ද උපදෙස් ලබාදෙන අයුරු අපි දුටුවෙමු. එහෙත් මේ මොහොතේ පවා ලාංකිකයන්ගේ ආහාර පුරුදු අතර ක්ෂණික ආහාර අනිවාර්ය අංගයකි. එම නිසාම පසුගියදා නිකුත් වූ වෛද්‍ය උපදෙස් සම්බන්ධ කර ගනිමින් කොවිඩ් මර්දනය සඳහා වැදගත් වන ආහාර පුරුදු සම්බන්ධව සොයා බැලීම කාලෝචිතය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨයේ ක්ෂුද්‍රජීව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මාධ්‍ය හමුවකදී මතු කරනු ලැබුවේ මෙවන් අදහසකි.
ඇත්තෙන්ම ප්‍රතිශක්තිකරණය එකම මට්ටමක පවත්වාගැනීම වැදගත්. අපි අනුගමනය කරන ඇතැම් ක්‍රමවේද නිසා ප්‍රතිශක්තිකරණය අඩු වෙන්න පුළුවන්. අනවශ්‍ය කෑම වර්ග, ඒ කියන්නේ ක්ෂණික ආහාර වැනි දේවල් නිසා ප්‍රතිශක්තිකරණය අඩුවීමේ හැකියාවක් තිබෙනවා. අපි හොඳ සමබල ආහාරවේලක් ගන්න ඕනෑ, හොඳට එළවළු පළතුරු කොළ වර්ග එහෙම තියෙන. ඒ හරහා ශරීරයට අවශ්‍ය විටමින් වර්ග එහෙම ලැබෙනවා. නමුත් ක්ෂණික ආහාර, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, ෂෝටීස් වගේ දේවල්ම දිගින් දිගටම ආහාරයට ගන්නවා නම් ඒක අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හොඳ නෑ. ඒ වගේම ව්‍යායාම සහ නින්දත් ප්‍රතිශක්තිකරණයට වැදගත්.

මහචාර්යවරියගේ ප්‍රකාශයට අනුව පෙනී ගියේ ඇතැම් පුද්ගලයන්ගේ ජීවන රටාව නිසා කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමට ශරීරයේ ඇති ප්‍රතිශක්තිය අඩු විය හැකි බවයි. එසේම ඇය මහජනයා නිරෝගීව සිටිය යුතු බවත්, සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කළ යුතු බවත්, අවශ්‍ය විටමින් පරිභෝජනය කළ යුතු බවත් අවධාරණය කර තිබුණි.

මෙම ප්‍රකාශ පදනම් කරගෙන විෂයානුබද්ධ විග්‍රයක් සඳහා අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇමතූවෙමු. එහිදී අප සමඟ සම්බන්ධව වූ වෛද්‍ය සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ වැරදි ආහාර පුරුදු කොවිඩ් වසංගතය කෙරෙහි ඇතිකරන බලපෑම පුළුල්ව විග්‍රහ කළේය.

කොවිඩ් කියන්නේ වෛරසයක් මගින් බෝවන ගෝලීය වසංගතයක්. බෝවන රෝග සියල්ලක්ම අපේ ශරීරයේ ප්‍රතිශක්තිය සමඟ බැඳී පවතිනවා. අපි තුළ ස්වභාවිකව තිබෙන ආරක්ෂාව හොඳ නම් එක් අතෙකින් අපිට රෝගයෙන් බේරීමට හැකියි. අනෙක් අතින් රෝගය වැළඳුණත් මරණයට පත්වෙන්න, සංකූලතාවයට පත්වෙන්න තිබෙන ඉඩකඩ අඩුයි. අපි එන්නත් ගැන කතා කරන්නෙත් ප්‍රතිශක්තියේ අවශ්‍යතාව නිසා. එන්නතකින් වෙන්නේ වෛරසයට විරුද්ධව සටන් කිරීම සඳහා ප්‍රතිදේහ නිෂ්පාදනය කිරීම. ඒ අනුව කෘත්‍රිමව තමා එන්නතකින් ප්‍රතිශක්තිය ඇතිවෙන්නේ.

අලුත්ගේ මහතාගේ පැහැදිලි කිරීම අනුව එන්නත් ලබාදීමේ අරමුණ කෙටිකාලීනය. එහි බලාපොරොත්තුව වසංගත තත්ත්වය තුළ කෙටිකාලීන සංකූලතා, මරණ අවම කර ගැනීම සහ වසංගතය මර්දනය කරන පිරිස, දායක වන පිරිස ආරක්ෂා කර ගැනිමය. එහෙත් සාර්ථකම ක්‍රමවේදය නම් දීර්ඝ කාලීනව ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමයි. ඒ අනුව දීර්ඝ කාලීනව ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනයට බලපානු ලබන කාරණා කිහිපයකි. ඉන් ප්‍රධාන කරුණ වනුයේ අපගේ ආහාර රටාවය. ඊට අමතරව නින්ද, ජලය වැඩියෙන් පානය කිරීම, උදෑසන හිරු එළියට නිරාවරණය වීම, ව්‍යායාමය ආදිය වැදගත් වේ.

වැළකිය යුතු දේවලින් ඉහළින්ම තියෙන්නේ කෘත්‍රිම රසකාරක අඩංගු ආහාර වර්ග, ක්ෂණික ආහාර වර්ග. මේ ආහාරවල තියෙන කෘත්‍රිම රසකාරක වර්ණක වගේ දේවලින් ඇටෑක් කරන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටයි. එම ආහාර ගැනීම අපේ පුරුද්දක් වෙලා තියෙනවා නම් එතැනදී අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වෙනවා. එවන් පුද්ගලයකුට රෝගයට ගොදුරු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. අනෙක් පසින් රෝගයට ගොදුරු වුණත් සංකූලතා ඇතිවෙන්න, මරණයට පත්වෙන්න තියෙන ඉඩකඩත් වැඩියි.

දුම්වැටි සහ මධ්‍යසාරද ප්‍රතිශක්තිකරණ පද්ධතියට විශාල හානියක් සිදු කරන බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සිහිපත් කරයි. එසේම දේශීය සහ පාරම්පරික ආහාර රටාවද ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කිරීමට වැදගත් බව මෙහිදී අවධාරණය විය. දේශීය ස්වභාවික ආහාර තුළින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට අවශ්‍ය විටමින්, ඛනිජ ලවණ ලැබේ.

කොවිඩ් වසංගතය අපි හඳුන්වනු ලබන්නේ ද්විත්ව වසංගතයක් විදිහට. බෝවන රෝග වසංගතය වන කොවිඩ් තමා මේ මොහොතේ අපිට පෙනෙන්නට තිබෙන හතුරා. එහෙත් මෙතැනදී අපිට නොපෙනෙන සතුරා තමා බෝ නොවන රෝග. අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග, පිළිකා ආදිය ඊට අයත් වෙනවා. කොවිඩ් නිසා මැරෙන පිරිසෙන් වගේම සංකූලතා ඇතිවන පිරිසෙන් බුහුතරය මෙම බෝ නොවන රෝගවලින් පෙළෙන අය. සීයට අනූ හයයි දශම දෙකක්ම බෝ නොවන රෝග තියෙන අය. එතකොට මැරෙන අය, සංකූලතා ඇතිවෙන අය ඉවත් කරලා බැලුවොත් මේක සාමාන්‍ය හෙම්බිරිස්සා කැස්සක්. එතකොට අපිට ලොකු බයක් වෙන්න ඕනේ නෑ. ඒත් බෝ නොවන රෝග තියෙන අය වැඩි නිසා, සංකූලතා ඇතිවන අය අඳුරගන්න බැරි නිසා අපි හැමෝම මෙතැනදී පරිස්සම් වෙන්න ඕනෑ.

මෙහිදී පැහැදිලි වනුයේ බෝ නොවන රෝග බහුතරයකටම ආහාර රටාවේ බලපෑමක් ඇති බවයි. කෘත්‍රිම සහ ක්ෂණික ආහාර භාවිත හරහා මුළු මහත් ලෝකයම බෝ නොවන රෝගවලින් පෙළෙමින් සිටීම කොවිඩ් වසංගතය භයානක වීමට හේතුව නිර්මාණය කර තිබේ. සැබැවින්ම මෙම ගෝලීය වසංගතයේ සංකූලතා සහ මරණ පිළිබඳ අපගේ තැතිගැනීම පිටුපස මෙතෙක් ලෝකයා සිය ජීවන රටාවේ අනුගමනය කළ වැරදි පුරුදු ගොන්නක් තිබේ.
ප්‍රතිශක්තිකරණය සම්බන්ධව කෘත්‍රිම සහ ක්ෂණික ආහාර රටාවේ බලපෑම පැහැදිලියි. ඒ වගේම අනෙක් පසින් අපිට මේක අමතක කරන්න බෑ. බෝ නොවන රෝග සමඟ ඍජුවම සම්බන්ධ වෙනවා කෘත්‍රිම ආහාර රටාව. එතකොට කොවිඩ් ඍජුව සම්බන්ධ වෙනවා බෝ නොවන රෝග සමඟ. ඒ නිසා යහපත් ආහාර රටාවකට හුරුවීම එතැනදී අපට අතිශය වැදගත් වෙනවා.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතාගේ මෙන්ම මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ පැහැදිලි කිරීම අනුව කොවිඩ් වසංගතය සම්බන්ධව වෙනස්ම මානයකින් කියවා ගැනීමට අපට සිදුවේ. කොවිඩ් යනු හදිසියේ පැමිණි සතුරකු නොවන බවත් අප විසින් දුර්වල කරනු ලැබූ ආරක්ෂාව මතම ශක්තිමත් වී නැගී සිටි සතුරකු බවත් අවසානයේ අප අවබෝධ කරගත යුතුය. එම නිසාම මේ එළැඹී ඇත්තේ අප අපගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට කාලයයි.

 චමිඳු නිසල් ද සිල්වා

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00