2021 ජනවාරි 09 වන සෙනසුරාදා

යකාටවත් බය නොවූ යක්කඩුවේ හාමුදුරුවෝ - 02 කොටස

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 17

යක්කඩුවේ කියූ සැණින් අපට මතක් වන්නේ යමක් කිව්වොත් යකෙක් කිව්වත් වෙනස් නොකරන, පුළුවන් කිව්වොත් එය බැරුවා බැරුවාමයි කියන තනි තීරණයේම සිටි මහා බුද්ධ පුත්‍රයෙකි. උන්වහන්සේගේ තවත් විශේෂයක් තිබුණි. මුහුණ පුරා වැඩුණු රැවුලින් යුතු තේජවන්ත පෙනුමෙන් යුතුව මුළු රැයක් නිදිමරා ලියන කියවන අමුතුම චරිතයකට හිමිකම් කියන චරිතයකි. උන්වහන්සේ විලියම් ශේක්ස්පියර්, ඕමාර් ඛයියාම්, මාර්ෂල් ප්රුට්, බ්‍රොවොං ආදී ලේඛකයන් මෙන් රාත්‍රියේ අවදිව සිටි මේ මහ පඬිරුවන රාත්‍රියට ආදරය කළහ.

උන්වහන්සේ විසින් ලියූ භක්ති ගීත ග්‍රන්ථයේ පෙරවදනේ තමා රාත්‍රියට ප්‍රිය කරන්නේ මන්දැයි මෙසේ විස්තර කරති.

මට රාත්‍රිය ප්‍රියයි. රෑ කෙතරම් සැනසිලිදායීද? ඇහැට අමිහිරි රුවක් නැහැ. කනට අමිහිරි හඬක් නැහැ. සිතට අමිහිරි හිතක් නැහැ. මම කැමති රෑටයි. මගේ වැඩත් රෑටයි. රැය ගෙවී ගියා. එළිවෙලා. මගේ වැඩෙත් හමාරයි.

යක්කඩුවේ හිමියන් ලියන සමෝච්චනාවට ආශ්චර්යමත් හැකියාව ඇතියවුන් වැන්නන් මේ පොළොවට පමණක් නොව ලෝකයේ අන් පෙදෙසක ද වුව සොයා ගැනීම දුෂ්කර බව පවසා ඇති අධ්‍යාපනඥයකු හා ලේඛකයකු පරිවර්තකයකු වූ ඊ.ආර්. එරත්න මහතා, අමුතු මුහුණුවරක් ගෙන රචනා සපයන උපහාස රසයෙන් කියවන්නන් කුල්මත් කිරීමෙහි සමර්ථ නිසා උන්වහන්සේගේ පාණ්ඩිත්‍ය මුළු තුන් හෙළයේම එක ලෙස පිළිගන්නා බවද පවසා ඇත.

විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ උප කුලපති ධූරන්ධර යක්කඩුවේ හිමියන්ට සැට වසරක් පිරීම නිමිත්තෙන් හිටපු අධ්‍යාපන හා සංස්කෘතික ඇමැතිවරයකු ලේඛකයකු වූ අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා තම සංදේශයකින් දක්වා ඇත්තේ වර්තමානයෙහි ලියන භාෂාව හා කතා කරන භාෂාව අතර පවත්නා විශාල පරතරය දුරු කරලීම සඳහා උන්වහන්සේ විසින් දරන ලද පරිශ්‍රමය ප්‍රශංසාත්මක බවය.

යක්කඩුවේ හාමුදුරුවන්ගේ සමීපතම පැවිදි මිතුරා වූ මහාචාර්ය වල්පොල රාහුල හාමුදුරුවෝ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම උපහාර අංකයට (1967 විමංසා) ලියූ ලිපියක අපූරු සටහනක් ලියා තිබුණහ.

පසුගිය මහා යුද්ධ කාලයේ දිනක් රූ බෝ වී අපි කොළඹ සිට පෑලියගොඩට යමින් සිටියෙමු. රිය පැදවූයේ අද (1967 දී) විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ සහකාර කාර්ය සංවිධායක එච්.ඇම්. තිසේරා මහතායි. ඔහු සමඟ ඉදිරි අසුනේ යක්කඩුවේ හාමුදුරුවෝ. විද්‍යාලංකාර පිරිවෙණේ උප ප්‍රධානව සිටි දිවංගත පණ්ඩිත මාදොවිට ඥානන්ද ස්ථවිරයන් වහන්සේත්, මමත් පිටුපස අසුනේ. කැලණි පාලම අසල දී හදිසියේම ඉදිරියෙන් ආ යුද ලොරියක් හැපී අපේ රිය පොඩි වී පෙරළී ගියේය. රථ දෙක හැප්පීමේ මහ ශබ්දය ඇසී එතැනට රුස් වූ මිනිස්සු අපේ රථයේ උඩ හැරී තිබුණු පැත්තේ දොරවල් හැර අපිව එළියට ඇදගත්තේය.

අන්තිමට කාර් එක පොඩි වී තිබුණා මිස, අප කාටවත්ම සිදු වූ සුළු තුවාලයක්වත් සොයාගත නොහැකි විය.

කිසිත් සිදු නොවූවාක් මෙන් සන්සුන් ලෙස පාරේ අයිනකට වී, අදනකඩ සාක්කුවෙන් බුලත්විටක් එළියට ගනිමින් යක්කඩුවේ හාමුදුරුවෝ රහසින් මෙන් මට මෙසේ කීහ

මගේ හිතේ අපේ ජීවිතේ මොකක් හරි වටිනා වැඩක් කෙරෙන්න තියෙනව ඇති.

අනික් තිදෙනාගේ ජීවිත කෙසේ වෙතත්, ඒ හාමුදුරුවන්ගේ ජීවිතය පිළිබඳ නම් මේ කීම ඇත්තක් බැව් නිසැකය.

සරල සුගම භාෂාවෙන් පොත් මෙන්ම ශාස්ත්‍රීය ලිපි ලියූ යක්කඩුවේ හාමුදුරුවෝ භාෂාව ගැන ලියූ ජීව භාෂාව නම් හැඳින්වීමක් වන කතා - මිතුරන් කෙටවීම කෘතියේ එයි. මේ එහි ආරම්භක ඡේදයයි.

මේ පොත බලන කියවන විවේචනය කරන කාටත් පාහේ දැනගැනීම පිණිස කිව යුතු කරුණු කීපයක් තිබේ. එනම්, මෙය කරුණු කීපයක් නිසාම අමුතු මෝස්තරයක, අලුත් තාලයක පොතක් බවයි, මේ පොත ලිවීමේදී මා තුළ බලපැවැත්වූ ප්‍රධානම අදහස නම්, සිංහල භාෂාවෙන් ලියන මේ පොත සිංහල රටේ සිංහල මිනිසුන්ට, සිංහල පොතක් කියවන්ට පුළුවන් කාට වුවත්, කොයි තරම්ම ගැඹුරු කරුණක් නමුත්, කරදරයක් නැතිව පහසුවෙන් තේරුම් ගන්ට පුළුවන් වන පරිද්දෙන් ලිවීමයි. ඒ නිසා බැරිවීමකින් ඉබේ කෙරුණා නම් මිසක් හිත හිතා ඕනෑකමකින් නම් මේ පොත ලිවීමේදී, භාෂාව සකස් කරන්නට හෝ අලංකාර කිරීමට හෝ මටසිළුටු කිරීමට හෝ ගැඹුරු කිරීමකට හෝ කල්පනා කළා යැයි කිව නොහැකිය.

මහා පත්‍රකලාවේදී ඩී.බී. ධනපාල මහතා යක්කඩුවේ හාමුදුරුවන්ගේ සමීපතම ගිහි මිත්‍රයාය. 1947 ධනපාල මහතා ඇරඹූ ලංකාදීප පුවත්පතට ඒ නම යක්කඩුවේ හාමුදුරුවන් හා ජුලියස් ද ලැනරෝල් මහතාත්, එක් වී සම්මත කරගත් බව ගුණදාස ලියනගේ වරක් පවසා තිබුණි.

ඩී.බී. ධනපාල මහා පත්‍ර කලාවේදියාණන් විසින් 1962 වසරේ ලියූ Among those present නම් කෘතියේ යක්කඩුවේ හාමුදුරුවන් ගැන ලියූ චරිත ලිපියේ උන්වහන්සේගේ ගුණ සම්පිණ්ඩනය කර ඇත.

උන්වහන්සේගේ මනෝදර්ශනයේ නිර්භයතාව, අධිෂ්ඨානයේ ස්ථිරත්වය, පාණ්ඩිත්‍ය අමිතත්වය, හිතේ විස්තාරය, හෘදයේ කාරුණ්‍යය යන මේ ගුණාංගයන් උදාර මහිමය සාමාන්‍ය නරයන් මවිත කරවයි.

යක්කඩුවේ හාමුදුරුවෝත්, ධනපාල මහතාත් අතර කොතරම් සමීප මිතුරන් ද කියා වඩාත් පැහැදැලි වන්නේ ධනපාල මහතා තම චාම් අවමඟුල් කටයුතු ගැන කලින් ලියා තිබූ මේ විශේෂ ඉල්ලීමෙනි.

මගේ පැවිදි මිත්‍රයකු වූ යක්කඩුවේ ප්‍රඥාරාම හාමුදුරුවන්ට පමණක් මරණය ගැන දැන්වීම ප්‍රමාණවත්.

සිංහල සාහිත්‍යය හා කලා ශිල්ප රුකීමට, දියුණු කිරීමට හැමවිටම ක්‍රියා කරන, උදව් දෙන ලංකාදීප පත්‍රය 1958 වසරේ නිදහස් දිනය නිමිත්තෙන් යක්කඩුවේ හාමුදුරුවන්ට සාහිත්‍ය කීර්ති සම්මානය පිරිනැමුවේය. එය මෙබඳු සාහිත්‍යධර මහ පඬිරුවනකට පුවත්පතකින් සැලකිල්ල දැක්විය හැකි උසස්ම ක්‍රමයයි. සාහිත්‍ය කීර්ති යක්කඩුවේ ප්‍රඥාරාම, ඔව්! යක්කඩුවේ හිමියන් සැබැවින්ම සාහිත්‍යයට කීර්තියකියි ලංකාදීප නියෝජ්‍ය කතුවරයකුව සිටි කේ.එම්. සිරිසේන ලේඛකයා 1958 මාර්තු රෑපවාහිනී සඟරාවට ලියා තිබුණි.

ශ්‍රේෂ්ඨ පඬිරුවනක් මෙන්ම උසස් සිල් ගුණයෙන් හෙබි ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයකු වූ යක්කඩුවේ ප්‍රඥාරාම හිමිපාණෝ 1986 මාර්තු 01 වැනි දින අපවත් වී වදාළ සේක.

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00