2021 ජනවාරි 09 වන සෙනසුරාදා

එහේ බත් ටික කොස් කොළේ: මෙහේ අච්චාරුත් පොලිතීන් එකේ

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 51

ප්ලාස්ටික් හා පොලිතීන් ඇසුරුම්වල බහා ආහාර හා ඖෂධ නොවන දේ අලෙවි කිරීම මෙම වසරේ තහනම් කරන බව නිවේදනය කර තිබුණි. එහෙත් එය පියවරක් පසුපසට ගෙන තිබේ. තවදුරටත් ‘‘ෂැෂේ පැකට්’’ වෙළෙඳසල්වල එල්ලා අලෙවි කරනු ඇත. ස්නානයේ දී හිස ගල්වන ෂැම්පු වර්ගවල සිට උදෑසන කිරි වේල වෙනුවෙන් දක්වා වන පරාසයක, කුඩා පොලිතීන් ඇසුරුම්වල ඇති දේ මිල දී ගන්නා ජනයා ඒවා භාවිත කිරීමෙන් පසු, තමන් කරන පරිසරය හානිය ගැන අවධානය යොමු කරන්නේ නැත. දිරාපත් නොවන සහ දිරාපත් වීමට ඉතා දීර්ඝ කාලයක් ගන්නා පොලිතීන් හා ප්ලාස්ටික් මිහිතලයේ පැවැත්ම අවදානමකට ලක් කර තිබේ. භාවිතයෙන් පසු ඉවත දමන පොලිතීන් ජලය බැස යන මාර්ග අවහිර කර තිබේ. ඒවා පුළුස්සා දැමීම ගෝලීය උණුසුම නංවන හේතුවකි. සාගරයට එකතු වීමෙන් විශාල ජල දූෂණයක් හටගෙන තිබේ. ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් පොලිතීන් හා ප්ලාස්ටික් සාගරයට බහුලව එකතු කරන රටවල් අතර සිටී.

නෙළුම් කොළයේ හෝ කෙසෙල් කොළයේ බත් පාරිභෝගිකයන් කැඳවන ප‍්‍රචාරණ උපක‍්‍රමයකි. ගමනක් අතරතුර එවැනි තැනකින් ආහාර ගන්නට පෙළැඹෙන ලාංකිකයෝ නිවෙසේ පවත්වන කුඩා සාදයක දී පවා පරිසරයට බැහැර කරන පොලිතීන් ප‍්‍රමාණය විශාලය. උත්සවවලදී ආහාර තැවරීමෙන් වළක්වා ගැනීමට පිඟානට තුනී පොලිතීන් ආවරණයක් භාවිත කරන අප සියලු දෙනා භාජනය පිරිසුදු කරන්නට වැය කරන ජල ප‍්‍රමාණයට වඩා තක්සේරු කළ නොහැකි බරපතළ විනාශයක් නොදැනුවත්වම පරිසරයට කරන බව අවධානයට ගත යුතුය. 

අසල්වැසි ඉන්දියාවේ සංස්කෘතිය අනුව කෙසෙල් කොළයක ආහාර ගැනීම මදිකමක් නොවේ. සියලු උත්සවවලදී උස් පහත් භේදයක් නැත. සුදුසු අතුරනයක් එලා බිම අසුන් ගන්නා අතර ඉදිරියෙන් කෙසෙල් කොළයක් තබා එහි බෙදන ආහාර අනුභව කර බඳුන මුව නොතබා වතුර පානය කිරීම සාමාන්‍යයෙන් සිදුවෙයි. කෙසෙල් කොළයක හෝ පුවක් කොළපොතකට බෙදා ආහාර පිළිගැන්වීම මෙරට තරු හෝටලයක දී විලාසිතාවකි. සාමාන්‍යයෙන් කළහොත් එය නිගරුවක් සේ සලකන ආකල්පයක් තිබේ. ඉතාම හොඳ පිඟානක පොලිතීන් එලා ආහාර පිළිගැන්වීම ප‍්‍රතික්ෂේප කළ යුතුය. එපමණකටම රට තුළ පරිසර විනාශයක් සිදු කරයි. දිනකට මිලියන ගණනින් බත් ඔතන පොලිතීන් භාවිත වන බව පර්  යේෂණ වාර්තා සනාථ කරයි. ඝනකම වැඩි, එකවරකට වඩා භාවිත කළ හැකි පොලිතීන් පරිහරණය කරන සේ නීති පනවා ඇති නමුත් වැඩි ඝනකම ඇති පොලිතීන් පවා නැවත පරිහරණය කරන පුරුද්දක් රට තුළ නැත. පරිසරයට කරන හානිය ගැන කිසිම තක්සේරුවක් නැති මෙරට ජන සමාජය පොලිතීන් භාවිතය නතර කළහොත් සිදුවිය හැකි හිරිහැරය ගැන පශ්චාත්තාප වන තරමට ඇබ්බැහි වී සිටින බව ඉතාමත් පැහැදිලි කරුණකි.

කොවිඩ්-19 වසංගත තත්ත්වය පවතින කාල වකවානුව තුළ එදිනෙදා පැවැත්ම දුෂ්කර වී තිබේ. සම්ප‍්‍රදායික හුරුව වෙනස් කරන්නට සිදුවී ඇත. අලුත් යුගයකට ඇතුළු වන විට පරණ නොගැලපෙන තැන් අත්හැරීමට සූදානමක් අවශ්‍යය. අලුත් ව්‍යවසායකයන් වශයෙන් රට තුළ ඇති දිරාපත් වන අමුද්‍රව්‍යවලින් ඇසුරුම් හෝ ආහාර භාජන නිපදවිය නොහැකි ඇයි? ආනයනික දේ පාලනය කරන වකවානුවකි. පරිසරය ගැන කැක්කුමක් ඇති ජන කොටසක් සිටී. දේශීය අත්හදා බැලීම් අලුත් ව්‍යවසායකත්වයක් ඇති කරනු නිසැකය. මෙරට බහුලව ඇති ශාක වර්ග වලින් ලබාගන්නා පත‍්‍ර ඇසුරු කරගෙන හොඳ නිපැයුම් කරන්නට හැකිය. පසුගිය කාලයේ අත්හදා බැලීම් කරන ලද බව වාර්තා වූ අතර ඒවා ඉදිරියට ගෙන යාම අවශ්‍යතාව වී තිබේ. 

ඉන්දියාවේ ප‍්‍රාන්ත කිහිපයක ගෘහ කර්මාන්තයක් වශයෙන් ශාක පත‍්‍ර භාවිත කර එක වරක් භාවිත කළ හැකි පරිසර හිතකාමී භාජන නිෂ්පාදනය කෙරේ. පිඟන්, කෝප්ප, හැඳි සහ නොයෙක් ඇසුරුම්වලට ශාක පත‍්‍ර හරවන ක‍්‍රම නිර්මාණය කරගෙන ඇත. ඔඩිස්සා, මධ්‍ය ප‍්‍රදේශ් සහ අන්ද්‍රා ඇතුළු ප‍්‍රාන්ත කිහිපයක එය ව්‍යාපාරයක ස්වභාවය ගෙන ඇත. වැඩි වශයෙන් කාන්තාවෝ නිරත වෙති. අසල වනාන්තරයට යන ඔවුහු තෝරාගත් ගස් වර්ගවල පත‍්‍ර නෙලාගෙන එති. සමහර ප‍්‍රදේශවල ඒවා ප‍්‍රදේශයේ වගා කෙරේ. නියමිත ප‍්‍රමිතියකට වේළන අතර සාමාන්‍ය යන්ත‍්‍රයක ආධාරයෙන් හැඩය එන තෙරපුම ලබාගන්නට සමත්ය. පසුව නියමිත හැඩයට කපා බහාලුම්වල අසුරන අතර වෙළෙඳපොළට යවන බව මාධ්‍ය වාර්තා දක්වයි. කේරළ ප‍්‍රාන්තයේ කොස් ගස බහුලව තිබේ. එහි වැසියෝ කොස් කොළවල බත් ගුලි අසුරති. බත් සෑහෙන ප‍්‍රමාණයක් බුදින ශ්‍රී ලාංකික සංස්කෘතියට එය නුහුරුය. එහෙත් විවිධ ව්‍යංජන බහා ඇසුරුම් කිහිපයක් මිල දී ගතහොත් වේලක් පිරිමසින්නට බැරිකමක් නැත. බත් ස්වල්පයක් දමා එය හතර කොණකින් අල්ලා ඉරටුවක් ගසන කේරළ වෙළෙන්ඳෝ ඒවා වීදියේ විකුණති. එම කොස් කොළය ඉවත දැමීම ප‍්‍රශ්නයක් නොවේ. තායිලන්තයේ පවා බත් පමණක් ඇති පැකට් කෙසෙල් කොළවල අසුරා තිබේ. ස්ටිකී රයිස් සේ හඳුන්වති. එයින් එකක් මිල දී ගන්නා වැසියෝ අනුභව කරමින් පාරේ ඇවිදීම සාමාන්‍ය සිද්ධියකි. ඉන්දුනීසියාව අයිස්ක‍්‍රීම් හා යෝගට්වලට පවා කාබනික ඇසුරුම් භාවිත කරන තීරණයක් ගෙන ඇත. බීම වර්ග පානයට ප‍්‍රයෝජනයට ගන්නා ස්ට්‍රෝ හෙවත් බීම බට නිපදවන්නට මුහුදු පැළෑටි වගා කිරීම අරඹා තිබේ. ශ‍්‍රී ලංකාවේ අච්චාරු වෙළෙදාමට පවා අලුතින් පොලිතීන් බහාලුම් එකතු වී ඇත. ඒවායේ අසුරා ලස්සනට අලෙවි කරන අතර විසි කිරීමෙන් සිදුවන අවලස්සන ගැන මිල දී ගන්නා පාරිභෝගිකයා කල්පනා කරන්නේ නැත. 

කෙටි ආහාර වර්ග පිරිනමන විලාසය හා ඒවා බඳුන්ගත කරන්නට ප‍්‍රයෝජනයට ගත හැකි ශාක වර්ග ගැන පර් යේෂණ ඇරඹීම සුදුසුය. මෙරට විද්වත් පර් යේෂකයන් රටට අලුත් දර්ශනයක් ගෙන එන නවතම සොයාගැනීම් සමාජයට හඳුන්වා දිය යුතු කාලයකි. කෙසෙල් කොළවලින් ආහාර පිළිගන්වන භාජන හදන ව්‍යාපෘතියකට ණය ආධාරයක් ඉල්ලා සිටියහොත් මෙරට කිසිම බැංකුවක් එය අනුමත කරන්නේ නැත. ව්‍යවසායකයකු හැදෙන්නට ඇති ඉඩකඩ ප‍්‍රාග්ධන ප‍්‍රශ්න නිසා ඇවිරෙයි. අධිපතිවාදී පැරණි ව්‍යුහ පැත්තකින් තබා අලුතින් හිතන්නට පරිසරය බල කරන බව වටහා ගැනීම සුදුසු කාලයකි.

ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට එවන්නේ නම් අගය කරමි.

 මිලින්ද මොරගොඩ

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00