2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

ගී ලොවේ නොමියෙන සුපිරි තරුව ක්ලැරන්ස්

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 502

මම හපුතලේ පැත්තේ පිටිසර ගමක උපන් කොල්ලෙක්. අල බතල කාලා හැදුණෙ. පුංචි සන්දියේදී අපේ ආතම්මා මල්ලිටයි මටයි බතට බෙදුවේ තෙබු, අඟුණකොළ මැල්ලුම්. කරපිංචා, ඉරමුසු කැඳ හදා දුන්නා. අම්මා නුවර පෙරහැර පොළේදී මට අරන් දුන්න පුංචි රබාන මගේ අතට ලැබුණ පළමුවැනි සංගීත භාණ්ඩයයි. පහේ පන්තියෙදී ලැබුණ ඒ රබාන දහයට යනතුරුම මා ළඟ තිබුණා. ඒ රබාන ඇතුළෙන් ආපු Song Bird කෙනෙක් මගේ ජීවිතේට රිංගන්න ඇති.

බලංගොඩ පල්ලියේ ඉස්කෝලෙට යද්දී නැවතී සිටි ප්‍රුන්සිස් අය්යලාගෙ බෝඩිමේදී තමයි ගිටාරයක් හමුවුණේ. එයාගේ ඇඳ උඩ තිබුණු බොක්ස් ගිටාරය මගේ ඇඳටම ආවා. ජපන් මැන්ඩලීනයයි මවුත් ඕගන් එකයි හපුතලේ හයිලන්ඩ් කොලීජියේදී හමුවුණු මිතුරන්. මගේ ළමා කාලයේදි කවදාවත් කවුරුවත් මගේ සංගීතයක් දැකල නැහැ. බලංගොඩ පල්ලියේ උත්තමාවියක් සිටියා. යාපනෙන් ඇවිත් සිටි පී. ජේෂන් මිස් පූජාවේදී ඕගන් එක වාදනය කළේ. මම දණ ගහගෙන ගීතිකා අසමින් යේසුස් වහන්සේගෙ දුක හිතෙන පිළිම දිහා බල බලා සිටිනවා. God is Love ඉංග්‍රීසි වචන ඒවායේ තිබුණා. ජේෂන් මිස් මා දිහෑ කරුණාවෙන් බලා සිටිනවා. Come Song Bird කියලා මාව ළඟට කරගෙන ඕගනය වාදනය කරනවා. කන්තෝරු ගීතිකා නඩේට බන්දවා ගත්තා. ඔහේ වැනි වැනී හැදෙන පංජා කොල්ලෙකුට මේක මොන තරම් පල්ලමක්ද සිතා බලන්න.

මේ උදෘත මා උපුටා ගත්තේ පරාක්‍රම කොඩිතුවක්කු කවියා විසින් ලියන ලද ක්ලැරා නම් ක්ලැරන්ස් විජේවර්ධන සංගීතවේදියා සංගීතමය නවකතාවෙනි. පරාක්‍රම හා ක්ලැරන්ස් දීර්ඝකාලීන මිතුරන්ය. දෙදෙනාම රත්නපුරේය. ක්ලැරන්ස්ගේ දිනපොත් හා සොහොයුරා ක්‍රිස්ටිගේ මතක සටහන් පාදක කරගෙන ලියූ එම ග්‍රන්ථයේ උදෘත තුනක් උපුටා ගත්තේ ජනතාව ප්‍රිය ගීත රැසක් නිර්මාණය කළ ගීත ගැයූ ගේය පද රචකයකු වූද අසිරිමත් සංගීතකරුවාගේ ජීවිත ගමනේ මං සලකුණු පිඬුකොට දැක්වීමටය.

ක්ලැරන්ස් විජේවර්ධන නම් මේ අසිරිමත් සංගීතවේදියා තුළ හොඳ රසඥතාවක් ඇති සහෘදයෙක්, භාවපූර්ණ රසිකයෙක්, කවියෙක් සැඟවී සිටියේය. සංගීතය පාසල් වියේදීවත් ක්‍රමානුකූලව ඉගෙන නොගත් ක්ලැරන්ස් කාටත් එක්ව ගායනා කළ හැකි, සාදයකදී විනෝද ගමනකදී වුවද කටපාඩමින් ගැයීමට හැකි සරල ගීතාවලියක් නිර්මාණය කළේ කෙසේද? මේ ගීතවල තනු නිර්මාණය හා ගේය පද රචනයද ඔහුගේම වීමද අරුමයකි.

1943 අගෝස්තු 03 වැනිදා හපුතලේ බ්‍රුඩ්ෆ්ටන් වතුයායේ උපන් විතාන ආරච්චිලාගේ ක්ලැරන්ස් ආතර් සේමසිංහ විජේවර්ධන නම් ඔහුගේ පියා එම වතුයායේ දොස්තර ලෙස වතු ජනතාවගේ ආදර ගෞරවයට ලක්වූ මානව දයාවෙන් යුතු මිනිසෙකි. කුඩා කලම පියා මියයාම නිසා තම මව වූ ඒකනායක මුදියන්සේලාගේ සෝම කුමාරිහාමිගේ පරිශ්‍රමයෙන් හැදී වැඩුණු අයුරු ක්ලැරන්ස් කියා තිබුණි. පස් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා ඔහුය.

හපුතලේ හයිලන්ඩ් විද්‍යාලය, මාතලේ යටවත්තේ මහසෙන් මහා විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලවලින් ඔහු අධ්‍යාපනය ලබා ඇත

ධර්මරාජයේ පුංචි කවියා වූ ක්ලැරන්ස් විසින් ජනතා පත්‍රයේ කවි පිටුවටද, දිනමිණ පත්‍රයේ නවක කවි අතිරේකයටද ලියූ කවි පළ වී ඇත.

මට දැනට ඇත්තේ කමිස 4ක් පමණයි. එකක් මදින කොට පිච්චුණා. ප්‍රවේසමෙන් පාවිච්චි කරන්න ඕනෑ.

ක්ලැරන්ස් විසින් ලියූ පරණ දින පොතක ලියැවී තිබුණේ මැයි 23 දරණ දිනය ඇති පිටුවේය. එහි ජූනි 21 වැනි පිටුවේ සඳහන්ව ඇත්තේ ක්ලැරන්ස්ගේ සමීපතම මිත්‍රයා වූ ඇනස්ලි මාලේවනගෙන් එල්විස් ප්‍රෙස්ලි ගැන හොඳ පොතක් තෑගි ලැබුණ බවය.
ගිටාරයට ආලය කළ ක්ලැරන්ස් ගීත මුමුණා ගීත රචනා ලිය ලියා පුහුණු වුණේ තම මිතුරු ඇනස්ලිගේ ගිටාරයෙනි.

අලුත් අවුරුද්දෙත් තවම ප්‍රැක්ටිස් කරන්නේ ඇනස්ලිගේ ගිටාරයෙන්. මගේම ගිටාරයක් ගන්නේ කවදාද?

ක්ලැරන්ස් ජනවාරි 01දා දින පොතක ලියා තිබේ. වරුවක්ම යාළුවන් සමඟ ගිටාරය ප්‍රුක්ටිස් කළ ඔහු මේ අවුරුද්දෙවත් සංගීත කණ්ඩායමක් හදාගන්න සිහින මැව්වේය.

පරාක්‍රම කොඩිතුවක්කු කවියා 20 සියවසේ දෙවැනි භාගයේදී මෙරට සංගීත සමාජයේ විප්ලවයක් කළ ක්ලැරන්ස් නම් විශිෂ්ට තරුණ සංගීතඥයාගේ මිතුරකු වන්නේ දින පොත්වල සඳහන් මේ පසුබිම යටතේය. වරක් මහනුවරට ගොස් එතැනින් මාතලේටද එතැනින් යටගමට ගොස් ඇත. ගලබින්ද කපොල්ලෙන් කන්ද නගිත්ම දකුණු පසින් නැගී එන මහ වනපෙත අවසන් වන කඩුගන්නාව ආසන්නයෙහි වනාතය මැදින් Rock Rest නිවහනට - පරාක්‍රම යන්නේ ක්ලැරන්ස් සොයාගෙනය. පරාක්‍රම කරන මේ විස්තරයෙන් ක්ලැරන්ස් නම් සහෘදයා, රසිකයා කවියා ඔබට හමුවෙයි.

විසි වයසේදී අප හමුවී කොතෙකුත් කතා කළේ දම්පාට මැංගුස් ගෙඩිවලින් අතු එල්ලා වැටුණු ඒ ගස යටය. අපි කතා කළ දේවල්. සංගීතය, ආගම, දර්ශනය ගැන. විරාගය, බැද්දේගම, හෙවනැල්ල, ජීවන සුවඳ ගැන. නිසැඳැස් කවි, ජේන් අයර්, ඇනා කැරනිනා ගැන. යෝගී රාජනීෂ් ගැන.

කාල් මාක්ස්, මහා බ්‍රහ්මන්, බෞද්ධ ශිෂ්ඨාචාරය, අදිකාරම්, මයිකල්ආන්ජලෝගේ චිත්‍ර, බුදුන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ ගැන ඔවුන් කහට බිබී කළ කතාබතාවල නිමක් තිබී නැත.

ක්ලැරන්ස් පදිංචි වී සිටියේ කුලී ගෙයක නොවෙයි. කුලී ගෙවල් අයිතිකාරයාගේ දුවගේ සිතේ පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ.

දැං මට සංගීතයක් වගේම ආදරයත් හමුවෙලා. ළා කහපාට ඔසරියක් හැඳගෙන මිදුල අතුගාමින් සිටින්නේ ශීලා. ගිටාරයෙන් තමයි මං එයාට කතා කරන්නෙ. ගෙදරටත් ඔසරිය ඇඳින පොඩි කුමාරි කෙනෙක්. ඒ වුණාට ඔසරිපට ඉණේ දවටාගෙන ගෙදර ඉවුම් පිහුම් කරන්නෙ එයයි. එයා ගැන මගේ සිතේ තියෙන්නෙ ගෞරවයක් වැනි හැඟීමක්. කුලී ගෙවල් හත අටකට පස්සේ මේ ගෙදරට (දෙහිවල) ආවේ මේ ඉරණම්කාරිය හමුවෙන්නද කියලා මට දැන් හිතෙනවා කියලා ක්ලැරා පරාට කියා ඇත.

පසුව ක්ලැරන්ස්ගේ බිරිය වූ ශීලා රම්‍යදාස තම දියණිය අමාලී සමඟ කලක සිට පදිංචි වී සිටින්නේ ඕස්ට්‍රේලියාවේය. ඇය පුවත්පතකට පවසා සිටින්නී එයා මුලින්ම සින්දුවක් ලිව්වේ මට. කියාය.

කිමද නාවේ... ආයි නාවේ...
අද ඔයා
මම පාර බලා සිටියා
මගෙ පැල්පත ළඟට වෙලා
කිමද නාවේ ඇයි නාවේ
මගෙ දයා....

මම දවසක් මිදුල අතුගාද්දී ක්ලැරන්ස් ගිටාරය වයමින් ඒ ගීතය ගැයුවා.

පරාක්‍රම මේ ගැන තම පොතේ අපූරු සටහනක් තබනවා ශීලාගේ හැඟීම්බර මොහොතක් ගැන.

මගේ ඇසින් කඳුළු බේරුණා. ඔයා අයිති මටයි. ඔයාගේ සින්දු අයිති මටයි. මට ආඩම්බරයක් හිතුණා. ඇත්තමයි, රත්තරං ක්ලැරා. ඔයා දුක් වෙන්න එපා. මම එනවා. ඔයා මට කතා කරනතුරු මම ඉන්නේ. ඔයා අයිති මටයි. කිමද නාවේ කියා දුක්වෙන්න එපා. මම ඔබ වෙත එනවා.

ක්ලැරන්ස් ශීලා වෙනුවෙන් ගීත කිහිපයක්ම ලියා ඇත. සිහින් සිනාවයි, සුදු මැණිකේ, මගේ සිරියාවතී ඒ අතර වෙයි.

ක්ලැරන්ස් ශීලා විවාහ කරගෙන දෙහිවල පොඩි ගෙයක පදිංචි විය.

උත්සව ෆොටෝ නැති ඒ විවාහ, විවාහ නොව භක්තිවන්ත භාරගැනීම් විදිහටයි දැනුත් මට සිතෙන්නේ. ක්ලැරන්ස් කියා ඇත.

තම සිතැඟි, සිහින ඉටුකරමින් සංගීත කණ්ඩායමක් 1966 බිහිකළ ක්ලැරන්ස් තමා විසින්ම ගේය පද රචනා කර තනු රැසක් බිහි කළේය. මූන්ස්ටෝන්ස් (Moonstones) මේ සංගීත කණ්ඩායමයි. මූන්ස්ටෝන්ස් කණ්ඩායම බිහිවුණේ මෙසේය.
මුලදී නමක් නැතිව තිබූ ක්ලැරන්ස්ගේ සංගීත කණ්ඩායම දිනක් සඟබෝ කොරයා නම් මහතෙකුගේ නිවසට ගොස් ඇත්තේ උදව්වක් ඉල්ලන්න. ඔවුන්ගේ ගීත ඇසූ කොරයා මහතා පැහැදී ඇයි ඔයාලට ප්‍රධාන ගායකයෙක් නැත්තෙ? අසා තිබුණි. මුලදී ක්ලැරන්ස් ගීත රචනා කොට සුමියුරු තනු හදා සමූහ ගීත ගැයුවාට ප්‍රධාන ගායකයා ලෙස මතුනොවීය. ක්ලැරන්ස් ප්‍රධාන ගායකයකු සෙවීය. ක්ලැරන්ස් උපන් රත්නපුරේ සිටි ගායන කුසලතා ඇති ඇනස්ලි මාලේවන ගැන අසන්නට ලැබී ඔහු සොයා ගියේය. ඇනස්ලි ගායකයකු ලෙස දොරට වැඩීමට උපකාර කර ඇත. ක්ලැරන්ස්ය. සඟබෝ මහතා ඇනස්ලිගේ ගායනා ගැන පැහැදී ක්ලැරන්ස්ගේ සංගීත කණ්ඩායමට මූන්ස්ටෝන්ස් නම තැබීය. එවකට සඟබෝ මහතාගේ සිඟිති දියණිය වූ දිල්හානි වෙනුවෙන් ගීතයක් නිර්මාණය කිරීමට අවශ්‍ය විය. මෙය ගැයීමට සුදුසු ගායිකාවක් ගැන සිතද්දී ඇනස්ලි විසින් ඉන්ද්‍රානි පෙරේරා හඳුන්වා දී ඇත. ක්ලැරන්ස් ගීතය රචනා කොට තනුව නිර්මාණය කළේය.

දිල්හානී දුවනී ගීතය ක්ලැරන්ස්ගේ මුල්ම නිර්මාණය ලෙස EP තැටි ඉතිහාසයෙහි ඉහළම වාර්තා තැබුවේය. ක්ලැරන්ස්ගේ නම සංගීත විජිතයේ කිරුළු පැළඳීමට අඩිතාලම වැටිණි. ඉන්ද්‍රනි පෙරේරා ගීත ලොව ජනප්‍රියත්වයට පත්වූයේද මේ ගීතයෙනි. ක්ලැරන්ස් පද රචනය හා තනු නිර්මාණය කළ මූන්ස්ටෝන්ස් කළ සීගිරිය EP තැටියට ඉන්ද්‍රානි ගැයූ සුමුදු මල් පිපුණු අතු කොනේ, වන දෙව්ලිය තුරුලේ සැතපෙන සීගිරියේ, කාගෙද ගොන් වස්සා රසික ප්‍රසාදය දිනා ගත්තේය.
නෙවිල් ප්‍රනාන්දු ආරම්භ කළ සිංහල කණ්ඩායම් සංගීත ගීය අභිෂේක කළ තැනැත්තා ක්ලැරන්ස් විජේවර්ධන බවත්, ගීත රචනය, තනු රචනය, සංගීත සංයෝජනය, ගායනය යන සකල විධ අංශවලින් ක්ලැරන්ස් විජේවර්ධනයන් කණ්ඩායම් සංගීතය උසස් ස්ථරයකට ගෙන ආ බවත් මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ රචිත ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය කෘතියේ සඳහන් කරති.

1969 වසරේ සිළුමිණ පුවත්පතට ප්‍රවීණ ගීත රචක කරුණාරත්න අබේසේකර තමාගේ පුතු දිලීප අබේසේකරගේ උපත ගැන කවි පන්තියක් පළකර තිබුණි. මෙය දුටු ක්ලැරන්ස් එයට අපූරු තනුවක් යොදා කරූට ටෙලිෆෝන් කළේය.
කරු අයියා, මම ක්ලැරන්ස් විජේවර්ධන.

ඔව් මල්ලී...

අද පත්තරේ තිබුණු කවිපෙළට මම තනුවක් දැම්මා. මොහොතකට මට සවන් දෙන්න පුළුවන්ද?

කියන්න මල්ලී...

ගිටාරය වයමින් ගීතය ගැයීය. කරුගෙන් අනුමැතිය ලැබිණි.

දිලීප පොඩි පුතු සනීපයට නිදි
මවගේ උකුළු යහනේ
කුමාරයාණෙනි මගේ කිරුල හිමි
ජීවන රජදහනේ....

ක්ලැරන්ස් ගැයූ ජනප්‍රිය ගී අතර දිය දෝතකි මේ.
කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි
මුතු මාළිගාවෙන් මා ගෙනා මගේ කුඩා පුතුටයි...
ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගෙයි
මොකක් කියලාද දන්නෑ එහෙ ගියෙත් නෑනේ...
මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා... ඔබ සිනාසෙනවා....

සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවින් ආවා මතකයි...
අද වෙයි ඉරු දින අපි හමුවේවිද මගෙ හද විල මැද
සැලෙන ඕලු කොඳ අද සුපිපේවිද....

ක්ලැරන්ස් 1972දී මූන්ස්ටෝන්ස් කණ්ඩායමෙන් ඉවත් වී The Golden Chimes ද ගෝල්ඩන් චයිම්ස් නමින් අලුත් සංගීත කණ්ඩායමක් අරඹයි. මේ කණ්ඩායම කතරගම ගියේ බාරයක් ඔප්පු කිරීමටය. සුදු වතින් සැරසුණු ඔවුන් දේවාලයට ගියේ කඳ සුරිඳුනි ගීය ගයමිනි. ඒ හඬින් පූජා භූමියම රුව් දෙන්නට පටන් ගත් බවත්, වැල්ලවත්තේ රාමක්‍රිෂ්ණ ශාලාවේ හින්දු රසිකයන් හමුවේ මේ ගීතය ගයන විට බැතිමතුන් ආසන වලින් නැගිට හරේ රාමා - හරේ ක්‍රිෂ්ණා කියමින් සාධුකාර දුන් බව පරාක්‍රම කවියා පවසා ඇත.

කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක හද
පිබිදුණු සිතැතිව පුද දෙමු බැතියෙන
ඔබ යැදුමට ආවා... ඔබ පිදුමට ආවා....

මේ ගීතය කතරගම දේවාල භූමියේ ගයන විට ලැබූ අත්දැකීමක්ද.... විස්තර කළ අයුරුයි මේ.

මගේ ගිටාරය ජීවත් වෙලා වගේ දැනුණා. මම හිස හරවලා ඇනස්ලි දිහා බැලුවා. ඔහුගේ දෙතොල වෙව්ලන්න වගෙයි. ශ්‍රී කාන්තගේ ඩ්‍රම්ස් හඬ ලේ රත් කරගෙන පිපිරෙනවා. නාගසලම් ශබ්ද තරංගයන්ගෙන් මුළු පූජා භූමියම ගිගුම් ගන්න වුණා. අප දෙපසින් හරෝ හරා හඬ නැගෙනවා. අපි මහා වන්දනාවක...

ක්ලැරන්ස් ගැයූ ගීත ගැන අසම්පූර්ණ ලේඛනයක් මේ. එදා තරම් මගේ සිතේ රුඳුනේ නැහැ වෙන දවසක්, මුව හසරුළි සාගරේ මුතු වැලක් වෙලා, හද විලේ ඔබ පිපුණා, හිරුගේ ලොවේදී අපි හමුවෙමු, දිනෙක මේ නදී තීරේ, මාමේ කළු මාමේ...
ජනප්‍රිය ගායකයකු වුවද ක්ලැරන්ස් වෙනත් ජනප්‍රිය ගායක ගායිකාවන්ට නිර්ලෝභීව තනු නිර්මාණය කර දුන්නේය. ඒවා අතර එදා රූ ගුවන් තොටුපලේදී මා, ගන අඳුරේ රළ පතරේ, (මල්ලවාරච්චි) විකසිත වත කමලේ (සනත්) සීත රූ වසන්තේ (සනත් හා මල්කාන්ති), මල් පිබිදෙන එක වසන්ත සමයක (ජෝතිපාල) මතකය ඇසුරින් (ඉන්ද්‍රානි පෙරේරා)

ක්ලැරන්ස් මුල්වරට චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණය කරන්නේ එච්.ඩී. ප්‍රේමරත්නගේ කුළුඳුල් චිත්‍රපටය වූ සිකුරු ලියා තුළිනි. ප්‍රේමරත්න බියක් සැකක් නැතිව ක්ලැරන්ස් කෙරෙහි විශ්වාසය තැබුවේය. ක්ලැරන්ස් සිකුරුලියාට නිර්මාණය කළ ගීත සියල්ලම ජනප්‍රිය විය. ඉන් මිල්ටන් පෙරේරා ගැයූ ධර්මසිරි ගමගේ ගීත රචනා කළ සිකුරුලියා බොළඳ ලියා මාව දමා යන්න ගියා... ගීතය අතිශයින් ජනප්‍රිය විය. මේ ගීතය මුලින් ගායනා කිරීමට යෝජනා වූයේ අමරදේව හෝ වික්ටර් රත්නායකය. ක්ලැරන්ස් හා ප්‍රේමරත්නගේ හිතුවක්කාර තීරණය වූයේ මිල්ටන්වය. මිල්ටන් භාරතයට ගොස් තම ප්‍රියතම සංගීතඥයා වූ නෞෂාඩ් හමුවීමට ගෙන ගිය ගීත අතර සිකුරුලියා බොළඳ ලියා ගීතයද විය. නෞෂාඩ්ගේ හිත එකවරම එම ගීතයේ ගායනයට හා තනුවට ඇදී ගොස් ප්‍රශංසාව පළකොට ඇත. එහි සංගීතඥයාට තම සුබපැතුම් පිළිගන්වන්නැයි ඔහු කියා ඇත.

සිකුරු ලියා චිත්‍රපටයට ක්ලැරන්ස් නිර්මාණය කළ වසන්තයේ මල් කැකුලයි (ගායනය, ඉන්ද්‍රානි පෙරේරා, ගේය පද, ක්ලැරන්ස්) ගීතයද තවමත් ජනප්‍රියය. ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ අපේක්ෂා චිත්‍රපටයට ක්ලැරන්ස් නිර්මාණය කළ සඳ තනිවෙලා කලක් ඇවෑමෙන් පෙරුම් පුරා (මල්ලවාරච්චි හා ඇන්ජලීන්) සොඳුරු ලොවට මල් වැහැලා (ජෝතිපාල හා සුජාතා) අනික් චිත්‍රපට ගීතය. ක්ලැරන්ස් සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර හලෝ ශ්‍යාමා චතුමධුර, චලිත රංගලි චිත්‍රපටයද සුසීමා හා නිදිකුම්බා මල් ටෙලිනාට්‍යද වෙයි. ජනක සහ මංජු චිත්‍රපටයට ප්‍රේමසිරි කේමදාසගේ සංගීතයට ඔහු ගැයූ ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑවේ ගීතයද ජනප්‍රිය විය.

ක්ලැරන්ස් තම බිරිය ශීලාට මෙන්ම දියණිය අමාලිට අසීමිත ලෙස ආදරය කළේය. මුළු ලෝකයෙන්ම වටින්නේ මගේ දුව කියූ ඔහු තම දුව වෙනුවෙන් දුවනී අමාලි දුවේ ඔබ පරදා ගීත ගැයීය. තම පියා ලියූ ගීත, පින්තූර ස්වර ලිපි, ගිටාරයත් සුරකින්නී දුව අමාලීය. මවත් දුවත් ක්ලැරන්ස් මතකය තුරුළු කරගෙන ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටිති.

1996 දෙසැම්බර් මාසයේ ක්ලැරන්ස් සැත්කමක් සඳහා රෝහල් ගත කරනු ලැබීය. පරාක්‍රම කවියා ඔහු බැලීමට යන විට දුටුවේ වළලුකර දක්වා වෙළුම් පටි දැමූ පාදයක් සුදු පැහැති කොපුවක බහා ඇති සැටිය. ගිටාරයද ඇඳ විට්ටම ළඟ හේත්තු කර තිබුණි. ක්ලැරන්ස්ගේ සොහොයුරු ක්‍රිස්ටි ඔහුට ආපසු එනවිට හමුවී ඇත.

අයියගේ කකුලෙ තුවාලය සනීප කරන්නටම බැරිව ගිහින් කකුල බේරගන්න අවශ්‍ය නිසයි ඩොක්ටර්ස්ලා ඇඟිල්ල කපල තියෙන්නෙ. විවේකයක් නැතිව වැඩ කරලා. මේකෙන් මානසික පීඩනයක් ඇතිවෙලා. බෙහෙත් ටිකවත් හරියට අරන් නැහැ. මේ නිසා ලේවල සීනි ඉහළ මට්ටමක තිබිලා.

වයස අවුරුදු 54කට ජීවිතය සීමාකොට ක්ලැරන්ස් 1996 දෙසැම්බර් 13දා මියයන අවස්ථාවේ වෛද්‍යවරයාට කී අන්තිම වචන පෙළින් Happy, I contribute to the Country (මම සතුටින්. මම රටට මගේ කොටස ඉටුකළා) පරාක්‍රම කවියා තම කෘතිය අවසන් කර ඇත්තේ ක්ලැරන්ස් ගැන මතක රැසක් ඉතිරිකොට තම සංගීතමය නවකතාව නිමා කරමිනි.